විශේෂාංග

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය!

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර වඩා සමතුලනයක් ඇතිකර ගැනීම පිළිබඳව ද යලි සාකච්ඡාවට ලක් කළ යුතුව ඇත.

මෙම ලිපිය දෙස බැලිය යුත්තේ මෙම පෘථුල දෘෂ්ඨියෙන් යුතුව යි. කෙසේ වෙතත්, නව ලිබරල්වාදය යටතේ අර්බුදවලින් වෙළී තිබෙන අධිකාරවාදී ධනේශ්වර පාලන ක්‍රමවලට මුක්කු ගැසීම සඳහා බහුවිධ සමාජවල පවතින වෙනස්කම් යොදා ගන්නා බව සැලකිල්ලට ගැනීම හැරුණු විට, මෙම ලිපිය ජාතික ප්‍රශ්නයට පාදක වන පන්ති පදනමින් යුත් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරයි. – ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය යන ලිපිය ඉංග්‍රීසි පරිවර්තනයද පහතින් දක්වා ඇත.

ජාතිය ගොඩනැගීම

ජාතිය ගොඩනැගීම විප්ලවීය හා එක රැයෙන් සිදු කරන ක්‍රියාවලියකට වඩා ක්‍රමයෙන් විකාෂයට පත් වෙන දිගුකාලීන ක්‍රියා මාර්ගයක් වන්නේය. එය දියුණු වී වර්ධනය විය යුත්තේ අභ්‍යන්තර ක්‍රියාවලියක් කරන ‌කොට ගෙන මිස බාහිර මැදිහත්වීමක් හෝ ආරෝපිත න්‍යාය පත්‍රයක් මගින් නොවේ. ආර්ථික, සමාජීය සහ දේශපාලනික වර්ධනයක් මෙන්ම ජනයාගේ සහ ජන ප්‍රජාවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනද ඊට අවශ්‍ය වේ. මෙයට අමතරව, ජාතිය ගොඩනැගීමේ පරිශ්‍රමය සඳහා කරන අනෙකුත් කටයුතු අතර රැකියා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම ද සහතික කළ යුතුය.

දිගු-කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ජාතිය ගොඩනැගීම සාර්ථක වන්නට නම්, හුදෙක් ආර්ථික සංවර්ධනය හෝ රාජ්‍ය ගොඩනැගීම පමණක් අවධාරණය කරනවා වෙනුවට, අප ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම වර්ධනය කර පවත්වා ගෙන යන සිවිල් ක්ෂේත්‍රය තුළ ඒ සාරධර්මවල ඇති වැදගත් කම හඳුනා ගත යුතුය. මෙම තීරණාත්මක ප්‍රශ්නය පිළිබඳව තිබෙන කිසියම් සැබෑ අදහසක් වේ නම් එය කප්පාදු කොට දේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් අපට දැනට ලැබී ඇත්තේ යල් පැන ගිය වචන සමූහයක් පමණකි.

විමධ්‍යගතකරණය

විමධ්‍යගතකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස වැඩි වැඩියෙන් දෘශ්‍යමාන වේ. ජනතා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අව්‍යාජ ලෙස බලය දරන ආයතනවලට තමන්ගේම නායකයන් සහ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ඇති හැකියාව යහපාලන සම්ප්‍රදායකට අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් සටන් වදින බිම් මට්ටමේ ව්‍යාපාර මතු වී තිබේ. මෙය පුදුමයට කාරණයක් නොවන්නේ වත්මන් ආර්ථීක අර්බුදය විසින් සනාථ කොට ඇති අන්දමට මාන්නක්කාර මධ්‍යම ආණ්ඩුවකට ජනතා අවශ්‍යතාවයන් සපුරා ලන්නට යලි යලිත් නොහැකි වී ඇති හෙයිනි.

