2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි.

හදිසියේ දේශප්‍රේමී බවට පත් වූ පඬි දෙනක තමන්  පුනබ්භවය විශ්වාස කරන්නේ ඇයි දැයි බෞද්ධ සංදර්භයක ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දී ගත නොහැකිව ෙසෙලවල නැවත ඇතිවීම ගැන කියන පඬි විද්‍යාත්මක බෞද්ධයකු පවත්වා ගෙන යන එක්තරා කසිකබල් වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප රැකගන්න කියා සිංහල ජාතියට දිවි නසාගන්න ඉඩ දෙන්න බැහැ යනුවෙනි. ඇය නොදන්නා කරුණ නම් ශ්‍රී ල නි ප පිහිටුවීමට පෙර සිංහල ජාතිය තිබූ බව ද ඇය සිටියත් නැතත් ශ්‍රී ල නි ප ඝාතනය කිරීමෙන් පසුව ද සිංහල ජාතිය  පවතින බවත් ය. එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව අප කියා ඇත්තේ අද ඊයේ නො වේ.

1989 භීෂණ සමය විය. ජයවර්ධන ප්‍රේමදාස විජේවීර භීෂණය ඉහළම තලයක පැවතිණි. එකල පැවතියේ යුද්ධයක් යැයි ඊනියා දේශපාලන විචාරකයෝ නො පවසති. එය හුදෙක් ත්‍රස්තවාදය මැඩලීමක් පමණක් ලෙස හැඳින්විණි. යුද්ධයක් නොපැවති බැවින් යුද්ධාපරාධ ද නො වී ය. එකල සොල්හයිම්ලා  මෙහී නො වූහ. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ජ වි පෙ ත්‍රස්තවාදය (සෝමවංශලා එදා ත්‍රස්තවාදය මෙහෙය වූ නායකයෝ වූහ. අනුර කුමාරලා ලාල්කාන්තලා හුදු ඇටිකිච්චෝ වූහ. එහෙත් එදා සිදු වූ ඝාතනවලට අද ශාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයෝ ද වගකිවයුත්තෝ වෙති) මැඩලීමට එ ජා ප ආණ්ඩුවලට සහාය දුන්හ. එබැවින් ද එකල යුද්ධාපරාධ තිබෙන්නට හැකියාවක් නැත. බටහිරයන් අතින් යුද්ධාපරාධ නො කෙරෙයි!

එහෙත් දෙමළ ත්‍රස්තවාදය මැඩීමට කෙරී ඇත්තේ යුද්ධයක් යැයි බටහිරයෝ ද ඊනියා දේශපාලන විචාරකයෝ ද කියති. අභාවප්‍රාප්ත මර්වින් සිල්වා ජනමාධ්‍යවේදියා ඊළාම් යුද්ධය 1, 2, 3 ආදී වශයෙන් ඒ නම් කෙළේ ය. අද යුද්ධාපරාධ ගැන බටහිරයන් ද රාජ්‍ය නොවන පඬියන් ද එ ජා ප නායකයන් ද කතා කරන්නේ ඒ බටහිර සංකල්ප මත පදනම් වෙමිනි. කොටින්ට විරුද්ධව කෙරුණු යුද්ධාපරාධ තිබිණි නම් ජ වි පෙරමුණට ද එරෙහිව කළ යුද්ධාපරාධ තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ ඒ ගැන නිහඬ ඇයි? බටලන්දේ දී මරා දැමුණේ අත් අඩංගුවේ පසු වූවන් බව අමතක නොකළ යුතු ය. අඩුම තරමින් එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය ද දුර්වල වූ නමුත් ඒ නොමැරි පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ඇතුළු කිහිප දෙනෙක් සමත් වූහ. ඔවුහු 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසු සමරු දේශනයක් සංවිධානය කළහ. එයට බණ්ඩාරනායක මැතිණිය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ජනතා සහභාගිත්වය අඩු මට්ටමක තිබේ යැයි එතුමිය විශ්වාස කළ බැවිනි. එපමණක් නොව දේශකයකු සොයා ගැනීම ද සංවිධායක මණ්ඩලයට අසීරු කරුණක් විය. අවසානයේ දී දේශනය පැවැත්වීම මට භාර කෙරිණි. ඒ දේශනයේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. සංවිධායක මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම හේතුවෙන් අති විශාල පිරිසක් දේශනයට සවන් දීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එක් රොක් වූහ.

