Breaking
22 Feb 2025, Sat

භූමිය ඉන්දියාවට, වරාය චීනයට,සුලං අදානිට! EPF වලින් පසු ශොට් එක දෙන්නේ ආණ්ඩුවේ බැංකු හයකට ද?

“ශොට්” එක දෙනවා යන්නෙන් අදහස් කරන්නේ යමෙකුට වැරෙන් මුෂ්ටි පහරක් එල්ල කරනවාටය. ලංකාවේ ආණ්ඩුව පසුගිය දා සේවක අර්ථසාධක අරමුදලට (EPF ) හොඳට රිදෙන්නට “ශොට්” එකක් දුන්නේ ය. එහෙත් සාමාජිකයන්ට රිදුනේ නැත. දැනුනේද නැත. ඒ තරමටම ජනයා බෙලහීන වී ඇත. නයෝමී ක්ලේන් (Naomi Klein ) ලියූ “Shock Doctrine ” පොතට අනුව මෙවැනි ආර්ථික අර්බුදයක් රටක පවතින අවස්ථාවක එය සාමාන්‍ය දෙයකි. පාලකයන් විසින් මිනිසුන් නිර්වින්දනය කොට ඇත. එම නිසා මෙවැනි කම්පන ඔවුන්ට දැනෙන්නට පුළුවන් කමක් නැති තරම් ය.

සේවක අර්ථසාධක අරමුදලට රජය දුන් “ශොට්” එක කෙතරම් ප්‍රභලද කිව්වොත් 2038 දක්වා වන වසර 15 ක කාලය තුල අරමුදලට ලැබිය යුතු රුපියල් ට්‍රිලියන 3.5 කට වැඩි මුදලක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ අහිමි කොට ඇත. රුපියල් ට්‍රිලියන 3.5 ක් යනු අද පවතින විනිමය අනුපාතය අනුව අමෙරිකානු ඩොලර් බිලියන 10.6 ක මුදලකි. හම්බන්තොට වරාය සඳහා වැය වූයෙ අමෙරිකානු ඩොලර් බිලියන 1.2 කි. එවැනි වරායවල් 10ක් ගොඩනැගීමට යන මුදල් රජය සේවක අර්ථසාධක අරමුදලෙන් කොල්ල කෑවේය. මෙතරම් ප්‍රබල “ශොට්” එකක් වැදුනත් EPF සාමාජිකයා දන්නේ වත් නැති තරම් ය. පසුගිය දා සිවිල් සහ වෘත්තීය සමිති සංවිධානය කල “උද්ඝෝෂණ” වලට අමතරව රජයට බල කිරීම සඳහා වඩා සංවිධානය වූ යමක් සිදු වූයේ නැත. මේ වන විට එම උද්ඝෝෂණද පේන්නට නැත.

මිනිසුන්ගේ නිර්වින්දනයේ තරම හොඳින්ම දන්නා රනිල් වික්‍රමසිංහ තැටිය රත්වී තිබෙන වෙලේ දශක කිහිපයක් බලාපොරොත්තු වූ රොටිය පුච්චා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ලහි ලහියේ සූදානම් කරමින් සිටී. ඒ අනුව කාණ්ඩ 19ක් යටතේ රජයේ ආයතන 127 ක් ප්‍රතිව්‍යුහගත කිරීමට (විකිණීමට ) ලැයිස්තු ගත කොට ඇත. (මෙම දිගුවෙන් අදාළ ලැයිස්තුව කියවා ගත හැක.)

https://www.treasury.gov.lk/web/department-of-public-enterprises-links-list-of-public-enterprises/section/banking-finance

මෙම ආයතන අතර රජයට අයිති බැංකු හයක් (6) ඇතුළු මූල්‍ය ආයතන නවයක් (9) ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුකරමින් තිබේ. ඒ සඳහාම වෙනම ආයතනයක් සුරේෂ් ෂා නැමැත්තෙකුගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇත. බොහෝ විට නුදුරේම බැංකු වල රජය සතු කොටස් අලෙව් වනු ඇත. ඒවා මිල දී ගන්නා දේශීය හෝ විදේශීය පිරිස් ඔවුන්ට සිතැඟි පරිදි මූල්‍ය වෙළෙඳපොළ හසුරවනු ඇත. මහ බැංකුවට කල හැක්කක් නැති වනු ඇත.