දේශපාලන විමධ්‍යගතකරණයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවල නිරත වෙන පුරවැසියන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් බල ගැන්විය හැකිය. ශ්‍රී ලංකාව වැනි බහුවිධ සමාජවලට වඩාත්ම අදාළ වන පරිදි, වැඩි සහභාගීත්වයක් විසින් වඩා දැනුවත් හොඳ තීරණ ගැනීමට මඟ පෙන්වනු ඇතැයි උපකල්පනය කෙරේ. දේශපාලන විමධ්‍යගත කිරීම හේතුවෙන් පුරවැසියෝ තම නියෝජිතයන් වඩාත් හොඳින් දැන ගන්නා අතර අනෙක් අතට, ඒ නියෝජිතයෝ සිය ඡන්දදායක අවශ්‍යතාවයන් සහ අභිලාෂයන් ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙනවා ඇත. මක් නිසාද යත්, විමධ්‍යගතකරණය හේතුවෙන් ඇතැම් මහජන රාජකාරි සැලසුම් කිරීම, මූල්‍යකරණය කිරීම සහ කළමනාකරණය කිරීම පිළිබදව පවතින වගකීම, වැඩිමනත් ලෙස ප්‍රාදේශීය බවටත්, වග වෙන බවටත් පත් කරවමින්, කේන්ද්‍රයේ හා එහි නියෝජිත ආයතනවල සිට කලාපීය ආයතන වෙත පවරා දෙන හෙයිනි. එකිනෙකාටම ආවේණික වන ගුණාංග අන්තර්ගත වන අව-සංකේන්ද්‍රනය, අභිනියොජනය සහ අධිකාරී බලය පැවරීම මඟින් මෙය සාක්ෂාත් කර ගත හැකි වේ.

මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය “එකක් හෝ අනික” වැනි රංගනයක් විය යුතු නැති බව සඳහන් කළ යුතු වේ. මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ යෝග්‍ය තුලනයක් මගින් ඵලදායී මෙන්ම කාර්යක්ෂම ලෙස රජයේ සේවා සැපයීම සහතික කළ හැකි බව ලොව පුරා ප්‍රායෝගික උදාහරණ විසින් විදහා පා ඇත. විමධ්‍යගත කිරීමේ ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමත් පවත්වාගෙන යාමත් සඳහා මධ්‍යම ආණ්ඩුවලට තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ හැකිය. මෙය සිදු කළ හැක්කේ විමධ්‍යගත කිරීමට අවශ්‍ය, සුදුසු මෙන්ම ඵලදායී ජාතික ප්‍රතිපත්ති සහ විධිවිධාන සකස් කිරීමෙනි; එසේ කලාපීය, පළාත්බද සහ ප්‍රාදේශීය ඒකකවලට අළුත් කාර්යයන් පවරා ගැනීම සඳහා වැඩි වගකීම් දරන්නට ඉඩකඩ සලසා දෙමින් අවශ්‍ය අන්දමේ ශක්තිය ලබා දෙන පරිසරයන් බිහි කිරීමෙන් හෝ පවත්වාගෙන යාමෙනි.

සමස්තයක් ලෙස, විමධ්‍යගතකරණය සඳහා ගන්නා අව්‍යාජ පරිශ්‍රමයන් මගින් අපහසු නිලධරවාදී අධිකාරය කප්පාදු කළ හැකිය. එමඟින් ප්‍රාදේශීය සහ ජාතික රාජ්‍ය සේවකයන්ව ප්‍රාදේශීය තත්ත්වයන් සහ අවශ්‍යතා පිළිබඳව වඩාත් සංවේදී බවට පත් කරන්නට හැකි වේ. විමධ්‍යගතකරණය හොඳින් සිදු කළහොත් බහුවිධ සමාජවල හමු වන විවිධ දේශපාලන, වාර්ගික, ආගමික සහ සංස්කෘතික කණ්ඩායම්වලට තීරණ ගැනීමේ ක්‍රියාවලියන් තුල දේශපාලන නියෝජනය සඳහා ඉඩකඩ ලබා දිය හැකිය. පුරවැසියන්ට ප්‍රාදේශීය මට්ටමින් වඩා හොඳ රජයේ වැඩසටහන් වලට ප්‍රවේශ වන්නට ඉඩකඩ ලබා දෙන හෙයින් වඩා හොඳ දේශපාලන ස්ථාවරත්වයක් මෙන්ම ජාතික සමගිය ද ඇති කිරීම සඳහා ඊට දායක විය හැකිය. විවිධ ජනවාර්ගික සහ කලාපීය කණ්ඩායම් වෙත යම් ස්වාධිපත්‍යයක් මෙන්ම සිය ඉරණම තීරණය කරන පාලනයක් ඔවුන්ට ලබා දීමේ මාර්ගයක් වශයෙන් ප්‍රජා පාලන වගකීම්වල ඇතැම් අංග මධ්‍යම ආණ්ඩුවේ සිට ප්‍රාදේශීය ආණ්ඩුව වෙත විමධ්‍යගත කරමින් වැඩෙන රටවල් සංඛ්‍යාවක් විසින් ෆෙඩරල් ක්‍රම යොදා ගෙන ඇත.

