රනිල් කලබල වුණේ මාලිමාවෙන් ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. කොල්ලය ගැන ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කරන නිසාවෙන් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය පෙන්වා දෙනවා.

පොල් වගා කරන්නන්ගේ සංගමයේ රැස්වීමකදී 04වැනිදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කළ ප්‍රකාශකයකින් අධිකරණයටත්, අධිකරණයේ ස්වාධීනත්වයටත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලයටත් එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මෙම මාධ්‍ය හමුව පැවැත්වුනා.

යවස්ථා විරෝධී, අනීතික, සදාචාර විරෝධී ප්‍රකාශයක් ඔහු කර තිබෙන්නේ. සියලු විද්‍යුත් මාධ්‍ය මඟින් ඒ ප්‍රකාශය විසුරුවා හැරියා. රනිල් වික්‍රමසිංහ මේ ප්‍රකාශය කරන්නේ ව්‍යවස්ථාව හරියට නොකියවා හෝ හිතාමතා විකෘති කිරීමක් ලෙසයි. ජනතාවගේ බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බැවින් වෙනත් තැන්වල තීන්දු තීරණ ගත නොහැකි බව ඔහු කියනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල විවාදයක් ඇතිවී තිබෙන බවයි ජාතික ජන බලවේගයේ නීතිඥයෝ පෙන්වා දුන්නේ.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල

ජනතාවගේ බලය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය මගින්. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‘4 අ’ මඟින් ‘4 ආ’ සහ ‘4 ඇ’ මඟින් බෙදා වෙන්කරදී තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවේ මුල්ම පිටුවේ ‘ස්වස්ති’ කියන කොටසේ නිදහස, සමානාත්මතාව, යුක්තිය, මානව අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ක්‍රියාත්මක විය යුතු බව දක්වා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා පත් කරගත යුත්තේ, ජනතාවගේ ඡන්දයෙන්. ‘4 ආ’ වගන්තියේ ඒ බව හරි පැහැදිලිව තිබෙනවා. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයකු මඟින් ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කළ යුතු බව එහි පැහැදිලිව දක්වා තිබෙනවා. නමුත් මේ වගන්තිය කියවන්න රනිල් වික්‍රමසිංහ බයයි. මේ නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් ‘4 අ’ වගන්තියට ඔහු මුවා වෙනවා. රනිල් පත්වුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ ඡන්දයෙන් නිසා ඔහු ‘ආ’ වගන්තිය මඟහැර ඒ වාගේම ‘4 ඇ’ වගන්තියත් මඟහැර යනවා. ‘4 ඇ’ වගන්තියෙන් කියන්නේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධවයි.

රනිල් වික්‍රමසිංහ මේ විදියට අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් ඊ.පී.එෆ්. එක සහ ඊ.ටී.එෆ්. එක ඇතුළු විශ්‍රාම අරමුදල් කොල්ලකෑමේ සැලැසුමට විරුද්ධව පවරා තිබෙන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නිසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට වාගේම ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් පිහිටුවා තිබෙන පනත්වලටත් පටහැණිව මේ අරමුදල කොල්ලකන්න හදනවා. මේ කොල්ලකෑම අතුරු නියෝගයකින් නවත්වයි කියන බයට මේ වගේ ප්‍රකාශ කරනවා. ඒ පෙත්සම්වල රනිල් ඇතුළු කැබිනට් මණ්ඩලය වගඋත්තරකරුවන් කර තිබෙනවා. මේ රටේ දේපොළ කොල්ලකමින්, මහජනයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් පාලකයන් කටයුතු කරන කොට මහජනයාට යන්න තියෙන්නේ අධිකරණයට. ජේ.ආර්.ගේ කාලයේ නම්, විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ගල් ගැහුවා. මහින්දගේ කාලයේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ඉවත් කළා. හැබැයි, අන්තිමට අහිමි වුණේ පාලකයන්ගේ පුටු බව මතක තබාගත යුතුයි. අධිකරණයට අත තියන්න උත්සාහ කළ පාලකයන්ට ඉතිහාසයේ කුණුබක්කිය ඉතිරි වුණේ. ජනතාවට බය රනිල් ජනතාවගේ බලයට අත තියන්න විවිධ උත්සාහයන් දරනවා. ජන වරමක් නැති මිනිහෙක් ජනතාවගේ බලයට තර්ජනය කිරීම හමුවේ කවුරු බය වුණත්, ජාතික ජන බලවේගය හෝ ජාතික ජන බලවේගයේ නීතිඥයෝ බය නොවන බව අවධාරණය කරනවා. අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කරන විනිසුරුතුමන්ලාට හිස නමා ආචාර කරන අතර, කොන්ද පණ නැති කතාවලට නොසැලෙන ලෙස ගරු විනිසුරුතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. ලක්‍ෂ හැටනවයක ජන වරමක් ලබාගෙන බලයට පත්වුණු කෙනාට පස්සා දොරෙන් පැනලා යන තැනට මහජන බලය බලවත් වූ බව මතක් කරනවා. ජනතාවගේ ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. අරමුදල් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය විසඳන්න පෙත්සම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට බාරදී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාමාර්ගවලට විධායකයේ ප්‍රධානියා හැටියට රනිල් වික්‍රමසිංහ තර්ජනය කිරීම අපි දැඩි සේ හෙළාදකිනවා. ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් අපි හෙට දවසේත් පෙනී සිටින බව මතක් කරනවා.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම

