Political

මහා මැතිවරණයට මහින්ද තරග කරන්නේ බුලත් කොළයෙන්මයි

රට බෙදුම්වාදීන්ගෙන් නිදහස් කරගැනිම සදහා මහින්ද රාජපක්‍ෂ සමග ආරම්භ කළ සටන අද වනවිට දැවැන්ත සංධානයක් දක්වා වර්ධනය වි ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක,  බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල සදහන් කරනවා.දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 70%ක්‌, පළාත් සභා මැති ඇමැතිවරුන්ගෙන් 75% ක්‌ නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් 90% ක්‌, ග්‍රාමීය නායකයන්ගෙන් 95% ක්‌ පාක්‍ෂිකයන්ගෙන් 99% ක්‌ මේ වන විට මහින්ද දිනවන සටනේ සිටින බවයි.

ආණ්‌ඩුව විසුරුවා හැරීමෙන් පසු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විශාල පිරිසක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා වටා රොක්‌වනු ඇති බවත්, ඉදිරි මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා තරග කරන්නේ බුලත් කොළය ලකුණ යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ‘දිවයින’ සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් පැවැසීය. එම සාකච්ඡාවේදී ඔහු තවදුරටත් පළකළ අදහස්‌ මෙසේය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා මීළඟ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා දිනේෂ්, විමල්, වාසු හා ඔබ ඇතුළු කණ්‌ඩායම ගෙන යන ව්‍යාපාරයේ ප්‍රගතිය කොහොමද? 

ඇත්තෙන්ම මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ ගාමිණී ලොකුගේ හිටපු ඇමැතිතුමයි මමයි. අපි ගිහිල්ලා විමල් වීරවංශ හිටපු ඇමැතිතුමාටත් දිනේෂ් ගුණවර්ධන හිටපු ඇමැතිතුමාටත් කතා කළා. ඊට පසු අපි වාසුදේව නානායක්‌කාර හිටපු ඇමැතිතුමාත් එකතු කරගෙන මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ බොහොම පුංචියට. අද වෙන විට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 70%ක්‌, පළාත් සභා මැති ඇමැතිවරුන්ගෙන් 75% ක්‌ නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් 90% ක්‌, ග්‍රාමීය නායකයන්ගෙන් 95% ක්‌ පාක්‍ෂිකයන්ගෙන් 99% ක්‌ අපිත් එක්‌ක ඉන්නවා. කෙටියෙන්ම කිව්වොත් අපේ ව්‍යාපෘතිය අති සාර්ථකයි. 

ජනාධිපතිතුමා කියනවා නේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීළඟ මැතිවරණයට තරග කරන්න අවස්‌ථාවක්‌ දෙන්නේ නැහැ කියලා? 

ඒක අපි බලාපොරොත්තු වුණු තත්ත්වයක්‌. අමතක කරන්න එපා පසුගිය ජනවාරි 8 දා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරාජයට පත් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතායි රනිල් වික්‍රමසිංහ මහතා නෙමෙයි. ඒ රටවල්ම පිළිඅරන් තියෙන ආකාරයට ඉන්දියාවයි, ඇමරිකාවයි. නෝර්වේ ආණ්‌ඩුවත් දැන් පැත්තකින් ඉඳන් කියනවා ඒ අය විතරක්‌ නොවෙයි අපිත් මහින්ද රාජපක්‍ෂ පරදවන්න උදව් වුණා කියලා. 