ඉන්පසු අනූවේ දශකයේ මුල එංගලන්තයේ පදිංචි වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවට ආනයනය කර ඇය ලවා පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් කර ශ්‍රී ල නි ප ඝාතනය කරවීමට වික්ටර් අයිවන්, ප්රාජිත ආදී පිරිසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ ව්‍යර්ථ විය. එහෙත් අද එය වෙනත් ක්‍රමයකින් සාර්ථක වී ඇත. මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකාට ද කළ නොහැකි වූ ඝාතනය සිදු කෙළේ ය. කළ යුතුව තිබුණේ ඉන් පසුවවත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කිරීම ය. එහෙත් ඒ නො කෙරිණි. ශ්‍රී ල නි ප නායකයෝ අපට සවන් නොදුන්හ. අදත් සවන් නො දෙති. ඒ අතර පඬියෝ හා පඬි දෙන්නු අපට උගන්වති.

නලින් ද සිල්වා


2015 ජූලි 09

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය.

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි.

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි.

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය.

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.

නලින් ද සිල්වා


2015 ජූලි 08

අගමැති ධුරයට කෑදරකමින් ශ්‍රී ල නි පක්‍ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්‍ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්‍රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ වි පෙරමුණේ ඡන්ද ද ඔහුට තොගපිටින් වැටෙද්දී ය. ජ වි පෙරමුණට ඇති ඡන්ද තුන්ලක්‍ෂයක ප්‍රමාණය අවසානයේ දී තීරණාත්මක විය. මෛත්‍රිපාල බලයට පත් කිරීමේ පාප කර්මයෙන් එ ජා පක්‍ෂයට, දෙමළ ජාතික සංධානයට විවිධ මුස්ලිම් පක්‍ෂවලට මෙන් ම ජ වි පෙරමුණට හා ජාතික හෙළ උරුමයට ද මිදිය නො හැකි ය.

මෛත්‍රිපාල බලයට පත් වූ විගස නීති විරෝධී ව රනිල් පික්පොකට් අගමැති ලෙස පත්කර පික්පොකට් කැබිනට්ටුවක් පත් කෙළේ ය. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීති විරෝධී ව ගෙදර යැවුවේ ය. අල්ලස් ලෙස ඇමතිකම් දෙමින් ආණ්ඩු පක්‍ෂයේ මෛත්‍රි කණ්ඩයමේ ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රියා කෙළේ ය. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුනට ගර්ජන මරදන කරමින් රනිල්ගේ සුළුතර ආණඩුව පවත්වාගෙන යෑමට ආධාර කෙළේ ය. රනිල්ගේ අවශ්‍යතාච මත කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ය. මෙහි දී ඩිව් ගුණසේකර ද වරදක් කර ඇති බව පැහැදිලි ය.

ඒ සියල්ලෙහි දී මෛත්‍රිපාල කටයුතු කර ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව ය. ඔහුගේ අනුගාමිකයෝ ද ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ ව වැඩ කළහ.  ඔවුහු අද ඊනියා සමගියක මුවාවෙන් නැවතත් එ ජා පක්‍ෂයට බලය ලබා දීමට කටයුතු කරති. ඒ අතර ශ්‍රී ල නි ප දුර්වල කරති. අද ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද සමග ය. මෛත්‍රිපාල සමග වැඩ කර ඇමතිකම් බදා ගත්තෝ ද මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයේ මෛත්‍රී කණ්ඩායමෙන් ඉදිරිපත් වී තනතුරු බලාපොරොත්තු වූ නිවටයෝ ද මහින්දට විරුද්ධ වූහ. මේ නිවටයන් නොදැන සිටිය ද රටේ සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය ද සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ද මහින්ද සමග සිටියහ.

අප කිහිප වතාවක් ම පෙන්නා දී ඇති පරිදි දේශපාලන බල තුලනය ජනවාරි 8 වැනි දා සිට ඉතා ඉක්මණින් වෙනස්වීමට පටන් ගත්තේ ය. නුගේගොඩ රැස්වීමට පෙර ද ජන ගඟ මහින්ද දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ ය. තවත් පනස්හයක පෙර නිමිති පහළ විය. නිවටයෝ මහජන අප්‍රසාදයට ලක් වූහ. මහින්ද කණ්ඩායමට තනිව ම තරග කර මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හැකි බව පෙනෙන්නට තිබිණි.