කිසිදු ආකාරයක දේශපාලන බලය බෙදා හදා ගැනීමෙකින් ජනතාව බැහැර කර තැබුව හොත් ඔවුන් විසින් පවතින ක්‍රමයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරන්නට වැඩි ඉඩක් ඇති බවට දකුණේ නැඟිටීම් දෙකත්, උතුරේ දශක තුනක සන්නද්ධ ගැටුමත් නිදසුන් වෙති. සන්ධියවාදය (Federalism) හෝ බලය පැවරීම (devolution) යනු විවිධ දේශපාලන ආයතන අතර ඒවායේ ජනවාර්ගික හෝ කලාපීය බැඳීම් නොසලකා බලය බෙදා හදා ගැනීමේ මාර්ගයකි. ජයග්‍රහණ මෙන්ම අසීරුකම් අපක්ෂපාතී ලෙසත් සාධාරණ ලෙසත් බෙදා හදා ගන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් නොනැසී පවතිනවා ඇත.

වත්මන් දේශපාලන ක්‍රමය පදනම්ව ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඒකාධිකාරී ලෙස සියළුම වරප්‍රසාද සහ ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගනු ලබන ‘ජයග්‍රාහකයා සියල්ල අත්පත් කර ගැනීමේ’ ක්‍රමය මත යි. ඊට වෙනස් අන්දමට, බලය පැවරීම විසින් විවිධ ජනවාර්ගික හා කලාපබද කණ්ඩායම්වලට වඩාත් ආරක්ෂිත හැඟීමක් ඇති කරවමින් ඔවුන්ට තමන්ගේම කටයුතු පිළිබඳව තීරණ ගන්නට හැකියාවක් ලබා දෙයි. ඔවුන්ට පවතින ක්‍රමය කෙරෙහි වැඩි විශ්වාසයක් හා කැපවීමක් මෙන්ම ඒ ක්‍රමය සාධාරණ හා අන්තර්ග්‍රාහී එකක්ය යන බවට පොදු හැඟීමක් ද ඇති කර ගත හැකිය.

බලය පැවරීම

ඓතිහාසික ලෙස ගත් විට, ශ්‍රී ලංකාවේ ආණ්ඩු නැඹුරුව ඇත්තේ සියළු බලතල මධ්‍යගත කිරීම වෙත යි. එහෙත්, 20 වැනි සියවස අගභාගයේදී, ප්‍රාන්ත, කලාපීය, පළාත් සහ/හෝ පළාත් පාලන ආයතන වැනි පර්යන්තමය පාලන ආයතනවලට බලය පැවරීම මගින් මධ්‍යම ආණ්ඩුවල බලය අඩු කර ලීම සඳහා වන ගෝලීය ප්‍රවණතාවයේ වැඩි වීමක් දක්නට ලැබිණ. යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් සිය බහුවිධ ප්‍රජාවන් බල ගැන්වීම සඳහා විවිධ අන්දමේ බලය පැවරීමේ ක්‍රියාමාර්ග යොදා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් 1980 ගණන්වල ප්‍රංශයත් 1990 දශකයේ අග භාගයේ එක්සත් රාජධානියත් වඩාත්ම සුදුසු උදාහරණ වේ. ප්‍රංශය අතිශයින්ම මධ්‍යගත රාජ්‍යයක් විය. වාර්ෂික අයවැයවල සිට වීදි හා පාසල් නම් කිරීම දක්වා වූ කලාප, පරිපාලන ඒකක සහ සාමූහික වල සියළුම තීරණ මධ්‍යම ආණ්ඩුව විසින් අධීක්ෂණය (tutelle) නමැති ක්‍රමයක් යටතේ අනුමත කළ යුතුව තිබිණි. පර්යන්ත විසින් මධ්‍යම ආණ්ඩුවට එල්ල කරන ලද බලපෑම හේතුවෙන් ෆ්‍රොන්ස්වා මිතරොංගේ පාලනය (1981-95) ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවශ්‍ය කර තිබූ අනුමත කිරීම් බහුතරයක් ඉවත් කර දැමීය.[i]