රනිල් වික්‍රමසිංහ කරන්නේ නඩු අහන විනිශ්චයකාරතුමන්ලා බය කරන එක

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර බලය බෙදී තිබෙනවා. විධායකය හෝ ව්‍යවස්ථාදායකය ගනු ලබන අත්තනෝමතික තීරණයක්, යුක්තිසහගත නොවන තීරණයක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි තීරණයක් සම්බන්ධයෙන් ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කළ නොහැකි බව මේ බලය බෙදීමෙන් කියැවෙන්නේ නැහැ. ඉතිහාසයේ විවිධ අවස්ථාවල විධායකය හෝ ව්‍යවස්ථාදායකයේ තීන්දු මත සමහර දේවල් තීරණය කිරීම සම්බන්ධයෙන් නඩු තීන්දු ලබාදී තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ ‘වෝටර්ස් එජ්’ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා. පෞද්ගලික ආයතනයකට ‘වෝටර්ස් එජ්’ ලබාදීමට ගෙන තිබූ තීරණයට විරුද්ධව සුගතපාල මෙන්ඩිස්ට එදිරිව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නඩුව උදාහරණයක්. මේ ගනුදෙනුවේ දී වංචා, දූෂණ සිදුවූ බවට පෙත්සම් ඉදිරිපත්කර තිබුණා. නඩු තීන්දුවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියෝග කළා. ඊටත් පෙර කොළඹ වරායේ පී. ඇන්ඞ් ඕ. ජැටිය බදු දීමේදී දූෂණයක් සිදුවී ඇති බවට ඉදිරිපත් කළ පෙත්සම ඒ ආකාරයෙන්ම සලකා බලා දූෂනයක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග ලබාදුන්නා. ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දු ගැනීමට සහ නියෝග ලබාදීමට තිබෙන බලය මේ අවස්ථාවලදී තහවුරුවී තිබෙනවා. මේ අවස්ථාව වන විට පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මූලි අයිතිවාසිකම් නඩු විශාල සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේත් පෙත්සම් ගණනාවක් අභියාචනාධිකරණයේත් විභාග වෙමින් තිබෙනවා.