එතකොට මේ බටහිර බලවේග මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරාජය කිරීමට දැවැන්ත ධනයක්‌ හා ශ්‍රමයක්‌ වැය කළේ මාස 4 කින් නැවත රට ඔහුට බාර දෙන්න නෙවෙයි. ඒ අයට තියෙනවා න්‍යායපත්‍රයක්‌ ක්‍රියාත්මක කරන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාවට ප්‍රකාශ කළ පරිදි මේ රට ෙෆඩරල් රටක්‌ කිරීමේ අවශ්‍යතාව ඔවුන්ට තිබෙනවා. ඊළඟට අපි දන්නවා ඇමරිකාව යම් රටක ආණ්‌ඩුවක්‌ පෙරළලා ඒ රටේ තමන්ගේ රූකඩ ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගත්තට පස්‌සේ, එහි තිබෙන ස්‌වාභාවික සම්පත්වලට අත තියනවා. ලිබියාවෙ හා ඇෆ්ගනිස්‌තානයේ ඉරාකයේ ද ඒ බව අපි පැහැදිලිවම දැක්‌කා. ඉතින් ලංකාවේ මේ කිසිවක්‌ තාම කරගෙන නැහැ. ඒ සියල්ල කරන්න ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්‌සේ. ඒ නිසා මහින්ද මහත්තයට නාම යෝජනා දෙන්න ජනාධිපති සිරිසේන මහතාට බටහිර බලවේග කීයටවත් ඉඩ තියන්නේ නැහැ. අපි ඒක දන්නවා. 


එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාම යෝජනා නොලැබුණොත් මහින්ද රාජපක්‍ෂ මහත්තයා තරග කරන්නේ මොන පක්‌ෂෙන්ද? 

ඔබ අහන නිසා මා ඒ රහස හෙළි කරන්නම්. මෙවර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සැලකිය යුතු පිරිසක්‌ සිරිසේන මහත්තයත් එක්‌ක මේ මොහොතේ ඉන්නේ ඔහු ළඟ රාජ්‍ය බලය තිබෙන නිසා. සාමාන්‍ය කාලයේදී මන්ත්‍රීවරුන්ට ඕන රාජ්‍ය බලය. ප්‍රතිපාදන බෙදන්න, රස්‌සා දෙන්න පොලිසියට අහුවුනු තමන්ගේ චක්‌ගෝලයන් බේරගන්න මේ අයට දේශපාලන බලය අවශ්‍යයි. හැබැයි මැතිවරණයකදී මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ජනතා බලයයි. ජනතාව නැතිව ඡන්දය ඉල්ලුවොත් ඇමැති නොවේ මන්ත්‍රී වෙන්නවත් බැහැ. 

අද ජනතාව ඉන්නෙ මහින්ද සමඟයි. ඒ නිසා අද රාජ්‍ය බලය වෙනුවෙන් ජනාධිපතිතුමා සමඟ ඉන්න ඔය පිරිසෙන් සාතිශය බහුතරය පාර්ලිමේන්තුව විසුරුවා හැරි ගමන් මහින්ද මහතා ළඟට එනවා. එදාට සන්ධානයේ බලය නැවත මහින්ද මහතාට ලැබෙනවා. ඔහු මීළඟ ඡන්දෙට තරග කරන්නේ බුලත් කොළයෙන්මයි. 

20 වැනි සංශෝධනය ගැන අදහස මොකක්‌ද? 

20 වැනි සංශෝධනය හොඳ දෙයක්‌. හැබැයි ඊට වඩා වැදගත් මේ අවස්‌ථාවේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම. මේ ආණ්‌ඩුව බලයට ආවේ දින 100 කින් මැතිවරණයක්‌ පවත්වන බවට පොරොන්දුවෙලා. අද ඒ අය තර්ක කරන්නේ දින 100 ට වඩා වැඩපිළිවෙළ වැදගත්, ඒ නිසා දින 100 පැනලයි මැතිවරණයට යන්නේ කියලා. අපි කියන්නේ වුවමනාව තිබුණා නම් මේ අයට දින 100 න් මේ වැඩපිළිවෙළ අවසන් කරන්නට තිබුණා. දින 100 ඉලක්‌කය දැම්මෙ අපි නොවෙයි ඒ අයමයි. හැබැයි අද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජය නියත බව පෙනෙන ඇමැතිවරු දෙන්නෙක්‌ පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා ගැනීමේ නිදහසට කාරණය හැටියට 20 වැනි සංශෝධනය සකස්‌ කරගෙන තියෙනවා. අදටත් 20 වැනි සංශෝධනයට ඇමැති මණ්‌ඩල අනුමැතියවත් ලබාගෙන නැහැ. ඇමැති මණ්‌ඩල අනුමැතිය ලැබුණට පස්‌සෙත් සති 6 ක කාලයක්‌ අවශ්‍ය වෙනවා 20 වන සංශෝධනය සම්මත කර ගන්නට. 20 වැනි සංශෝධනය කියන ලස්‌සන සුරංගනාවිය පෙන්වන්නේ ඡන්දය කල් දැමීමට නම් ඒ සුරංගනාවියට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ඉදිරි මැතිවරණය තුන්කොන් සටනක්‌ වන බවයි පේන්නේ. එහෙම වුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට පහසුවෙන් ජය ගන්නට පුළුවන් නේද? 