ස්කොට්ලන්තය සහ වේල්සය සිය කටයුතු පිළිබඳව වැඩි පාලනයක් ඉල්ලා සිටීම හේතුවෙන් බලය පැවරීම 1970 ගණන්වල මුල් භාගයේදී එක්සත් රාජධානියේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත් විය. බලය පැවරීම සඳහා ඇති ජනතා කැමැත්ත නිශ්චය කිරීම සඳහා 1979 දී ජනමත විචාරණයක් පවත්වන ලදී. ඡන්දදායකයන් පහෙන් දෙකක බහුතරයකින් එය අනුමත කරන්නට අවශ්‍ය වූ නමුත් වේල්සයේ සහ ස්කොට්ලන්තයේ ඡන්දදායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. එහෙත්, 1999 දී ටෝනි බ්ලෙයාගේ පාලනය යටතේ බලය පවරා දෙන ලදුව, ස්කොට්ලන්තයට පාර්ලිමේන්තුවක් ද, පසුව වේල්සයට වේල්ස් සභාවක් ද හිමි විය. 1998 මහ සිකුරාදා ගිවිසුම උතුරු අයර්ලන්තයට තමන්ගේම වන පාර්ලිමේන්තුවක් ලබා දුන්නේය.[ii]

ශ්‍රී ලංකාවේ බලය පැවරීමට යෝජනා කරන අය පළාත්වලට යොදා ගත හැකි, පැහැදිලිව නිර්වචනය කරන ලද බලතල ඉල්ලා සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති පසුගිය පාලනය යටතේ ගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතරතුර ‘දකුණු’ පළාත් හතේ ප්‍රධාන ඇමතිවරු 13 වැනි සංශෝධනය යටතේ අපේක්ෂා කළ පරිදි නිසි බලය පැවරීමක් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මේ කිසිවක් පල දැරුවේ නැත.

ඓතිහාසික ප්‍රවේශයක්

ශ්‍රී ලංකාවේ බලය පැවරීම යනු මඟ හැරී ගිය අවස්ථාවන් පිළිබඳ කතාන්දරයකි. 2009 දී සන්නද්ධ ගැටුම අවසන් වූවද, දේශපාලන ගැටුම තවමත් එසේම පවතී. එම ගැටුම සමථයකට පත් කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් තුළ සියළු ප්‍රජාවන් සමඟ රාජ්‍ය බලය බෙදා හදා ගැනීමෙන් පමණි. රට තුල මෙන්ම විදේශගතව වසන බොහෝ ශ්‍රී ලාංකිකයින්ට මෙම අවශ්‍යතාවය පිළිබඳව තවමත් ඒත්තු ගැන්විය යුතුව ඇත.

ශ්‍රී ලංකාව බොහෝ ලෙස එකතැන ඇණහිට තිබෙන ඒකීය රාජ්‍යයකි. ශ්‍රී ලංකාව රාජ්‍ය අංශයේ අයථා පරිහරණය සහ දූෂණය අතින් ඉහළින්ම තිබෙන රට වශයෙන් පෙළ ගස්වා ඇති බව 2018 දී හිටපු විගණකාධිපතිවරයෙකු ප්‍රකාශ කර සිටියේය. රටේ පාර්ලිමේන්තු ක්‍රමය විසින් ප්‍රතිපත්ති සකස් කිරීමේ, නීති පැනවීමේ හා විනිවිද පෙනෙන රාජ්‍ය මූල්‍ය ක්‍රම පද්ධති ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම් පැහැර හැර තිබේ. සාවද්‍ය තොරතුරු සහ රැවටීමට ලක් කිරීම හේතුවෙන් කරුණු නොදත් පොදු ජනතාව, අත්තනෝමතික පාලනය පවත්වාගෙන යෑම සඳහා ‘නීතියේ ආධිපත්‍යය’ වෙනුවට ‘නීතිය මඟින් පාලනය කිරීම’ යොදා ගන්නා වංචනිකයන් යලි යලිත් තෝරා පත්කර ගෙන ඇත.

