Featured

විදෙස් රටවල් වල පදේට රූකඩ ආණ්ඩුව නැටුවට …මහින්ද නටන්නේ නෑ..

දේශපාලනයෙන් සමුගන්නා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට විදෙස් රටවල් දෙකක් දැනුම් දීමත් 2015 ජනාධිපතිවරණයෙන් එතුමා ගෙදර යැවීමට කළ කුමන්ත්‍රණයේම තවත් එක් පියවරක් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

පත්කර ගත් රූකඩ ආණ්ඩුවට රට පාවා දෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන බාධාවක් යැයි වටහාගෙන සිටින එම රටවල් එතුමා විශ්‍රාම ගන්වා හෝ 2015 කුමන්ත්‍රණය සාර්ථක කර ගැනීමට කැස කවමින් සිටින බවත් අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ පෙරළියක ඇරැඹුම ජනරැළිය සම්බන්ධයෙන් කලුතර දිස්ත්‍රික් ජනතාව දැනුවත් කිරීම සඳහා කලුතර දී පෙරේදා (21) පැවැති රැස්වීමකට සහභාගී වෙමිනි.

ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

ජනවාරි මාසේ 27 වැනි දා නුගේගෙඩ පැවැත්වෙන රැස්වීම වෙනුවෙන් අපි රට පුරා ජනතාව දැනුවත් කරමින් යනවා.  අද තමුන්නාන්සේලා මුණගැහෙන්න ආවෙත් ඒ ගැන දැනුවත් කරන්නයි. අපි බොරු කියල ජනතාව නොමඟ යවන්නේ නැහැ. ඇත්ත තත්ත්වය තේරුම් කරලා සියලුදෙනාගේ දායකත්වයෙන් මේ ආණ්ඩුව ගෙදර යැවීම තමයි අපේ අරමුණ. ආණ්ඩුවට පාඩමක් ඉගැන්වීමේ ආරම්භය ලෙසයි අපි නුගේගොඩ රැස්වීම පවත්වන්නේ. එදා ජනවාරි මාසේ 08 වැනි දා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුණාට පස්සේ නැවත දේශපාලන ගමන ආරම්භ කරන තීරණාත්මක රැස්වීම පෙබරවාරි මාසේ 18 වැනි දා නුගේගොඩ දී පැවැත්වුණා.

රනිල් වික්‍රමසිංහ එක්ක මට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. 1977 අපේ ගෙට ගිනි තියලා, තාත්තට පිහියෙන් ඇනපු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වෙන්න මට පුළුවන්කමක් නැහැ. අපේ නායකයෝ එක්සත් ජාතික පක්ෂය සමඟ කරට අතදාගෙන ආණ්ඩු පිහිටුවන කොට අපට ඒකට යන්න බැහැ. ඒ නිසා තමයි අපි ඒකාබද්ධ විපක්ෂය තෝරා ගත්තේ. අපිට එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලනයක් නැහැ. රනිල් වික්‍රමසිංහලා එක්ක එකට ආණ්ඩුවක් ඉන්න බැහැ.

අපට මෛත්‍රීපාල මහත්තයා එක්ක තියෙන්නේ වෙන විවේචනයක්. එතුමා මොකක්ද කළේ? එතුමා පොදු අපේක්ෂකයා වෙන්න කලින් දවසේ කරඬුවේ අත තියලා දිවුරලා කිව්වා යන්නේ නැහැ කියලා. අන්තිමට මහින්ද මහත්තයාගෙන් ආප්පත් කාලා පක්ෂේ අතහැරලා පැනලා ගියා. එදා ඉඳන් බොරු කියල රට රැවට්ටුවා විතරක නොවෙයි තමන්ගෙම පක්ෂයේ සභාපතිට විරුද්ධව ජනාධිපතිවරණයට ඇවිත් අපේ පක්ෂය පරාජය කරන්න කටයුතු කළා. ඒ ගැන අපට විවේචනයක් තිබෙනවා.

එතුමා ජනාධිපති විදියට පත් වුණ ගමන් මොකද කළේ? මන්ත්‍රී ධූර 150කටත් වැඩිය තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැතිවරයා විදියට හිටපු දි. මු. ජයරත්න මහත්තයා කනෙන් ඇදලා එළියට දාලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර අඩු සංඛ්‍යාවක් තිබුණු එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති කළා. අපේ පක්ෂයට තිබුණු ජනාධිපතිකම, අගමැතිකම පමණක් නොවෙයි ආණ්ඩුවත උදුර ගත්තා. ඒවා ගැන අපට විවේචනයක් තිබෙනවා.

ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් 2015 අගෝස්තු මහ මැතිවරණයට ජයග්‍රාහීව ඉදිරිපත් වුණ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පක්ෂයේ නායකයා විදියට මොකද කළේ? මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි කියලා බයේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සහ එක්සත ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරුන් තනතුරුවලින් එළවලා දාලා මහින්ද මහත්තයා දිනුවත් අගමැති ධූරය දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. අන්තිමට මහින්ද මහත්තයට අගමැතිකම දෙන්නැත්නම් වැඩක් නැහැ කියලා අපේ පාක්ෂිකයෝ ඡන්දය දෙන්න ගියේ නැහැ. අපට ඒ වතාවෙත පරාජය උරුම කළේ අපේ පක්ෂයේ සභාපති හැටියට කටයුතු කරන මෛත්‍රීපාල මහත්තයයි. ඒ ගැන අපට විවේචනයක් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා ඉන්න ගමන් අපිට ඇඟිලි දික් කරලා චෝදනා කළාට වැඩක් නැහැ. අලියත් එක්ක කන දීගේ නතර කරන්න. එතකොට අපිට පුළුවන් මොකද කරන්නේ කියලා කථා කරන්න. මම විවේචනය කරන්නේ වෙන මොකක්වත නිසා නොවෙයි. අපිට ශ්‍රී ලංකා නිදහස් පකෂය ගැන කැක්කුමක තිබෙනවා. මේ පූට්ටුව ගහලා අලියගේ නැට්ටේ එල්ලිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැට ගැහුවාම අපට තිබෙන්නෙ ලැජ්ජාවක්. ඒ නිසයි අපි කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගෙ නායකත්වයෙන් අලුත් බලවේගයක් ආරම්භ කළ යුතුමයි කියලා.

එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට කියන්නෙ පිංගුත්තර ඇමැතිලා කියලයි. රංගෙ බණ්ඩාර කියනවා ශ්‍රී ලංකා එකෙ හොරු ටික හොරකම් වහගන්න ආණ්ඩුවෙ ඇමැතිකම් දරනවා කියලා. අපි නොවෙයි ඕවා කියන්නේ. මරික්කාර් මන්ත්‍රීතමා එහෙම මාධ්‍ය සාකච්ඡා තියල කියන්නෙත් පිංගුත්තර ඇමැතිලා කියලයි. අපේ උන්ට මේවා ඇහුණත් නෑ වගෙ ඉන්නවා. ලැජ්ජා නහර කපලා තියෙන්නේ. ඇමැතිකම් දාලා ගියොත් මේ අයට පැවැත්මක් නැහැ. මේ වගෙ අය මහින්ද රාජපක්ෂ මහතා අතහැරලා ගියාට ජනතාව එතුමා අතහැරියේ නැහැ.

මහින්ද මහත්තයා පැරදුණේ සංඛ්‍යාලේඛන හා කුමන්ත්‍රණයකින්. බේරුවල සිද්ධියක් ඇති වුණා. එතැන දී සිංහල මිනිස්සු පස්සේ හිටියේ පාඨලී චම්පික. මුස්ලිම් මිනිස්සු පස්සෙ හිටියේ කක්කුස්සි කටා. කවුද හලාල් කථාවක හදලා මුස්ලිම් ජනතාව අපේ ආණ්ඩුවෙන අයින් කළේ. 2009 ඉඳන් තමයි විදේශ රටවල් එක්ක එකතු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා එළවන්න කුමන්ත්‍රණය කළේ. එහෙමයි මහින්ද මහත්තයා පැරදුණේ. නමුත් මේ රටේ ජනතාව මහින්ද මහත්තයා අතහැරලා ගියේ නැහැ.

මම දැක්කා රාජිත සේනාරත්න කියනවා සුදු වෑන් නැති නිසා දැන් මොනවා වුණත් කමක් නැහැ කියලා. කවුද බටලන්ද වධකාගාරයට සුදු වෑන්වලින් මිනිස්සු ගෙනාවේ කියලා බටලන්ද වාර්තාවේ තිබෙනවා. කවුද බටලන්ද මෙහෙයව්වේ? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමයි බටලන්දට නායකත්වය දුන්නේ. උදය ගම්මන්පිළ මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් ඇහුවා පසුගිය රජය කාලේ සුදු වෑන්වලින මිනිස්සු අරන් ගියා කියලා පැමිණිලි තිබෙනවද කියලා.  ගයන්ත ඇමැතිවරයා උත්තර දුන්නේ එහෙම පැමිණිල්ලක් නැහැ කියලයි. පැමිණිල්ලක්වත් නැහැ. ඒත් මුං ඇත්ත වගේ කියනවා සුදු වෑන්වලින් මිනිස්සු ඉස්සුවා කියලා.