කොහෙත්ම නැහැ. අපි දන්නවා. එහෙම වුණොත් මහින්ද පිල, රනිල් පිල හා මෛත්‍රී පිල තමයි එහි තුන්කොන් වන්නේ. මෛත්‍රී පිලේ සිටින එජාපය ජාතික හෙළ උරුමය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය යන පක්‍ෂවල ඡන්ද තියෙන්නේ හංසයාට ජනාධිපතිවරණයේදී ලැබුණ ඡන්ද ලක්‍ෂ 62 තුළයි. ඔවුන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් අපට වඩා ඡන්ද ලක්‍ෂ 4 යි වැඩිපුර ගත්තේ. නමුත් දැන් මෙතැනදි වන්නේ ඒ පිල දෙකට බෙදීමක්‌. ඉන් තහවුරු වෙන්නේ අපේ ජයග්‍රහණය මිස එජාපයේ ජයග්‍රහණය නොවෙයි. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රීලනිපයේ සභාපති. එජනිසයෙත් සභාපති….. 

එහෙම වුණත් ඔහුගේ වැඩි සහයෝගය තිබෙන්නේ එජාපයට කියන එක ගැන පුදුම වෙන්න එපා. එතුමා ජනාධිපති ධුරයේ බලය පාවිච්චි කරලා සන්ධානෙ නායකත්වය උදුරා ගත්තේ එජාපය වෙනුවෙනුයි. එජාපයට දුන් පොරොන්දු අකුරටම ඉටු කරමින් එතුමා ජනාධිපති වී විනාඩි 5 ක්‌ ඇතුළත එජාප නායකයා අගමැති ලෙස පත් කළා. හැබැයි මේ සුළුතර නායකයාගේ අගමැතිකම රකින්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන සන්ධානය රනිල්ට හීලෑ පක්‍ෂයක්‌ බවට පත් කර ගත යුතුයි. නැත්නම් පාර්ලිමේන්තුවේ රනිල්ට පැවැත්මක්‌ නැති වෙනවා. ඒ නිසයි සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, සන්ධානයේත් නායකත්වය උදුරා ගත්තේ. පළාත් පාලන ආයතන සක්‍රීයව තිබියදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා නම් එහි වාසිය තිබුණේ සන්ධානයටයි. මොකද පළාත් පාලන ආයතන සාතිශයක බලය තිබුණේ සන්ධානයට. එතුමා හදවතින් ඉන්නේ එජාපය සමඟ නිසයි පළාත් පාලන ආයතන විසුරුවා හැරල සන්ධානය දුර්වල කරල එක්‌සත් ජාතික පක්‍ෂය ශක්‌තිමත් කළේ. මේ ගැන එතුමාට දොස්‌ කියන්න බෑ. එතුමා අද ජනාධිපති වෙලා ඉන්නේ එජාපය නිසයි. 

දැන් තිබෙන තත්ත්වය අනුව ඉදිරි මැතිවරණයකදී ඔබලාට දෙමළ මුස්‌ලිම් ඡන්ද ලැබෙන එකක්‌ නැහැ. පසුගිය ජනාධිපතිවරණයේදීත් ඒක වුණා. සිංහල බෞද්ධ ඡන්ද වලින් තමයි දිනන්න වෙන්නේ. ඒක ප්‍රමාණවත් ද? 

ජනාධිපතිවරණයකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී සුළුජන ඡන්ද හැසිරෙන්නේ දෙයාකාරයකින්. ඒ අය තමන්ගේ පක්‍ෂවලින් ජනාධිපතිවරයෙක්‌ පත්කර ගන්න බැරි බව දන්න නිසා ප්‍රධාන පක්‍ෂ දෙකේ අපේක්‍ෂකයකුට සහාය දෙනවා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයකදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ තේරීම වන්නේ දෙමළ ජාතික සන්ධානයයි. ඒ වගේම මුස්‌ලිම් ජනතාවගේ තේරීම වන්නේ මුස්‌ලිම් කොන්ග්‍රසයයි. ඒ නිසා ඇත්තටම සිද්ධ වෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී හංසයාට ලැබුණු ඡන්ද ලක්‍ෂ 7 ක්‌ දෙමළ සන්ධානයෙන් ලක්‍ෂ 3 ක්‌, මුස්‌ලිම් කොන්ග්‍රසයත් හංසයාගෙන් ඉවත් වීමයි. වැඩි ඡන්දය තිබුණේ ලක්‍ෂ 4 යි. දැන් මේ අය ලක්‍ෂ 10 ක්‌ ගලව ගන්නවා. තවත් ලක්‍ෂ 5 ක්‌ ජනතා විමුක්‌ති පෙරමුණ ගලවා ගන්නවා. ලක්‍ෂ 15 යි දැන්. එතකොට ජයග්‍රහණය ලැබෙන්නේ කාටද? අපට සුළු ජන ඡන්ද නොතිබුණු නිසා පාර්ලිමේන්තු මැතිවරණෙට සුළු ජාතික පක්‍ෂ වෙනම ඉදිරිපත් වුණාය කියලා අපට බලපෑමක්‌ වෙන්නේ නැහැ. ඒ වගේම මතක තියා ගන්න පසුගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු කොට්‌ඨාස 160 න් 91 ක්‌ ම ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමයි. සමානුපාතික ක්‍රමයට ජනාධිපතිවරණයට පාර්ලිමේන්තු මැතිවරණයක්‌ වුණා නම් මන්ත්‍රීධුර 225 න් 110 ක්‌ ම මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට හිමිවෙනවා. 

හැබැයි මේ ආණ්‌ඩුවේ නොහැකියාව බෙදුම්වාදයට උදව් කිරීම. වංචා දූෂණ පිරී ඉතිරී යැම ආදී කාරණා නිසාත් සංවර්ධනය ඇනහිටීම නිසාත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ගොඩ ලක්‍ෂ 10 කින් පමණ වැඩිවෙලා. ඒ නිසා ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණයක්‌ මෙවර අපි ලබනවා සිකුරුයි. 

පසුගියදා යාපනේ කයිට්‌ස්‌ හිදී විද්‍යා නමැති ශිෂ්‍යාවක්‌ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය අල්ලාගෙන මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිවාදය අවුස්‌සන බවට ආණ්‌ඩුව චෝදනා කරනවා… 

ඇත්තෙන්ම විද්‍යාගේ සිදුවීමට වඩා වර්තමාන ජනාධිපතිවරයා සඳහන් කළේ මහාවීර කොටි සැමරුම ගැනයි. ඒ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කතා කළාම, මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිවාදය අවුස්‌සනවාය කියලා කියනවා. ජාතික ආරක්‍ෂාවට තිබෙන තර්ජන ගැන කතා කිරීම ජාතිවාදයද? මීට වසර 15කට පෙර අපි කොටි ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු යෑයි කියද්දී අපටත් කිව්වේ ජාතිවාදීන් කියලයි. හැබැයි එහෙමයි කියල අපි ඒ අදහස්‌ සමාජගත කරන්නේ නැතිව අකුලා ගත්තා නම් අදත් කොටියා ඉන්නවා. පාසල් යන දරුවො කොළඹ නගරයේදී බෝම්බවලට අහුවෙලා කෑලි කෑලිවලට ඉරෙනවා. අපේ තරුණයො උතුරේ යුද්දෙට ගිහින් මිනී පෙට්‌ටියෙන් ගෙදර එනවා. අනාරක්‍ෂිත ගම්මානවල ඉන්න අහිංසක දරුවෝ මහ රෑ කොටි පැනල කෑලි කෑලිවලට කපනවා. මේ තත්ත්වය වෙනස්‌ කරගත්තේ අපි ජාතිවාදී චෝදනා ලබමින් ජාතික ආරක්‍ෂාව ගැනකතා කළ නිසයි. අදත් ජාතිය දැවැන්ත අනතුරකට පත්වෙලා හමාරයි. ඒ බව මේ ආණ්‌ඩුව පිළිගත්තොත් මේ ආණ්‌ඩුවට පුළුවන් වැරදි නිවැරැදි කරගෙන රටේ ආරක්‍ෂාව තහවුරු කරගන්න. 