මේ සියල්ල මෑත කාලයේ දී ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන ආවේය. 2022 දී, ‘අරගලය’ විරෝධතා විසින් අවසන් වරට තේරී පත් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බලයෙන් පහ කර දමන ලදි. අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල පවතින උග්‍ර හිඟයත් ණය ගෙවීම පැහැර හැරීමත් සමඟින් රට බහුවිධ අර්බුදයකට මුහුණ පා ඇත. පදවියට පත් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙන ලද සහතික කිරීම් තිබියදීත්, බොහෝ දෙනා තවමත් දරුණු ලෙස පීඩා විඳිති. රට හැර යා හැකි අය වඩා සරු බිම් සොයා රංචු පිටින් පිටත්ව යමින් සිටිති.

පාසල් සහ රෝහල්වල සිට අධිකරණ පද්ධතිය සහ උපයෝගිතා සේවා දක්වා රටේ පරිපාලන කටයුතු බොහොමයක් බරපතල ලෙස ඇනහිට තිබේ. පසුගිය දශක හතර පුරා රජයමින් පැවති දූෂණය, අවකළමනාකරණය, නාස්තිය, දේශපාලන අනුග්‍රහයත්, විනිවිදභාවය සහ වගවීම නොමැති වීමත් විසින් ඒකාබද්ධ ආර්ථික හා දේශපාලන ගිනි කුණාටුවකට දායකත්වය සපයා ඇත. අර්බුදය දෑවැන්ත ලෙස උග්‍ර කිරීමට වගකිව යුතු රාජපක්ෂවරු තමන් පදවිප්‍රාප්ත කළ ජනාධිපතිවරයාට උපක්‍රමශීලීව සහය වෙමින් යලි බලය ඩැහැ ගැනීමට මාන බලා සිටිති.. ඔවුහු සමාජය භේද භින්න කොට බලය අල්ලා ගැනීමට ඔවුන්ට යොදා ගත හැකි ඕනෑම අවස්ථාවක් සහ සම්පත් යොදා ගනිමින් තම ස්වෝත්තමවාදී මූලධර්මවාදී පදනම් යළි ගොඩනඟමින් සිටිති.

දිස්ත්‍රික් සංවර්ධන සභා – ඉතිහාසයක්

1977 දී ජේ ආර් ජයවර්ධන පාලනය විවෘත ආර්ථිකයක් හඳුන්වා දී වාණිජ ඵලප්‍රයෝජන සඳහා පුද්ගලික අංශය ප්‍රබෝධමත් කිරීමට අවස්ථාව ලබා දුන්නේය. කෙසේ වෙතත්, ප්‍රසාරණය වන ආර්ථිකය ලබා දුන් සාධනීය ප්‍රතිඵල භුක්ති විඳීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව ලබා නොදීම හේතුවෙන් මෙය සමාජ ප්‍රතිවිරෝධතාවයන් උත්සන්න කර ලීය. විශේෂයෙන්ම සිංහල බහුතර ජනගහණයෙන් බොහෝ දෙනෙකුට හැඟුණේ තමන් අත හැර දමා ගොස් ඇති බවය. ආර්ථිකය එක රැයෙන් ජාත්‍යන්තර තරගයට විවෘත කිරීම නිසා ඊසානදිග දෙමළ ජනතාවද කලකිරීමට පත් වූහ. මිරිස්, ළූණු, ප්‍රධාන ආහාර ආදිය ඉන්දියාවෙන් ආනයනය කිරීම නිසා ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය – කෘෂිකර්මාන්තය විනාශ කර ලීය. ඔවුහු සමාජයේ ඉහළට යාම සඳහා වඩා හොඳ අවස්ථාවන් ද, දේශීය ඵලදායිතාවයේ වර්ධනයෙන් වඩා වැඩි කොටසක් ද ඉල්ලමින් සිටියහ.