මේ නඩු විභාග කරන විනිශ්චයකාරවරුන්ට ස්වාධීනත්වයක් තියෙන්න ඕනෑ නඩු විභාග කර අවසන් කරන්න. ඒ විනිසුරුවරුන් බියට පත් කරන්න, පීඩනයට ලක් කරන්න රටේ විධායකයට හෝ වෙනත් කිසිවකුට හෝ හැකියාවක් නැහැ. නමුත්, ඊයේ රනිල් වික්‍රමසිංහගේ කතාවෙන් කියන්නේ පාර්ලිමේන්තුවට නියෝග කරන්න වෙන කාටවත් බැහැ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මේ නඩු විභාග කරන්නේ විශාල පරිචයක් තිබෙන විනිශ්චයකාරවරුන් පිරිසක්. ඔවුන්ගේ වපසරිය ගැන ඔවුන් හොඳින් දන්නවා. අනුර බණ්ඩාරනායක නඩු තීන්දුවේදී ඒ බව හොඳින් පැහැදිලි කරදී තිබෙනවා. අධිකරණය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් සම්බන්ධ නඩුද, එසේත් නැත්නම්, පාර්ලිමේන්තුව සම්බන්ධ නඩුද යන්න නිසි අවස්ථාවේදී තීරණය කරයි. ඒ තීරණය ගන්නා තුරු නඩුව විභාග කිරීමේ නිදහසක් අධිකරණයට තියෙන්න ඕනෑ. විනිශ්චයකාරවරුන්ට පීඩනයක් නොතිබෙන්න ඕනෑ. නමුත්, මේ කරන්නේ ඒ විනිශ්චයකාරතුමන්ලාට පීඩනයක් ඇති කිරීමයි, බියගැන්වීමයි. මෙයට කලින් විවියන් ගුණවර්ධන මහත්මියගේ මූලික අයිතිවාසිකම් කඩ කළාය කියන පෙත්සම සලකා බැලීමේදී පොලිස් නිලධාරියකුට විරුද්ධව තීන්දුවක් දුන්නා. ඒ පොලිස් නිලධාරියාගේ පෞද්ගලික වියදමින් වන්දියක් විවියන් ගුණවර්ධන මහත්මියට ගෙවන්න නියම කළා. ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඒ වන්දි මුදල රජයේ මුදලින් ගෙවා විනිශ්චයකාරවරුන්ගේ නිවාසවලට මැරයන් යොදවා ගල් ගැස්සෙව්වා. බාන්ස් රත්වත්තේ සහ සෝසා මෙන්ම තවත් විනිශ්චයකාරවරයකුගේ නිවස්වලට ප්‍රහාර එල්ල කළා.

නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර

විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත් පක්‍ෂ ගොඩ ගන්න හදනවා

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ අධිකරණය ප්‍රධාන ආයතන තුන හැටියට දක්වා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් මාධ්‍යයට හෝ වෙනත් ආයතනවලට තම කටයුතු පිළිබඳව කරුණු නොදක්වා නිහඬව ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ මූලික සහ එකම බලය දරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 වැනි වගන්තිය අනුව මේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරී තිබෙන අතර, ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට ඒ බලය නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය හෝ වෙනත් ආර්ථික ප්‍රතිපත්ති තීරණ හෝ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, ඖෂධ ගෙන්වීමේදී, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැනි ඕනෑම කටයුත්තකදී විමර්ශනය කළ හැකි එකම තැන අධිකරණ පද්ධතියයි. මහ බැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම් විභාගයේදී එහි 86වැනි වගන්තිය සම්බන්ධ තීන්දුව පාර්ලිමේන්තුව පිළිගන්න ඕනෑ. එය නෛතික මෙන්ම සදාචාරාත්මකවත් පිළිගන්න ඕනෑ. මේ ආයතන තුන එකිනෙකාට ගරු නොකර ක්‍රියා කළහොත්, ව්‍යවස්ථා අර්බුදයකට හේතු වෙනවා. මෙරට රාජ්‍ය පාලන ආයතන තුනෙන් විකෘති නොවී තිබෙන එකම ආයතනය අධිකරණය විතරයි. පාර්ලිමේන්තුව 100%ක් විකෘතියි. ජනාධිපති ධුරය 100%ක් විකෘතියි. කැබිනට් මණ්ඩලය 100%ක් විකෘතියි. මේ විකෘතිය සිදු වුණේ කෙසේ දැයි මම පැහැදිලි කරන්නම්.

