සන්නද්ධ සේවාවන්හි බලධාරීන් විසින් තම අධිකාරි බලය අවභාවිතා කිරීම තුළ ආයතනික ව්‍යුහයන්හි මානව සම්පත් හිංසනයට ලක්වීම්,රැකියා සුරක්ෂිතතාවය අභියෝගයට ලක් කිරීම,රාජ්‍ය දේපළ හා මානව සම්පත් අවභාවිතය,විගණන හා ගිණුම් කරන ප්‍රතිපත්ති උල්ලංඝනය වීම්, ප්‍රසම්පාදන ස්වාධීනත්වය අභියෝගයට ලක්වීම ආදී කොට ගත් අනීතික ක්‍රියා දාමයන් රාශියක් සබැඳිව පෙනී සිටීමට කිසිදු නියෝජනයක් නොමැතිවවූ කල්හි, ‘කල දුටු කල වළ ඉහන් කන්නෝ බොහෝය”.
සන්නද්ධ සේවාවන්හි [යුධ, නාවික, ගුවන්] මානව හෝ භෞතික සම්පත් වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු වෘත්තීය සමිති නියෝජනයක් නොමැත. එය එසේ විය යුතුය.
එසේ වුවද එවැනි සංවෘත ව්‍යුහයක මාධ්‍ය වාරණ මුඛවාඩම් ගැට ගසා යමෙකු හෝ කණ්ඩායමක් විසින් තවකෙකු හෝ බහුතරයකගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් රාජ්‍ය සම්පත් හිරිකිතයකින්, පිළිකුලකින් තොරව හුරා කන්නෝ නම් ත්‍රිවිධ හමුදාවටම සේනාධි නායක ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ඇස් කන් පියා නොසිට ඊට සෘජුවම මැදිහත් විය යුතුය.
කර්නල් රවින්ද්‍රගේ ඉල්ලීම…..
විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසමක අවශ්‍යතාවය සහ ඒ සඳහා සුදුසුම අවස්ථාව මෙය බව පෙන්වා දෙමින් මේ වන විටද අසාධාරණයට ලක්ව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමෙ නඩුවක් ගොනුකර ඇති කර්නල් රවින්ද්‍ර මීගමාරච්චි විසින් සියලු රණවිරුවන් උදෙසා විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසමක් ලබා දෙන මෙන් ජනාධිපති දිසානායක මහතාගෙන් ඉල්ලීමක් සිදු කිරීම අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් සුබවාදී ප්‍රවේශයකි. තවද එය සන්නද්ධ සේවාවන් තුළ රාජ්‍ය යාන්ත්‍රණය යහමින් ක්‍රියාත්මක වන්නේ ද යන්න නිර්ණය කිරීමට ලිට්මස් පරීක්ෂාවකි.
අත්අඩංගුවට ගැනීමේ විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසමක අවශ්‍යතාවය….
අගතියට පත් සන්නද්ධ සේවා සාමාජිකයින් හට තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සබැඳිව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙහි වෙන් වෙන් වශයෙන් වූ නඩු පැවරීමට ආර්ථිකමය ශක්තියක් හෝ දැනුමක් නොමැත. එසේ කිරීම ප්‍රායෝගික ද නැත.
ක්ලීන් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති කරළියට පැමිණියද අද වෙනතුරු බිලියන ගණනින් මුදල් සංසරණය වන “යුද්ධ හමුදාපති ගිණුම” හෝ “සේවා වනිතා ගිණුම්” රජයේ විගණකාධිපතිවරයා යටතේ විගණනයකට ලක්වීද නොමැත.
එබැවින් සේනාධි නායක ලෙස ඉඳුරාම ඔහු යටතේ පවතින මානව සම්පත් වල සුරක්ෂිතතාවය සහතික කිරීම සහ සන්නද්ධ සේවාවන් තුළ රාජ්‍ය යාන්ත්‍රණය විධිමත් කිරීම වර්තමාන ජනාධිපතිගේ වගකීමකි.
අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලය තුළ සන්නද්ධ සේවාවන්හි බලධාරීන් විසින් ඔහුනගේ අධිකාරි බලය අවභාවිතයට ලක් කර හමුදා සාමාජිකයින් පලිගැනීමට ලක් කිරීම, මානසික හිංසනයට ලක් කිරීම, රාජ්‍ය මානව සම්පත් සහ දේපළ අවභාවිතය ආදි කොටගත් අවනඩු රාශියකට එකම විසඳුම වනුයේ අත්අඩංගුවට ගැනීමේ විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසමකි.
කොමිසමේ බලතල සහ විස්තර……
ශ්‍රී ලංකාවේ පවතින නීතිමය රාමුව තුළ, 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ පිහිටුවනු ලබන කොමිෂන් සභාවලට සාමාන්‍ය කොමිෂන් සභාවලට වඩා වැඩි බලතල පවතී.අත්අඩංගුවට ගැනීමේ බලතල සහිත විශේෂ ජනාධිපති කොමිසමක පූර්ණ බලතල වනුයේ කොමිසමකට යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, සිරභාරයට ගැනීම හෝ විමර්ශන සඳහා කැඳවීමේ බලය පැවතීමය .දේශපාලන පළිගැනීම්,සන්නද්ධ සේවාවන්හි අධිකාරි බලය අවභාවිතා කිරීම, රාජ්‍ය මුදල් අවභාවිතය හෝ බරපතල දූෂණ වැනි චෝදනා විමර්ශනය කිරීමට මෙම විශේෂ බලතල යොදා ගැනේ.කොමිසම මගින් කරනු ලබන විමර්ශනවලින් පසු වැරදිකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව දඬුවම් නියම කිරීම සඳහා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ වෙත යොමු කිරීමේ ක්‍රමවේදයක් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ.
කොමිසමේ සභාපතිත්වය සහ සාමාජිකත්වය සන්නද්ධ සේවාවලින් තොර විය යුතුය….
දේශපාලනික වශයෙන් බල පෙරළියක් සිදුවුවද බූවල්ලෝ මෙන් අනේකවිද ස්ථානයන්හි අරක්ගත් අදෘශ්‍යමාන මිලටරි හස්තයෝ බොහෝය.එවන් පසුබිමක මෙම විශේෂ බලතල සහිත ජනාධිපති කොමිසම මිලටරියෙන් තොර ස්වාධීන කොමිසම් සභාවක් වීම අත්‍යවශ්‍යය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ සහ පරිපාලන සේවයේ විශ්‍රාමික ප්‍රවීණයන්ගේ සංකලනයක් තුළ මෙය මැනවින් ඉටුකළ හැක.
