විශේෂාංග

ජනාධීපති, අගමැති සහ ‘කුණු පණුවා’

මේ ඡායාරූපය ලාංකික පාදඩ දේශපාලනයේ හෙවත් සුපිරි ලුම්පන් පන්තියේ (super lumpen class) ඉතා තීරණාත්මක ඡායාරූපයක් ලෙස සදහන් කළ හැකි ය. 

එක්සත් ජාතික පක්ෂයේ ත්‍රාඩ දේශපාලනය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ට, කාණුවේ දමා පහර දුන් බව මෙරට සංස්කෘතික ක්ෂේත්‍රයේ ඉතා ප්‍රචලිත ය. ඒ ත්‍රාඩ දේශපාලනයේ බල කණුව ලෙස සැලකෙන JR වරක් සාහිත්‍ය උත්සවයකදී ‘සාහිත්‍යය කන්න ද?’ කියා ඇසූ බවත් අපට මතක ය. ඉන්පසු ඔවුන් කළේ ‘සාජන්ට් නල්ලතම්බි’ නාට්‍යය රග දැක් වූ නිහාල් සිල්වාට රාජ්‍ය ගෞරව ලබා දීම ය.

ලාංකික සංගීත ක්ෂේත්‍රයට ඉමහත් මෙහෙයක් ඉෂ්ට සිද්ධ කළ ඔස්ටින් මුණසිංහ ගේ හිසට පිස්තෝලය තබා තර්ජනය කරන්නට තරම් දේශපාලන උද්දච්චකමක් ද ඇති ව තිබුණු නිහාල් සිල්වාට, හමුදා මුරපොළක දී හිසට වෙඩි තබා ඝාතනය කෙරුණු අතර, එක්සත් ජාතික පක්ෂය විසින් ඔහු ගේ අාදාහනය සිදු කරන ලද්දේ, ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ සම්භාවනීයයන් ආදාහනය කෙරෙන නිදහස් චත්‍රරස්‍ර භූමියේ ය.

එය අනෙකක් නො ව, මෙරට සුභාවිත කලාවට එරෙහි ව සිදු කරන ලද එක්සත් ජාතික පක්ෂ සංහාරයේ තවත් එක් දිගුවක් පමණි.

මෙලෙස බොහෝ වැර වෑයෙමෙන් ගොඩ නගන ලද, සුපිරි ලුම්පන් සමාජ ධාරාව, එයින් පසු දශක ‍දෙක තුනක් පමණ ගත වන වි‍ට ගොඩ නැගුණේ, සාහිත්‍ය-සංස්කෘතික ක්ෂේත්‍රයේ ඇතැමුන් බලාපොරොත්තු නො වුණු ආකාරයට ය.

ඒ අනුව මර්වින් සිල්වා, වැන්නකුට ආචාර්ය උපාධියක් ලබා දෙන තත්ත්වයට පාදඩ දේශපාලනය උත්සන්න වන විට, ඊට සරිලන චරිත, සංස්කෘතික ‍ක්ෂේත්‍රයෙන් මතු විණි.

මෙලෙස, ජනාධිපති සහ අගමැති සමග එකට සිටින්නේ එහි ප්‍රමුඛ පාදඩයෙකි.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්‍ට කාණුවේ දමා බැට දුන් එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කළ සුපිරි ලුම්පන් පන්තිය ගොඩ නැගීම උදෙස‍ා කටයුතු කළ සිංහල සක්විතියා යනු, මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ පොත් හොරා කෑ චෞරයකු ලෙස කුප්‍රකට ය.

දැන්, ධාරා දෙක එකට මුණ ගැසී තිබේ.

එක් පැත්තක සුපිරි ලුම්පන් පන්තියේ දේශපාලනය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ ය. අනෙක් පස, සුපිරි ලුම්පන් පන්තියේ කලාව නියෝජනය කරන සිංහල සක්විතියා ය.

පසුපසින් රටේ ජනාධිපතිවරයා ය.