අන්තිමට පැවැති මහා මැතිවරණයේදී වාගේම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් තෝරා පත්කර ගත්තා. ඊට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කැබිනට් මණ්ඩලයක් සහ පාර්ලිමේන්තු ව්‍යුහයක් පත්කර ගත්තා. ඒ පත් කරගත් ආණ්ඩුව අවුරුදු දෙකක් ඇතුළත ජන අප්‍රසාදයට ලක්වී තිබෙන අතර, මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී රට බංකොළොත් බවට නිල ප්‍රකාශයක් කළා. ඒ වාගේම අරගලයකින් ජනතාව පත් කරගත් ආණ්ඩුව ප්‍රතික්‍ෂේප කර තිබුණා. එහෙම නම්, ඡන්ද අයිතිය නමැති පරමාධිපත්‍ය බලය වාගේම ප්‍රජාතන්ත්‍රවාදී කියන සෙවණැල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුරාම තිබෙනවා. එසේ තිබියදී, රට බංකොළොත් බව ප්‍රකාශ කළ මුදල් ඇමැති වෙනත් ඇමැතිකමක් දරන අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩලය විසිරී වෙනත් අය ඇමැති ධුරවලට පත් වෙනවා. රට හදන බවට පොරොන්දුවී පත් කරගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 147 විසිරී ගොස් අපභ්‍රංස කියනවා. අරගලයෙන් පසුව රට මෙවැනි අරාජිකත්වයට පත්වීම ගැන නීතිඥ සංගමය, සිවිල් සංවිධාන, ආගමික සංවිධාන සහ විපක්‍ෂය යන සියලුම පාර්ශ්ව ඉල්ලීමක් කරමින්, රට යථා තත්වයට පත් වන තුරු නිර්දේශපාලනික ක්‍රියාකාරීත්වයක් ඉල්ලා සිටියා. නමුත්, රට යථා තත්ත්වයට පත්කිරීම වෙනුවට සියලුම ක්‍ෂේත්‍රවල විකෘතියක් පවතින බව ඒ ඒ ක්‍ෂේත්‍රවල සියලු විශේෂඥයන් පොදුවේ ප්‍රකාශ කරනවා. මේ විකෘති ආණ්ඩුව බංකොළොත් රට ගොඩගන්නවා වෙනුවට බංකොළොත්වූ පක්‍ෂ ගොඩ ගැනීමේ ව්‍යාපාරයක් ගෙන යනවා. ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ උත්සාහය රටට හෝ පුරවැසියාට හෝ යහපතක් වෙන්නේ නැහැ.

මේ පසුබිම තුළ ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නීතිය කෙරෙහි දක්වන සැලැකිල්ල ඉතාම ඛේදජනකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පිහිටුවා තිබූ මැතිවරණ කොමිසම කැඳවූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කළ ජනාධිපතිවරයා එවැනි මැතිවරණයක් නැති බව ප්‍රකාශ කළා. ඉන් පසුව නුවරඑළියේදී අධිකරණ නිලධාරීන් හමුවී අධිකරණය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් කර තිබෙනවා. ඔහුගේ ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය ඉදිරියේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතිද්දී, ඊයේ ඔහු කළ කතාවේදී තව විශේෂ දෙයකුත් අවධාරණය කළා. “මම සුළු දේශපාලන පක්‍ෂවලට කියනවා, ඕවාට එන්න එපා. මම ඒ කවුරුත් කියන එකක් අහන්නේ නැහැ” කියලා. සුළු හෝ විශාල පක්‍ෂ කියලා ප්‍රජාතන්ත්‍රවාදය අනුව තීරණය කරන්නේ කොහොමද? එහෙම කරනවා නම්, කරන්න වෙන්නේ මහජන මතය අනුවයි. ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ තිබෙන ඉතාමත්ම සුළුම දේශපාලන පක්‍ෂයේ අයිතිකාරයා ඔහුයි. එක ආසනයයි තියෙන්නේ. ඔහුගේ අර්ථයෙන් සුළු දේශපාලන පක්‍ෂවලට උසාවි නොයන ලෙස ඒ කතාවේදී සරදම් කරනවා. ඉතාම සුළු දේශපාලන පක්‍ෂයක මේ පුද්ගලයා කියන කතාව අපට ඕනෑ නම්, බැහැර කළ හැකියි. නමුත්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණු විධායක බලය හොබවන පුද්ගලයා ලෙස මේ ප්‍රකාශය කරන්නේ. ඔහුගේ විකෘති දේශපාලනය නොව මුළු රටම අරගලයෙන් ඉල්ලා සිටියේ, නිර්දේශපාලනික සංක්‍රාන්ති කාලයක් ලබාදෙන ලෙසයි. ඒ බලය ලබාදෙන්න ඔන්න මෙන්න කියා තිබියදී, පාර්ලිමේන්තු විකෘතියෙන් මේ තනතුරට පැනගෙන දැන් ඔහුගේ පක්‍ෂයේ පරාජිත දේශපාලනඥයන් උපදේශකයන් ලෙස පත් කරගෙන අමුතු ආණ්ඩුවක් පවත්වාගෙන යනවා.

