Breaking
25 Feb 2025, Tue

බොරු ජාතිකවාදය පෙන්වන චම්පික පයින් ගසා පන්නමු … ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු

ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.

අද දිවයින පුවත්පතේ පළවන වාර්තාවකට අනුව ට්‍රම්ප් ලංකාව පිළිබඳ මෙතෙක් එක්සත් රාජ්‍ය දැරූ අදහස වෙනස් කරන්න යන බවට ඉඟියක් තිබුණා. ඊනියා ජාත්‍යන්තරවාදී හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වුනා නම් ඒ බොරු ජාත්‍යන්තරවාදයේ නාමයෙන් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී බොරු සංකල්ප යොදා ගනිමින් රූසියාව සමග යුද්ධයකට පැටළීමට ඉඩ තිබුණා. ඒ වගේ ම ඇය ලංකාවේ දෙමළ ජාතිවාදය තව තවත් පෝෂණය කරමින් රට දෙකඩ කිරීමට පියවර ගැනීමට තිබුණා. රනිල්ලා සම්බන්ධන්ලා ශිවාජිලිංගම්ලා හිටියේ ඇගේ පැත්තේ. ශිවාජිලිංගම් ඇය වෙනුවෙන් පොල් ගැසූ බව අමතක වී තිබෙන්න බැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය හෝ අලුත් පක්‍ෂය වන පොදුජන පෙරමුණ හෝ ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නයට මැදිහත්වන්න කියන්න නොවෙයි. ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියන්න. මෙරට දෙමළ විරෝධී කිසිවක් සිදුවෙලා නැති බවත් සිදු වී ඇත්තේ සිංහල විරෝධී දේ පමණක් බවත් ට්‍රම්ප් දැනගත යුතුයි. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ට්‍රම්ප්ට විෂ පොවන්න පෙර මේ කටයුත්ත සිදුවිය යුතුයි. සිංහලයන් සැම විට ම කටයුතු කරන්නේ බාලගිරි දෝෂය වගේ. අද නොවෙයි හෙට යන්නයි සිංහලයන්ගෙ ප්‍රතිපත්තිය. හෙට ප්‍රමද වැඩියි යන්න මත පිහිටා අප කටයුතු කළ යුතුයි.

දෙමළ හා මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව බව ට්‍රම්ප්ට කිව යුතුයි. ඔවුන් මෙරට සංස්කෘතියට ගරු කරන්න තවමත් පුරුදු වී නැතිවා පමණක් නොව මෙරට ඉතිහාසය අමතක කරමින් සිංහල සංස්කෘතියට විශේෂ තැනක් දීම වරදක් ලෙස සලකන බවත් අප කියා සිටිය යුතුයි. ට්‍රම්ප් කළ යුත්තේ අපේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීම පමණක් නොවෙයි. මෙතෙක් ක්ලින්ටන්ලා ඔබාමාලා යටතේ සිදු වී ඇති දේත් නිෂේධ කිරීමට පියවර ගත යුතුයි. එහි පළමු හා ප්‍රධාන පියවරක් විය යුත්තේ රනිල් මෛත්‍රිපාල සම්බන්ධන් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා ඉල්ලා අස්කර ගැනීමයි. මෙරට කිසිම ආකාරයක දෙමළ සංහාරයක් සිදු වී නැති බවට හොඳම උදාහරණ විපක්‍ෂ නායක හා අගවිනිසුරු දෙමළ ජනවාර්ගිකයන් වීමයි. විග්නේස්වරන් හිටපු විනිසුරුවකු වීමයි.