එහෙත් එසේ නොදුටු කිහිප දෙනෙක් ද වූහ. ඔවුහු රනිල් අගමැති ධුරයේ දිගටම සිටියහොත් තම ජීවිතවලට අනතුරක් වන බව සිතුවෝ ය. ඔවුහු නිවටයන් සමග එක්වී මෛත්‍රිපාල හා මහින්ද සමගි කිරීමේ ද්‍රෝහී ක්‍රියා මාර්ගයකට එළඹියහ. මහින්ද වෙන ම තරග කිරීම පක්‍ෂය කැඩීමක් ලෙස හැඳින්වූහ. එසේ හැඳින්වූවෝ පක්‍ෂය කඩාගෙන ගිය මෛත්‍රිපාලගේ නිවට ඇම්බැට්ටයෝ ම වූහ. මේ නිවටයන් දැන සිටි කරුණ නම් මෛත්‍රි කණ්ඩායම වෙන ම තරග කළහොත් ඔවුන්ට කිසි දිනෙක ජයග්‍රහණය කළ නොහැකි බව ය.  නිවටයන් සැලසුම් කෙළේ මහින්ද සමග එකතු වී මහින්දගේ ඡන්දවලින් ජයග්‍රහණය කර පසුව මෛත්‍රිපාලගේ සුපුරුදු ද්‍රෝහි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් එ ජා ප සමග නැවතත් හවුල් ආණ්ඩුවක් පිහිටුවීම ය. මෛත්‍රිපාල ඇමතිකම් අල්ලස් දීමෙන් මහින්ද කණ්ඩායමේ මන්ත්‍රීවරුන් ද ඩැහැ ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියේ ය.

සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට අනුව පක්‍ෂය කැඩී ගොස් නො තිබිණි. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද ජයග්‍රහණය කරවීම ය. නිවටයෝ ද රනිල් බලයට පත්වුවහොත් ජීවිත නැති වේ යැයි සිතුවෝ ද මහින්දගේ කරපිටින් බලයට පැමිණ මහින්දට අගමැති කම නැතිකිරීමට සැලසුම් කළහ. ඔවුහු මහින්ද හා මෛත්‍රිපාල කණ්ඩායම් එකතු කිරීමේ ජනතා විරෝධී ක්‍රියාදාමයක නිරත වූහ. දේශපාලන බල තුලනයේ වෙනස හේතුවෙන්  මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දීමට නිවටයන් එකඟ වූයේ මහින්දගේ කරපිටින් බලයට පැමිණීමට ය.

ඔවුන්ගේ ද්‍රෝහි සැලැස්මේ පියවර කිහිපයක් වෙයි. පළමුවෙන් ම මහින්ද පිළ රවටා අවසාන දිනයේ දී ශ්‍රි ල නි පක්‍ෂය සංධානයෙන් ඉවත් වී සංධානය අහෝසි කර එහි අපේක්‍ෂකයන් අතරමං කිරීම ය. ඒ අතර නිවටයන් කිහිප දෙනකු එ ජා ප සංධානයකින් තරග කර නැවතත් රනිල් මෛත්‍රි දේශද්‍රෝහි ආණ්ඩුවක් පිහිටුවීම ය. දෙවනු ව සංධානයෙන් තරග කර හැකිතාක් මෛත්‍රිපාල හිතවාදීන් මන්ත්‍රීන් ලෙස පත්කරගෙන මහින්ද කණ්ඩායමෙන් ද කිහිප දෙනකු අල්ලස් දීමෙන් තමන්ට දිනාගෙන මහින්ද හා මහින්ද හිතවාදීන් නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ය. අද මේ සඳහා නාමයෝජනා පත්‍ර සකස් කිරීමේ දී මෛත්‍රි කණ්ඩායමට වාසි ලබා දෙන ලෙස නිවටයෝ ඉලලා සිටිති. මහජන බලවේගය ඇත්තේ මහින්ද සමග මිස පක්‍ෂයට ද්‍රෝහීවූ මෛත්‍රිපාල සමග නො වේ. අද මහින්ද වෙනුවෙන් පළමුවෙන් ම වේදිකාවට නැගි අයට, විශේෂයෙන් ම බස්නාහිර පළාතේ පළාත්සභා මන්ත්‍රීවරුන්ට, නාමයෝජනා නොලැබී මහින්දට ද්‍රෝහි වූවනට නාමයෝජනා ලැබෙන  තත්ත්වයක් උදා වී ඇත.