වෛද්‍ය විශේෂඥයන්, අනෙකුත් ක්‍ෂේත්‍රවල විශේෂඥයන් බදු බර නිසා රට අත්හැර යනවා. ඒ තත්වය ගැන ඔහුගේ ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ මහාචාර්යවරුන්ට උගන්වන පැය ගණන අනුව වැටුප් ගෙවිය යුතු බවයි. මේ වාගේ තත්වයක් තුළ විශේෂඥයන් රටේ ඉතිරි වේවි ද? ආර්ථිකය කඩාවැට්ටවීම පිළිබඳව විශ්‍රාම වැටුප් අරමුදල් පිළිබඳව රජයේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධව නඩු ගණනාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් පොලිසියේ උසස්විම් සම්බන්ධ තීරණවලට අත පෙවීම සහ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් තීරණ ගන්නේ අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. මෙවැනි විකෘති තත්වයන් ගැන පුරවැසියාට යා හැකිව තිබෙන එකම ආයතනය වන අධිකරණයට විශාල බලපෑමක් මහජන මතයට එරෙහි පාලකයා සිදු කරනවා.

තමන් කනවාද නැද්ද, නානවාද නැද්ද, වැසිකිළි ගොස් හෝදනවාද නැද්ද වාගේ කරුණු සම්බන්ධයෙන් ඕනෑ නම්, තම තමන්ටම තීන්දු ගන්න පුළුවන්. නමුත්, රාජ්‍ය පාලකයකු හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල සම්බන්ධයෙන් මේ වාගේ ප්‍රකාශයක් කරන්න බැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතාමතා උල්ලංඝනය කිරීම දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතුවක්. යම් බලතලයක් ක්‍රියාත්මක කළ හැක්කේ විධායකයෙන්, ව්‍යවස්ථාදායකයෙන් හෝ අධිකරණයෙන් බව තීරණය කළ හැකි එකම ආයතනය වන අධිකරණය සම්බන්ධයෙන් කරන මේ ප්‍රකාශ මානසික ව්‍යාධියකින් පෙළීම හෝ හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කිරීමේ චේතනාවෙන් සිදු කරන්න ඕනෑ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම මේ අවස්ථාවේ ප්‍රමුඛ කාර්යයක්ද? නමුත්, එවැනි දේ කරන බව කියන්නේ ඊළඟ මැතිවරණයකදී බලය ලබාගැනීමේ චේතනාවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය, සදාචාරය උල්ලංඝනය කරමින්, මේ ජනාධිපතිවරයා වරින් වර කරන ප්‍රකාශ මඟින් අධිකරණයට කරන තර්ජනය ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි හෙළාදකිනවා.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කළ උද්ඝෝෂණවලට ශ්‍රී ලංකාවේ නීතිඥයෝ සහයෝගය දුන්නා. රට පුරාම විහිදී සිටින නීතිඥයන් යුතුකමක් හැටියට ඒ කටයුත්ත සිදු කළා. ඒ වාගේම ශක්තිමත් සංගමයක් හැටියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් අද හෙටම මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට සරදම් කිරීමට එරෙහිව පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා.

Top