(ප්‍රතිව්‍යුහගත කිරීමට පත්කර ඇති කණ්ඩායම මෙම දිගුවෙන් බලාගන්න )

https://www.treasury.gov.lk/web/sru/section/team

ලංකා බැංකුව (BOC), මහජන බැංකුව (People’s Bank) , ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) , රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව , ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, සහ සේවක භාර අරමුදල (ETF) යන ආයතන සියල්ල බැංකු සහ මූල්‍ය අංශය (Banking & Finance ) යටතේ ලැයිස්තු ගත කොට ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හෙට අනිද්දා වන විට අභිප්‍රාය ලිපි කැඳවීමට (Expression of Interest) සූදානම් වෙයි. මේ වන විටත් ආයතන කිහිපයක් (7) සඳහා EOI කැඳවා ඇති අතර ගනුදෙනු උපදේශක සමාගම් පවා පත්කොට අවසන් ය.

අදාළ ආයතන විස්තර 

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් (Sunday Times ) පුවත් පත තවත් හෙළිදරව්වක් කර තිබුණි. ඉහත බැංකු හය ඉක්මන් ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට හේතුව ඔවුන්ගේ අක්‍රිය ණය (Bad loans) ප්‍රතිශත සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් බැංකු වල ප්‍රාග්ධන තත්ත්වයට කර තිබෙන දැඩි බලපෑමය (Pressure on capital position). ඊට අමතරව එකී බැංකු වල ද්‍රවශීලතා මට්ටම් පිරිහීම තවත් හේතුවකි (Liquidity constraints). පසුගිය දා IMF විසින් සිදුකල මූල්‍ය ආයතන පිළිබඳ තත්ව විශ්ලේෂණයට (State Bank Diagnostic Analysis) අනුව රජය විසින් බැංකු හරහා පෞද්ගලික අංශයට ලබා දුන් ණය විරාම (Debt Moratoriums) සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම (Debt Restructure ) හේතුවෙන් වූ බලපෑම සමනය කර ගැනීමට නම් රුපියල් ට්‍රිලියන 1.4 ක ප්‍රාග්ධන පූරණයක් (Capital Injection) වහා ලබා දිය යුතු බව බලධාරීන් උපුටා දක්වමින් පුවත් පතේ කියයි.

(අදාළ ලිපිය කියවීමට )
https://www.sundaytimes.lk/231015/business-times/six-state-owned-banks-to-undergo-urgent-reforms-535667.html

රනිල් වික්‍රමසිංහ සෑම මසකම විදේශ සංචාර එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම සිදුකරයි. ඔහු යන සෑම ගමනකටම “VIP මගීන්” (VIP Passengers) කිහිප දෙනෙකුත් රැගෙන යාම සිරිතකි. මේ වන විට රනිල් වික්‍රමසිංහ සිටින්නේ චීනයේ ය. පසුගිය මාසයේ ඔහු කියුබාව, ජර්මනිය සහ අමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල රැස්වීමට රැගෙන ගිය රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, සුරේෂ් වඩිවේල් වැනි මන්ත්‍රීවරුන් කුමන කටයුත්තක් සඳහා රැගෙන යන්නට ඇත්ද කියා ඔබ සිතනවාද? ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පත් (Business Class air tickets ) සහ හෝටල් ගාස්තු වලට අමතරව යැපීම් දීමනා (Subsistence ) යනාදියත් රටේ බදු ගෙවන්නන්ගේ සාක්කුවෙන් යන මුදල් ය. මොවුන්ගේ මෙම සෙල්ලක්කාර ජීවිත තවමත් අනුමත කරන පිරිස් ලංකාවේ සිටීම කෙතරම් අභාග්‍යක්ද?

රටේ භූමිය ඉන්දියාවට විකුණා ඇත. වරාය චීනයට විකුණා ඇත. මන්නාරම් ද්‍රෝනියේ සුලං බලය උත්පාදනය අදානිට විකුණා ඇත. උතුරු නැගෙනහිර සූර්ය බලය නිෂ්පාදනය සඳහා අක්කර 15000 ක් පමණ ඉන්දියාවට විකිණීමට ගිවිසුම් ගත වී ඇත. දැන් බැංකු ටික කාට විකුණාවිද? මෙතරම් විනාශයක් කරන දුෂ්ඨ පාලකයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන පිරිස් සිටිනු දැකීම පිළිකුල් සහගතය.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රටේ පාලන බලය ලබා ගැනීමට උත්සාහ කරන ජනතාවාදී දේශපාලන සංවිධාන යටපත් කිරීමට, අවමානයට ලක් කිරීමට, සහ ඔවුන්ගේ ජනප්‍රසාදය දරා ගැනීමට නොහැකිව රටේ ව්‍යවස්ථානුකූල මැතිවරණ කල් දමමින් , විවිධ උප්පර වැට්ටි දමමින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන රනිල්+රාජපක්ෂ ඇතුළු සියළු අධම පාලකයන්ට නිසි පාඩම් ඉගැන්වීමට රටේ ජනයා දැන්වත් අදිටන් කර ගත යුතුය.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
17.10.2023

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.