මේ ඉතා අයහපත් තත්ත්වයකි. මෛත්‍රිපාල ජනාධිපති ධුරය මෙන් ම පක්‍ෂ සභාපති ධුරය ද යොදා ගනිමින් අද උත්සාහ ගන්නේ උපක්‍රමශීලිව මහින්ද නන්නත්තාර කර රනිල් මෛත්‍රි ආණ්ඩුවක් පිහිටුවීම ට. මේ උත්සාහය පරාජය කළ යුතු ය. ඒ කළ හැක්කේ මෛත්‍රිපාල අත්හැර මහින්ද කණ්ඩායම තනිව තරග කිරීමෙනි. එවිට නිවටයන්ට එ ජා පක්‍ෂයෙන් නාම යෝජනා ලබා ගෙන හෝ මෛත්‍රිපාල පිළ ලෙස තනිව තරග කර නන්නත්තාර වීමට අවස්ථාව සැලසෙනු ඇත. මහින්ද කණ්ඩායමට තනිව තරග කළත් අද ජයග්‍රහණය කළ හැකි ය. නිවැරදි සටන් පාඨ මත පදනම් වුවහොත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් වුව ද පිහිටුවීමට හැකි වනු ඇත.

නලින් ද සිල්වා


2015 ජූලි 07

පසුගිය ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මම ද එදින මැදමූලන ගියෙමි. පොළොන්නරුවේ සිට වැඩම කර එදින මැදමූලන ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ අණ පිළිගත්තේ ය. එපමණක් නොව ආණ්ඩුවක් පිහිටුවන බව ද ප්‍රකාශ කෙළේ ය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටනක් ආරම්භ වී ඇත. ඒ රටේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය වෙනුවෙන් වෙයි.  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිළ යැයි කිවහැකි පිරිසක් දැන් නැතිවුවත්, රාජිත සේනාරත්න, එස් බී දිසානායක, එම් කේ ඩී එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක ආදී මහත්වරු ද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ද වැනි කිහිප දෙනකු හැරෙන්නට සෙසු ශී්‍ර ල නි ප මන්ත්‍රීන් සංවිධායකයන් වත්මන් සංධාන මන්ත්‍රින් හා සංවිධායකයන්  හා එක් ව  දැනට ලියා පදිංචි වී ඇති යම්  පක්‍ෂයකින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිත ය. ඒ ශ්‍රී ල නි ප නොවන බව නම් පැහැදිලි ය. ඇතැම් විට ඒ එක්කෝ එක්සත් ජනතා නිදහස් සංධානය ම විය හැකි ය. නැත්නම් මහජන එක්සත්  පෙරමුණ විය හැකි ය. එසේත් නැත්නම් වෙනත් දේශපාලන පක්‍ෂයක් විය හැකි ය. ඒ කුමක් වුවත් ඔවුහු මෛත්‍රිපාල සිරිසේන නම් පාවා දෙන්නාගෙන් නාම යෝජනා බලාපොරොත්තු නො වෙති. බොහෝ දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මහතා සතපහකට විශ්වාස නො කරති.

ජාතික හෙළ උරුමයට යන එන මං නැත. මැතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ල නි පක්‍ෂයට ආසන පහක්වත්  බලාපොරොත්තු විය නො හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය ඔහගේ ඡන්ද නො වේ. ඒ එ ජා ප, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ ආදී පක්‍ෂ අතර බෙදී යයි. එහි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ලක්‍ෂයක්වත් නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායම  ශ්‍රී ල නි පක්‍ෂය ලෙස තනිව ම තරග කිරීම සිය දිවි නසා ගැනීමකි. එබැවින් ඔවුන්ට විවිධ මහින්ද විරෝධී, එනම් ජාතිකත්ව විරෝධී පක්‍ෂ සමග සංධානයකට ඇතුල් වීමට සිදු වෙයි. එවිට මනාප මගින් පාර්ලිමේන්තුවට ඒමට හැකි වුවත් වැඩි කල් නොගොස් එවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව ජනතාව සතුවෙයි.

කලක සිට ලංකාවේ මැතිවරණ පැවැත්වෙන්නේ විජාතිකත්වය ජාතිකත්වය අතර සටනක් ලෙස ය. අගෝස්තු මැතිවරණය ද එසේ ම ය. මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියි. රනිල් මෛත්‍රිපාල හවුල විජාතිකත්වයේ ගැති හවුලකි. තම ජීවීිත බේරා ගැනීම සඳහා මෛත්‍රිපාල මහින්ද එකතුවක් ගැන කතාකිරීම රනිල් මෛත්‍රිපාල හවුලට බලය අත්කර දීමකි. විජාතික කණ්ඩායම තම විජාතිකත්වය යටත්විජිත ගැති බව වසා ගැනීම සඳහා ඊනියා යහපාලනය, දූෂණය, භීෂණය ආදිය යොදා ගනිති.