පසුගිය ජනාධිපතිවරණයේදී, මෛත්‍රී ජනාධිපතිවරයා බලයට පැමිණවීම සදහා ‘පුරවැසි පෙරමුණ’ නමින් සමාජ කණ්ඩායමක් කටයුතු කළ අතර, එහි එක් ප්‍රධාන චරිතයක් ලෙස සිංහල සක්විතියා ද කැපී පෙනිණි. එකී කණ්ඩායමේ තවත් ප්‍රධාන චරිතයක් වූයේ ජිප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා ය. සුනිල් පෙරේරා යනු, 80-90 දශකයේදී, ‘ඔජායේ සංස්කෘතිය’ නමින් සමාජ ධාරවක් ගොඩ නගන්නට ගොස්, එකල විකල්ප ධාරාවෙන් ද, ප්‍රධාන මාධ්‍යවලින් ඇති පමණට බැට කෑ පුද්ගලයෙකි. දැන් ඔහුත් සුපිරි ලුම්පන් විසංස්කෘතියේ බල කණුවකි. ඒ ‘පුරවැසි පෙරමුණේ’ එකල ‘ඔජායේ සංස්කෘතියට’ එරෙහි ව ඇට්ට් හැලෙන්නට දුන් අශෝක හදගම ද සිටී.

JR ගේ ‘සාහිත්‍ය කන්න ද?’ ප්‍රශ්නය මෙවර ජනාධිපතිවරණයේදී ‘පුරවැසි පෙරමුණේ’ ගාමිණී වියන්ගොඩ විසින් ‍ඓතිහාසික ව නිවැරැදි කෙරිණි. ඔහු ගේ විග්‍රහය වූයේ, JR එදා ඇසුවේ ඉතා වටිනා දාර්ශනික ප්‍රශ්නයක් බවත්, එනම් ‘පොදු ජනයාට දිරවා ගත හැකි සාහිත්‍යයක් අවශ්‍ය ය’ යන්න බවත් ය.

සිංහල සක්විතියා ගේ සුපිරි ලුම්පන් කලාව පිළිබද ව විග්‍රහයක යෙදෙන ඩබ්.ඒ.විජේවර්ධන පවසන්නේ ‘සිංහල සක්විතියා යනු, පණුවා ගේ දෘෂ්ඨිකෝණයෙන් (worm’s eye ) දකින්නකු වන බව ය. ඔහුට අනුව සිංහල සක්විතියා, කොළඹ ඉංග්‍රීසි කතා කරන මධ්‍යම පන්තිය ද හදුනා ගත යුතු චරිතයක් බවට පත් ව තිබේ. ඒ සදහා විජේවර්ධන, ඉංග්‍රීසියෙන් පොතක් පළ කර තිබේ. එයින් පැහැදිලි වන්නේ මෙයට දශක ගණනකට පෙර, කොළඹ සමාජය ලෙස උජාරුවෙන් සදහන් කරන ලද, කොළඹ කුල්ටූර් සමාජයට සිදු ව තිබෙන නස්පැත්තිය ය.

විජේවර්ධන මෙහිලා මතු කරන ‘පණුවා ගේ’ රූපකය කවර විඥානයකින් පහළ වන්නක් දැයි අවසාන වශයෙන් සදහන් කළ යුතු ය. ඔහුට අවශ්‍ය නම් මේ යෙදුම ‘කුහුඹුවා ගේ දෘෂ්ඨීකෝණය’ (ant’s view) යනුවෙන් ද ඉදිරිපත් කරන්නට තිබිණි. එසේ නො කර ‘පණුවා’ මතක් වීම, වඩා දේශපාලනික ය.

සිංහල සක්විතියා මතු වන්නේ, එක්සත් ජාතික පක්ෂය විසින් පහර දෙනු ලබන විට මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍රයන් වැටුණු, කුණු කාණුවෙනි. අද ජනාධිපති සහ අගමැති එකට සිටින්නේ ඒ ‘කුණු පණුවා’ සමග ය.

කුමාර ලියනගේ
යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top