මෙම ඉල්ලීමේ ඉතිහාසය දෙවන පෙළ ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ 1926 ව්‍යවස්ථාදායක සභාවේ කාල සීමාව දක්වා දිවේ. 1928 ඩොනමෝර් කොමිෂන් සභාවේදී ද මෙම ප්‍රශ්නය යළි සාකච්ඡා කරන ලදි. රට පාලනය කිරීමේ මහා පරිමාණ කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්නට මධ්‍යම ආණ්ඩුවට ඉඩ හරිමින් එය යටතේ සිදු කෙරෙන බොහෝ පරිපාලන කටයුතු වඩාත් සෘජු ලෙස පළාත් බද මට්ටමින් සිදු කළ හැකි වන පරිදි බලතල විමධ්‍යගත කිරීමේ අවශ්‍යතාවය කොමිෂන් සභාව හඳුනාගෙන තිබිණි. කොමිෂන් සභාව පළාත් සභා සඳහා සිය යෝජනා ද ප්‍රකාශයට පත් කළේය. “දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රමුඛව සිටින විවිධ ජන වර්ගවල විශේෂ අදහස්” “මෙම ප්‍රදේශ පරිපාලනය කිරීමේදී” බලපෑමක් ඇති කළ හැකි බව ද ඒ යෝජනාවලින් අදහස් ‌කෙරිණි. අවාසනාවකට, පළාත් සභා සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක නොකරන ලදි. පළාත් හෝ දිස්ත්‍රික්කවල අය සමඟ තම අධිකාරි බලය බෙදාහදා ගැනීමට අකමැති දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ විරෝධය නිසා මෙසේ වූවා විය හැකිය.

දෙමළ ප්‍රජාවේ විශාල කොටසකට වැඩි වැඩියෙන් හැඟී ගියේ ඔවුන්ගේ ස්වයං නිර්ණ අයිතිය ආමන්ත්‍රණය කිරීම සඳහා තිබෙන එකම ඵලදායි විසඳුම වූයේ දෙමළ ඊළම යනුවෙන් තමන්ගේම වන ස්වතන්ත්‍ර රාජ්‍යයක් පිහිටුවීම බවයි. මේ සඳහා ඔවුහු 1977 අගෝස්තු මස පැවැත්වූ මහ මැතිවරණයේ දී ඔවුන්ගේ දේශපාලන නායකත්වය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) වෙත ඉතා ප්‍රබල ජන වරමක් ලබා දුන්හ. සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් රට අවුල් සහගත මෙන්ම කැඩී බිඳී යන තත්ත්වයකට මුහුණ දෙමින් සිටියේය. ජයවර්ධන පාලනය තම අණසක වළංගු කිරීම සඳහා වැඩි වැඩියෙන් අධිකාරවාදී ක්‍රම කෙරෙහි යොමු විය. 1981 දී ජයවර්ධන පාලනය බලය බෙදීම සඳහායයි පැවසූ මෙවලමක් වශයෙන් එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභා (District Development Councils) පිහිටුවා ලීය.