එහෙත් ඒ ඇස් බැන්දුමක් පමණකි. මහා බැංකු කොල්ලයේ දී පික්පොකට් ආණ්ඩුවේ මහා අය කිහිප දෙනකුගේ ම පැටිකිරිය හෙළිදරවු විය. කෝප් වාර්තාව වහාම ප්‍රසිද්ධ කළ යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බාධාවක් නො විය යුතු ය.

අනෙක් අතට හුදෙක් තර්කය සඳහා පසුගිය ආණ්ඩුවෙන් දූෂණ සිදු වී ඇතැයි සිතමු. ඒ දූෂණ නිසා රටට හා ජනතාවට රුපියල් ප්‍රකෝටි ගණනක හානියක් සිදු වී ඇතැයි ද සිතමු. රටේ ඒකීය භාවයට නියම කරන මිළ කුමක් ද? දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම කීයක් වටින්නේ ද? ඒ අමිළ ය. එලෙස කල්පනා කිරීමේ දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් දූෂණයක් සිදු වී ඇතැයි උපකල්පනය කළ ද, ඒ ආණ්ඩුවෙන් රටට වී ඇති යහපත සලකා බැලීමේ දී දූෂණය නොගිණිය හැකි තරම් ය.

එහෙත් යටත්විජිත ගැති පිකාපොකට් කරුවන්ගෙන් රටට සිදු වී ඇති යහපත කුමක් ද? ඔවුහු කොටි පැරදවීමට විරුද්ධ වූහ. ඊනියා සාම සාකච්ඡා මගින් රට පාවා දුන්හ. ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කළහ. ඒ විවිධ දුෂණවලට අමතරව ය. පික්පොකට් කාරයෝ රහතන් වහන්සේලා නො වෙති. එලෙස කල්පනා කරද්දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් දූෂණ සිදු වී ඇතැයි උපකල්පනය කළ ද පික්පොකට් කරුවන් සමග සංසන්දනය කිරීමේ දී ඒ ඊනියා දූෂණ නොසලකා හැරිය හැකි ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංධානය, එය කුමන පක්‍ෂයක් වුවත්, ජය ලබනු ඇත. එයට නිවැරදි සටන් පාඨ ඉදිරිපත් කළහොත් ආසන එකසිය විසිපහක් පමණ ලබාගත හැකි ය. පනස්හයක් ඉන් අවුරුදු හැටකට පසු නැවත නිර්මාණය කර ගත යුතු ය, කර ගත හැකි ය. ඒ අතර තිබෙන ව්‍යවස්ථාවට පිටින් ගොස් 1972 දී කළාක් මෙන් ව්‍යවස්ථාදායක සභාවක් මගින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබා ගත යුතු ය.

ජාතිකත්වය තහවුරු කිරීම, රටේ ස්වෛරීභාවය රැකීම, ඒකිය භාවය පවත්වාගෙන යැම, ආර්ථිකය නගා සිටුවීම, රටට ගැලපෙන අධ්‍යාපනයක්, සංවර්ධනයක් හා නීති පද්ධතියක් ඇති කිරීම, කැබිනට්ටුවට උපදේශක භික්‍ෂූ මණ්ඩලයක් නිකායත්‍රයෙහි ම සහභාගිත්වයෙන් උන්වහන්සේලා විසින් පත්කරනු ලැබීම ආදී කරුණු රාශියක් ගැන ද තීරණ ගැනීම මැතිවරණයේ දී සිදුවිය යුතු ය.

එසේ ම ජනතාවට මෙම මැතිවරණයේ දී ඡන්දය දී ගෙදර ගොස් අපේ යුතුකම අප ඉටු කළා යැයි සතුටු විමට නො හැකි ය. කවුරු ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති යැයි වෙන්ඩ උපාධිධාරී සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ නිකමට විය නො හැකි ය. මෙය බටහිරයන් හා මෛත්‍රිපාල අතර ඇති ගිවිසුමෙන් ගලා එන්නකි. මේ බටහිරයන්ගේ ලංකා වසන්තය ය. එහි එකම තේරුම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුනරාගමනය වැළැක්වීම ය. අප ඒ වසන්තය බටහිරයන්ට හේමන්තයක් බවට පත් කළ යුතු ය.