මම මහින්ද මහත්තයා එක්ක රණ්ඩු වුණා වෙනම ඉල්ලමු කියලා. ආප්ප කාලා පැනපු එකා විශ්වාස කරන්න පුළුවන්ද? නමුත් අපි එකට ඉල්ලන්න ගිහින් රැවටුණා. අපිව රැවට්ටුවා. එකට ඉල්ලුවා නම් අද මහින්ද මහත්තයා අගමැති නැත්නම් විපක්ෂ නායක. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කරනවට එදා ඉඳන් මම විරුද්ධ වුණා. දැන් මහින්ද මහත්තයාගෙන් අලුත් බලවේගයක් හදන්න කියලා ඉල්ලන්නේ යහපාලනයට ඡන්දය දුන්න අයමයි. මහින්ද මහත්තයා කියල තියෙනවා 2017 වසරේ පෙරළියක කරනවා කියලා. මේ වසරේ මැතිවරණ තුනක එනවා. පළාත සභා තුනක කාලය අවසන වෙනවා. ඒ වගේම පළාත පාලන මැතිවරණය තිබෙනවා. අනෙක් අතට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගන්න ජනමත විචාරණයක තියන්න වෙනවා.

මහින්ද මහත්තයා කියල තිබෙනවා මේ රැස්වීමට සහභාගී වෙනවා කියලා. 2015 පෙබරවාරි මාසේ රැස්වීමෙදි එතුමා එහෙම කිව්වේ නැහැ. අපි මෙවර රැස්වීමට පසුගිය පාර රැස්වීමට ආපු සෙනඟ වගේ තුන හතර ගුණයක් සෙනඟ ගේන්න සූදානම් වෙලා තිබෙනවා. දැන් ගම්පහයි කලුතරයි අතරයි තරගය තිබෙන්නේ.අපි ගම්පහින් කලුතරට වඩා සෙනඟ ගේනවා කියන කොට ගම්පහට වැඩිය කලුතරින් ගේනවා කියලා රෝහිත ඇමැතිතුමා කියනවා. බස්නාහිර පළාතෙ ඉන්නේ බුද්ධිමත් ජනතාව. ඒ නිසා රට වටෙන්ම එනවට වඩා සෙනඟක් බස්නාහිර පළාතෙන් නුගේගොඩ රැස්වීමට එන බව අපි දන්නවා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අමෙරිකාව දේශපාලනයෙන් සමුගන්න කියලා සහ ඉන්දියාව දැනුම් දීලා තිබෙනවා. ඒකත් 2015 ජනාධිපතිවරණයේ මහින්ද මහත්තයා පරාජය කිරීමේ කුමන්ත්‍රණයේම තවත් කොටසක් තමයි. මහින්ද රාජපක්ෂ කියන චරිතය ලෝකයේ බලගතු නායකයන්ට ඔලුව නමන්නේ නැති නිසා තමයි ඒ රටවල් එකතු වෙලා මහින්ද මහත්තයා එලවලා දාලා රූකඩ පාලකයන් පිරිසක පත් කර ගන්න කටයුතු කළේ. ඒ අය බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරණය පැරදුණාම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය ඉවරයි කියලා.

ඔවුන් හිතුවේ නැහැ ජනාධිපතිතුමාට මේ තරම් ජනතා ආදරයක් ලැබෙයි කියලා. දැන ඒ නිසා තමන් පත් කරගත් රූකඩ ආණ්ඩුව රැකගන්න රාජපක්ෂ මහතා දේශපාලනයෙන විශ්‍රාම යවන්න හදනවා. මේ රටේ ජනතාව ඒකට ඉඩ දෙන්නේ නැහැ. අපි ආපස්සට හැරෙන්නේ රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් හදලා බව අපි ඒ රටවල්වලට මතක් කරන්න ඕනේ. එක එක අයට ඕනෑ විදියට අපි නටන්නෙත් නැහැ. අපේ රට නටවන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම බටහිර ඒජන්තයන්ට ඕනෑ විදියට නටන මේ ආණ්ඩුවට වැඩිකල් නටන්න දෙන්නෙත් නැහැ.

 

Top