ත්‍රස්‌තවාදය යළි හිස ඔසවන බව කොහොමද කියන්නේ? 

අපි ඉතා ආඩම්බරෙන් කියූ කතාවක්‌ තියෙනවා. ඒ තමයි ඇමරිකාව, ඇෆ්ගනිස්‌ථානයට ගිහින් බින් ලාඩන් මරා දැම්මට, ඇෆ්ගනිස්‌ථානෙ වෙඩි හඬ නතර කරන්න බැරිවුණා. ඇමරිකාව ඉරාකෙට ගිහින් සදාම් හුසේන් එල්ලා මැරුවට එහි බෝම්බ පිපිරීම නතර කරගන්න බැරිවුණා. හැබැයි 2009 මැයි 19 දා වේළුපිල්ලේ පිරුභාකරන් මරා දැම්මට පස්‌සේ උතුරෙන් වෙඩි හඬක්‌, බෝම්බයක්‌ තියා රතිඤ්ඤා කරලක්‌වත් පත්තු වෙන හඬක්‌ ඇසුනේ නැහැ. ඒ අභිමානය 2015 පෙබරවාරි 5 දා අවසන් වුණා. වවුනියාවේදී පොලිස්‌ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීමෙන්. ඒක තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක්‌. පෙබරවාරි 26 දා චාවකච්ෙච්රි නගරයේ ගිගුරුම් දෙමින් දැවැන්ත බෝම්බයක්‌ පිපිරුණා. ඒක කවුරු කොහොම කළා ද කියන එක තවමත් අබිරහසක්‌. ඒ වගේම මාර්තු මාසෙ 3 දා වවුනියාවේ කොටි විරෝධි ප්ලොට්‌ සාමාජිකයෙක්‌ වෙඩි තබා මරා දමා තිබුණා. කවුද කළේ කියන ඒක අදටත් අබිරහසක්‌. ඒ වගේම කොටි පරාජයෙන් පසු උතුරේ දැවැන්ත ලෙස මහා වීර සමරුවක්‌ පැවැත්වුණා. මේ පිළිබඳ මහින්ද රාජපක්‍ෂ මහතා පන්සලකදී කතා කළ විට වර්තමාන ජනාධිපතිවරයා පැවසුවේ එහෙම දෙයක්‌ මට බුද්ධි අංශ වාර්තා කරල නැහැ කියලයි. අපි දන්නවා මැයි මාසෙ 15 දා මුලතිව් අධිකරණයට වාර්තා කළා මහා වීර සැමරුමක්‌ උතුරේ සිද්ධ වෙන්න යනවා. ඒක තහනම් කරල අධිකරණ නියෝගයක්‌ නිකුත් කරන්න කියලා. මහේසත්‍රාත්වරයා පොලිසිය විසින් ඉදිරිපත් කරපු කරුණු ගැන සෑහීමකට පත්වෙලා තහනම් නියෝගයක්‌ නිකුත් කළා. උතුරේ බුද්ධි අංශ මේ පිළිබඳව දැන ගත යුතුව තිබුණේ පොලිසියට කලින්. ජනාධිපතිතුමා කියන විදියට බුද්ධි අංශ වාර්තා කළේ නැත්නම් එයින් හැඟෙන්නේ මහ පොළොවේ සිදුවන දේ බුද්ධි අංශ නොදන්නා බවයි. ඕනෑම ආණ්‌ඩුවක ඇස්‌ හා කන් බවට පත්වෙන බුද්ධි අංශ අක්‍රිය වී ඉවරයි. එහෙම නම් ජාතික ආරක්‍ෂාව අනතුරේ කියල අප නගන හඬ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් සනාථ වෙනවා. මේ ප්‍රකාශයෙන් රට දැවැන්ත අනතුරක තිබෙන බව තේරුම් ගත යුතුයි. 

සාකච්ඡා කළේ – දයා ලංකාපුර

Top