එසේ වුවත් දිස්ත්‍රික් සංවර්ධන සභා දේශපාලනික වශයෙන් බල රහිත විය. ඔවුන්ට ක්‍රියාත්මක වීම සඳහා ඉඩ සළසන පරිදි වෙනම පරිපාලන යාන්ත්‍රණයක් පිහිටුවා නොතිබූ හෙයින් තම බල ප්‍රදේශයට අදාළ කරුණු කාරණාවලදී එවාට ස්වාධීනව මැදහත් වන්නට ඔවුන්ට නොහැකි විය. එබැවින්, දිස්ත්‍රික් සංවර්ධන සභාවල වැඩ කටයුතු සිදු කිරීම සඳහා පළාත් පාලන හා මධ්‍ය ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල නිලතන්ත්‍රය සහ සම්පත් මත යැපෙන්නට දිස්ත්‍රික් සංවර්ධන සභාවලට සිදු විය.[i] ප්‍රායෝගික ලෙස ගත් විට, මෙම ක්‍රම පද්ධතිය විසින් දේශපාලන පක්ෂ අනුග්‍රාහකත්වය ගොනු කොට නොනවත්වා පවත්වා ගැනීමට තවත් රාජ්‍ය ස්ථරයක් නිර්මාණය කරන ලද අතර, සිංහල දේශපාලන ප්‍රභූ පැලැන්තියට දිස්ත්‍රික් පරිපාලනය තුළ වැඩි බලපෑමක් ඇති කර ගන්නටද උපකාරී වූයේය.[ii] මීට අමතරව, එවකට පැවති රජයේ ඇමතිවරු තම බල ප්‍රදේශයට අයත් කටයුතුවලට අවහිර කරමින් දිස්ත්‍රික් සංවර්ධන සභා මැඩ පවත්වා ලූහ. ජනතා විමුක්ති පෙරමුණේ (JVP) අත්දැකීම අනුව ගතහොත්, මූල්‍ය කළමණාකරනය කිරීමේ බලතල කිසිවක් දිස්ත්‍රික් සංවර්ධන සභා සතුව නොතිබුණි. යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභාවේ නොහැකියාව ගැන කලකිරුණු එහි සභාපතිවරයා 1983 ජූලි මාසයේදී ඉන් ඉවත් ව ගියේය.[iii]

බණ්ඩාරනායක-චෙල්වනායගම් (B-C) ගිවිසුමත්, ඩඩ්ලි-චෙල්වනායගම් (D-C) ගිවිසුමත් ඒකපාර්ශ්විකව අවලංගු කර දැමීමෙන් පසු බලය පවරා දීමට ඉඩ සැලසූ පළමු ප්‍රතිකරණය පනවන ලද්දේ 1987 දී ඉන්දීය රජයේ අනුග්‍රහයෙනි. ඒ කාලයේ පටන් දශක තුන හමාරකට ආසන්න කාලයක් දහතුන්වන සංශෝධනය සපුරා ක්‍රියාත්මක නොකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්වා ගෙන ගොස් ඇත. ජයවර්ධන පාලනයේ පටන් පැවති සියළුම පාලන තන්ත්‍ර විසින් ඉඩම් හා පොලිස් බලතල මුළුමණින් පාලනය කිරීම නිශ්චිතවම තමන් වෙත නතු කර ගෙන සිට ඇත. පළාත් සභාවල මූල්‍ය බලතලවලට පවා ඔවුහු බරපතළ ලෙස අවහිර කළහ. මෙසේ කරන ලද්දේ පළාත් සභාවලට අදාළ ප්‍රදේශ සම්බන්ධයෙන් තමන් සතුව කිසිදු ආකාරයක සැබෑ පරිපාලන ක්‍රමයක් නොමැති බවටත්, අත්‍යාවශ්‍ය කරන දේවල් මිලදී ගන්නට පවා ප්‍රමාණවත් මුදලක් ඒ සභා සතුව නොමැති බවටත් පළාත් සභා විසින් බොහෝ සේ පැමිණිලි කර තිබියදීය.

ව්‍යවස්ථා සංශෝධනවල ඉතිහාසය

දැනට රටේ විධායකය, ව්‍යවස්ථාදායකය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල තේරී පත් වූ සහ නම් කරන ලද නියෝජිතයින් 10,000 ක් පමණ සිටිති. ඔවුහු මුළු රටේම සමාජ-ආර්ථික, දේශපාලන සහ බහු සංස්කෘතික ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීමට නියමිතව සිටිති. එසේ වුවද, පාලන ක්‍රම පද්ධතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පත්ව ඇත. අධිකාරීවාදී, මධ්‍යගත කරන ලද, වග වීම් විරහිත පාලන ක්‍රම පද්ධතිය, අර්බුදයෙන් අර්බුදයට ගමන් කරමින්, වත්මන් බහු අර්බුදය වෙත රට ඇද දමා ඇත. මේ ක්‍රම පද්ධතිය දූෂණය, නාස්තිය, අවකළමනාකරණය සහ පාලක පැලැන්තිය රැක ගැනීම වෙනුවෙන් භීෂණය හා ප්‍රචණ්ඩත්වය යොදවන අයට දණ්ඩමුක්තිය ලබා දීම හා එක්ව යයි. රටේ හැම අස්සක් මුල්ලක් නෑරම මෙම අවමානය සහ මරණාසන්න බව නොකඩවා පැතිර පවතී.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද අවසන් සංශෝධන හතර අපි විමසා බලමු. 2015 දී තේරී පත් වූ යහපාලන ආණ්ඩුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ නමුත් එය ප්‍රමාණවත් වගකීමකින් යුක්තව ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට මුළුමණින් කැපවී සිටියේ නැත. පෙර පැවති රාජපක්ෂ පාලනය විසින් අත්පත් කර ගන්නා ලද අත්තනෝමතික බලතල අහෝසි කරන බවට 2015 දෙන ලද මැතිවරණ ප්‍රතිඥා තිබියදීත්, එම සංශෝධනය කිසිඳු අර්ථාන්විත ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන කැමැත්තක් තිබුණේ නැත.

