Breaking
23 Feb 2025, Sun

මළේ අප්පච්චි නොව පක්‍ෂයයි

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය.

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි.

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි.

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය.

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.

නලින් ද සිල්වා


2015 ජූලි 08

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.