මෙරට ජාතික ව්‍යාපාරය ගැමුණු රජු දවසේ සිට තිබුණත් ඉංගිරිසින්ට විරුද්ධව ජාතික ව්‍යාපාරය ඇරඹුණේ 1817-18 වෙල්ලස්ස සටන සමගින්. එය ක්‍රමයෙන් විකාශය වී අනගාරික ධර්මපාලතුමා මගින් පනස්හය දක්වා වර්ධනය වුනා. බණ්ඩාරනායක මැතිණිය ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. 1977 ජේ ආර් බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වයට පහර දුන්නා. සිංහල විරෝධී කසිකබල් අනුකාරක සංස්කෘතියකට රට විවෘත කෙළේ ජේ ආර්. ඔහු ගැන යම රජු ක්‍රියා කරනු නිසැකයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හා හින්දු සංස්කෘතියට අභියෝග කරමින් කාලෝ ෆොන්සේකා ගිනි පෑගුවේ හැත්තැවේ දශකයේ මුල. ඔහු අඩුම තරමෙන් තමන් අනුගමනය කරන්නේ ය කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයවත් එහි දී අනුගමනය කෙළේ නැහැ. ඔහු ආධ්‍යාත්මික බලයෙන් ගිනි පෑගිය නොහැකි බව පෙන්වා සිටියේත් නැහැ. මේ සියල්ල 1977 දී ජේ ආර් නම් දේශීය සංස්කෘතික විරෝධියා බලයට පත්කිරීමට උපකාරි වුනා. අද වන විට ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන පඬියන් කතරගම දෙවියන්ගේ බහුභාර්යා සේවනයක් ගැන කතාකරමින් ඒ දෙවියන්ට අපහාස කරනවා. ඔවුන්ට ජාතිවාදී ලේබල ඇලවෙන්නේ නැහැ.

කෙසේ වෙතත් වත්මන් ජාතික ව්‍යාපාරය ජේ ආර්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇරඹුණු එකක්. අසූ ගණන්වල මුල එහි බීජ දකින්නට පුළුවන්. ජ වි පෙ ස්ථිර ජාතිකත්වයක හිටියේ නැහැ. විජේවීරගේ සිට එය මාක්ස්වාදය හා ජාතිකත්වය අතර දෝලනය වුනා. චම්පක පාසල් වියේ දී ජ වි පෙ අනුගාමිකයෙක්. ඔහු එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. විශ්වවිද්‍යාලයට පැමීණීමෙන් පසුව ඔහු ජාතික මතවාදවලට තල්ලු වුනා. එහෙත් ඔහුගේ ජ වි පෙ දෝලනය ගිලිහුණේ න3හැ. 1994 මැතිවරණයේ දී ඔහු චන්ද්‍රිකා වෙනුවෙන් පමණක් නොව මංගල සමරවීර වෙනුවෙන් මාතර පැල්බැඳගෙන වැඩ කළා. ඔහු රතන හිමි මංගල සමග එකතු වී රටවැසි පෙරමුණ නමින් රට බෙදන ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනතා මිතුරෝ කාලයේ ඊනියා යුද්ධයට එරෙහිව කොළඹ පෝස්ටර ඇලෙවුවා.

ඔහු නොම්මර එකේ අවස්ථාවාදියෙක්. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහු ජාතිකත්වයට ඉල්ලුමක් තිබෙන බව කියමින් නැවතත් ජාතික ව්‍යාපාරයට ආවා. භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාර්ලිමේන්තු ගියා. අද ඔහු එක්සත් ජාතික පෙරමුණු හරහා රනිල්ගේ ඇමතිවරයකු වී සිටිනවා. ලංකාවේ ඇති වු ජාතිකත්වය අනෙක් රටවලට ඉගෙන ගන්න පුළුවන්. එහි දී ඔවුන් ඉගෙන ගත යුතු ප්‍රධාන ම කරුණක් වනනේ චම්පක වැනි අවස්ථාවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීමයි. ජාතිකත්වයට ද්‍රෝහි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති චම්පක දැන් නැවතත් ලෝක ජාතිකත්ව ගැන කතාකරමින් නැවත ජාතික ව්‍යාපාරයට ඒමට උත්සාහ කරනවා. ජනතාව රැවටීමට ඔහුට කිසිම ඉඩක් දිය යුතු නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් රැවටීමටත් ඉඩ දිය යුතු නැහැ.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 26

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.