මෙම තත්වය 2020 දී සම්මත කරන ලද 20 වැනි සංශෝධනයට මග පෑදීය. එයින් රාජ්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව වගවීම සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා වූ සමස්ත විගණන ක්‍රියාවලිය අඩපණ කළ බව කියනු ලැබේ. ස්වාධීන කොමිෂන් සභාවලට කරන පත් වීම් සම්බන්ධයෙන් නිරීක්ෂණ කළ හැකි පාර්ලිමේන්තු මණ්ඩලයක් හඳුන්වාදීමට නියමිතව තිබුණි. එසේ වුවද, ජනාධිපතිවරයා එම පත් වීම් සිදු කිරීමේදී මුළුමණින් සිය අභිමතය අනුව කටයුතු කළේය. පසුව 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළ විධායක ජනාධිපති ධුරයේ බලතල සහ වරප්‍රසාද යළි ලබාදීම සඳහා 21 වැනි සංශෝධනය බලාත්මක කරන ලදි.

ඉන්පසු 22 වැනි සංශෝධනය ගෙන එන ලද්දේ ව්‍යවස්ථා සභාවක් නැවත ස්ථාපිත කිරීමෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ලබා දී ඇති ඇතැම් බලතල අඩු කිරීම අරමුණු කර ගනිමිනි. එය ද ජනාධිපතිවරයාට ආරක්‍ෂක කටයුතු සහ ඔහු දරන්නට කැමති වෙනත් ඕනෑම අමාත්‍ය ධුරයක් දරන්නට ඉඩ ලබා දුන්නේය. කෙසේ වෙතත්, එයින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට සැලකිය යුතු බලපෑමක් සිදු නොකළ බව පසුගිය දෙවසර අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිමය නොවන චර්යාවෙන් පැහැදිලි විය. විධායක ජනාධිපති ක්‍රමය සතුව ඇති අධික බලය කප්පාදු කිරීමට අපොහොසත් වීම රටේ ආර්ථිකයට සහ නීතියේ ආධිපත්‍යයට විනාශදායක වී ඇති බව සනාථ වී තිබේ.

[i] Reiter R, Grohs S, Ebinger F, Kuhlmann S and Bogumil J 2010, Impacts of decentralization: The French experience in a comparative perspective, Ruhr-Universität; Published in French Politics 8(2010), 2, 166-189, Available at: https://d-nb.info/1078649812/34

[ii] Baldersheim H 2009, Decentralisation in practice: European patterns and experiences, Ministry of Public Administration and Local Self Government, Available at: https://www.undp.org/sites/g/files/zskgke326/files/migration/rs/UNDP_SRB_Decentralisation_in_practice-European_Patterns_and_Experiences.pdf

[i] De Alwis, R. K. 2009, History of and Prospects for Public Sector Reforms in Sri Lanka. 209, Unpublished PhD thesis, Victoria University of Wellington, Cited in Jayasundera S 2022, An uneasy hegemony: Politics of State Building and Struggles for Justice in Sri Lanka, 173, Cambridge University Press.

[ii] Ibid, 175

[iii] Sivathasan S 2013, Jaffna Development Council Election 1981, available at: https://www.colombotelegraph.com/index.php/jaffna-development-council-election-1981/

Sri Lanka – Nation Building, Devolution & The 13th Amendment

Top