ඒ කළ හැකි එක් ක්‍රමයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංධානයට ඉතා වැඩි ආසන ගණනක් ලබා දීම ය. දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල සහාය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටත් ව්‍යවස්ථාදායක සභාව මගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් හැකි වන පරිදි ආසන සංඛ්‍යාවක් මහින්ද සංධානයට ලබා දීම දේශප්‍රේමීන්ගේ වගකීම වෙයි. ඒ සඳහා වහාම මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූලි 05

මෛත්‍රිපාල සිරිසේනට විජාතික බලවේගවලින් බලපෑම් එල්ල වන බව රහසක් නො වේ. චන්ද්‍රිකාගේ සිට එංගලන්ත මහා කොමසාරිස් දක්වා මහින්දට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කිරීමට ඉඩ දීම පිළිබඳ ව මෛත්‍රිපාලට දොස් කියා ඒ ඉල්ලා අස්කර ගැනීමට බලකරනු නිසැක ය. පික්පොකට් අගමැති ද තම තනතුර බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනු ඇත. අජිත් පෙරේරා පමණක් නොව අර්ජුන රණතුංග ද තම නියෝජ්‍ය ඇමතිකම්, ඇමතිකම් බේරා ගැනීමට කටයුතු කරති.

එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ල නි පක්‍ෂය වෙයි. ශ්‍රී ල නි පක්‍ෂය යම් අයුරකින් සංධානයෙන් ඉවත්වීමට තීරණය කළහොත් සංධානයේ පැවැත්ම පිළිබඳ නීති ප්‍රශ්න පැන නගියි. මැතිවරණ කොමසාරිස්වරයා  හෙවත් මැකො එහි දී කිනම් තීරණයක් ගනීවි ද යන්න ප්‍රශ්නයකි.

අනෙක් අතට නාමයෝජනා දීමට ඇති අවසාන දිනය තෙක් බලා සිටීම ද යහපත් නො වේ. අවසන් දිනට දින තුනකටවත් පෙර නාම යෝජනා භාර දීමට කටයුතු කළ යුතු ය. සංධානයේ ලැයිස්තුව ගැන පමණක් බලා නොසිට වෙනත් ලැයිස්තු ද පිළියෙළ කර අවශ්‍යතාවක් වුවහොත් යොදා ගැනීමට සූදානමින් සිටිය යුතු ය.

විජාතික බලවේග කෙටි කලකට වුවත් තමන්ට ලැබුණු බලය සටනකින් තොරව අත් නොහරිනු ඇත. ජාතික බලවේග හා විජාතික බලවේග අතර සටන අද කිසි දිනෙකට වඩා උග්‍ර වී ඇත. දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගමිකවාදය බටහිර උසිගැන්වීම් මැද මෛත්‍රිපාලට මහින්ද ඉදිරිපත් කිරීමට තිබෙන සෑම ඉඩක් ම  වැසීමට කටයුතු කරනු ඇත.

විජාතික බලවේගවලට විරුද්ධ ව  ජාතික බලවේග සංවිධානය කළ යුතු ය. එහෙත් එපමණකින් සෑහීමකට පත් නොවිය යුතු ය. සිංහලයන් විජාතික බලවේගවලට පරාජය වී ඇත්තේ ශක්තිය අතින් නොව උපක්‍රම අතින් ය. ඇමරිකානුවන් රනිල් වික්‍රමසිංහ තම රටට ගෙන්වා මසක් පමණ කාලයක් පුහුණු කෙළේ උපක්‍රම පිළිබඳ ව දැයි අපි නො දනිමු. ඒ කුමක් වුවත් අද ද මෙරට බටහිර මෙන් ම ඉන්දීය ඔත්තු කරුවෝ උපදේශකයෝ සිටිති. ඔවුන්ගේ උපදෙස් ගැන කලින් සිතා ඒවාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න දිනපතා සාකච්ඡාවට බඳුන් කළ යුතු ය.

මෙවර යම් අයුරකින් විජාතික බලවේග ජයග්‍රහණය කළහොත් ජාතික බලවේගවලට තව අවුරුදු විසිපහකට හිස එසවීමට කිසිම ඉඩක් නො දෙනු ඇත. අප කලින් ද කියා ඇති පරිදි බටහිරයන්ගේ ඊනියා ලංකා වසන්තය හේමන්තයක් බවට පෙරළිය යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූලි 04

මෛත්‍රිපාල සිරිසේන මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් තරග කිරීමට ඉඩ දී ඇත. මහින්ද පිළේ බොහෝ අය එය ජයග්‍රහණයක් ලෙස සලකනු ඇත. එහෙත් එය මහින්දගේ අයිතියකි.

ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකු ලෙස එහි හිටපු සභාපතිවරයකු ලෙස මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් මැතිවරණයේ දී තරග කිරීමට ඉල්ලීමට අයිතියක් වෙයි. ඔහු අපේක්‍ෂකයකු ලෙස තෝරාගන්නේ ද නැද්ද යන්න අදාළ මණ්ඩලවල කාර්යයකි. මෙහි දී සිදු වී ඇත්තේ මෛත්‍රිපාල ප්‍රජාතන්ත්‍ර විරෝධීව බටහිරයන්ට ඉන්දීයයන්ට හා මෙරට විජාතික බලවේගවලට යට වී මහින්දට තරග කිරීමට ඉඩ නොදීමට ගත් තීරණය ජනතා බලය හමුවේ අකුළා ගැනීම ය. එය විජාතික බලවේග පරදවා ජාතිකත්ව බලවේග ලැබූ ජයග්‍රහණයක් බව නිසැක ය. එහෙත් ඒ අයිතියක් තහවුරු කිරීමක් බව අමතක නොකළ යුතු ය.

මෛත්‍රිපාල මේ තීරණයේ කොපමණ කලක් සිටි දැයි අපි නො දනිමු. ඒ තීරණය වනු ඇත්තේ ජාතික හා විජාතික බලවේගවල බල තුලනය අනුව ය. ජනවාරි 8 වැනි දා විජාතික බලවේග සුලු ජයක් ලැබූ බව පැහැදිලි ය. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් සමූහ වශයෙන් මෛත්‍රිපාල පසුපස ගියේ එබැවිනි. මහින්දට ඒ හේතුවෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වය ද අත්හැරීමට සිදු විය. එහෙත් ඉන්පසු ජාතික බලවේග ක්‍රමයෙන් ශක්තිමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ද බල තුලනයේ වෙනසක් සිදු විය. මෛත්‍රිපාල කණ්ඩායම පරදවා මහින්ද කණ්ඩායම ඉදිරියට පැමිණියේ ය. අද මෛත්‍රිපාල මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දෙන්නේ පාර්ලිමේන්තුව තුළ හා පිටත සිදු වූ මේ වෙනස්කම් හේතුවෙනි.

එහෙත් ඒ තාවකාලික ය. යම් අයුරකින් විජාතික බලවේග, විශේෂයෙන් ම තානාපති හා ඔත්තු සේවා ඇතුළු විදේශීය විජාතික බලවේග, මෛත්‍රිපාලට කරන බලපෑම් දැඩි කළහොත් මෛත්‍රිපාල වෙනස් වීමට ඉඩ ඇත. මෛත්‍රිපාල උදේට කියන දේ බලපෑම් අනුව හවසට වෙනස් කර ගන්නා තැනැත්තෙකි. එබැවින් කළ යුතු ප්‍රධානම කාර්යය නම් ජාතික බලවේග තව තවත් ශක්තිමත් කිරීම ය. විජාතික බලවේගවලට හිස එසවීමට කිසිම ඉඩක් නොදිය යුතු ය.

එහෙත් අප අමතක නොකළ යුතු කරුණු කිහිපයක් ඇත. මහින්ද අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ කණ්ඩායමේ නායකයා  ලෙස හෝ නම් කිරීමට මෛත්‍රිපාල සූදානම් නැත. ඔහුගේ තර්කය පසුගිය මැතිවරණවල දී ශ්‍රී ල නි ප අගමැති අපේක්‍ෂකයකු නම් කර නැති බව ය. එහෙත් ඒ මැතිවරණ වල දී පක්‍ෂ නායකයා හෝ සුදුස්සකු අගමැති අපේක්‍ෂක ලෙස හඳුනා ගැනීමක් විය. අද පක්‍ෂයේ නායකයා මෛත්‍රිපාල ය. ඔහු අගමැති අපේක්‍ෂකයා නොවන බව පැහැදිලි ය. එසේ නම් අගමැතිකමට සුදුස්සා කවු ද? මෛත්‍රිපාල විජාතික බලවේගවලට පොරොන්දු වී ඇත්තේ රනිල් අගමැති කරන බවට ය. ඔහු ඒ පොරොන්දුවෙන් මිදෙන්නේ කෙසේ ද?

මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් ජනවාරි 9 වැනි දා කළාක් මෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැතත් රනිල් අගමැති ලෙස පත්කිරීමට හැකි ය. සංධාන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් හා වෙනත් තනතුරු වරප්‍රසාද ලබා දෙමින් මෛත්‍රිපාලට ඔවුන් තම පිළට එකතු කර ගත හැකි ය. මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් මහින්දට අගමැතිකම නොව ඇමතිකමක්වත් නොදී සිටිය හැකි ය. මහින්ද රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට යන්නේ ද?

මෛත්‍රිපාල කණ්ඩායම තනිව ම තරග කෙළේ නම් ඔවුන්ට මන්ත්‍රීවරුන් පස්දෙනකුවත් පත්කරගැනීමට නොහැකි වීමට තිබිණි. එහෙත් දැන් මෛත්‍රිපාලට මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ලැබෙන අතර මහින්ද කණ්ඩායමෙන් තරග කර පාර්ලිමේන්තුවට යෑමට සිටි පිරිසකට ඒ අහිමිවනු ඇත. මෛත්‍රිපාල මහින්දට තරග කිරීමට ඉඩ දීමෙන් වැඩි වාසි ලබන්නේ මෛත්‍රිපාල ය.

මේ අතර බටහිරයන් වෙනත් දේ කල්පනා කරනු ඇත. ඔවුන් මහින්දට බලයට පත්වීමට ඉඩ දේ යැයි සිතිය නො හැකි ය. ඔවුන්ගේ ලංකා වසන්තය මින් ඉදිරියට කෙසේ ක්‍රියාත්මක වේ ද යන්න ගැන බොහෝ දෙනාට ප්‍රශ්නයක් නො වේ. සමහරුන් මේ නූල් සූත්තර අදින්නේ රනිල් දිගට ම අගමැති ලෙස ක්‍රියා කළහොත් තම ජීවිතවලට අනතුරක් වේ ය යන්න ගැන මිස රට ගැන බලා නො වේ.

මේ උගුල්වලින් බේරීමට ජාතික බලවේග වහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ වැඩ පිළිවෙළ ගැන අවබෝධයක් සැකැස්මක් නොමැතිව ජීවිත භයෙන් මෛත්‍රිපාල මහින්ද එකතු කිරීම රටට යහපතක් අත්කර නොදෙනු ඇත.

නලින් ද සිල්වා


2015 ජූලි 04

මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය.

එහෙත් ඒ කවදාවත් සිදු නොවන්නකි. අද ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් බහුතරය මහින්ද වටා රොක් වී සිටින්නේ ජනතාවගේ ඡන්ද තිබෙන්නේ එතැන බැවිනි. මැතිවරණය පවත්වන තුරු බලය ඇත්තේ මහින්දට ය. එහෙත් පාර්ලිමේන්තුව තෝරා ගැනීමෙන් පසු බලය ඇත්තේ මෛත්‍රිපාලට ය. ඔහු ජනාධිපති ය. අගමැති පත්කෙරෙන්නේ ඔහුට අවශ්‍ය අන්දමට ය.

මෛත්‍රිපාලගේ ප්‍රධාන ගිවිසුම රනිල් අගමැති කිරීමට ය. එය බටහිරයන් සමග ඇති ගිවිසුමකි. පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමෙන් පසු ඔහුට පසුගිය වතාවේ මෙන් රනිල් අගමැති ලෙස පත් කළ හැකි ය. ගියවර මෙන් ම ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ට තර්ජන, ගර්ජන බලපෑම් ආදියෙන් රනිල්ට සහාය දෙන තැනකට ගෙන ගිය  හැකි ය. මෛත්‍රිපාල වැඩිම වුවහොත් නිමල් අගමැති කරනු ඇත. ඔහු කිසි දිනෙක මහින්ද අගමැති ලෙස පත් නොකරනු ඇත.

ඔහු ඒ බවට පොරොන්දුවක් දුන්නත් ඒ ඉටු කරාවි යැයි විශ්වාස කළ හැකි නො වේ.  මෛත්‍රිපාල උදේ කියන දෙයට විරුද්ධ දෙයක් දවල් කියයි. හවසට කියන්නේ වෙනත් ම දෙයකි. රෑට ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කරයි. මෛත්‍රිපාලට නොරැවටිය යුතු ය. රෑ වැටුණු වළේ දවල් නොවැටිය යුතු ය.

අද මහින්ද කළ යුත්තේ මෛත්‍රිපාලට නොරැවටී වෙනම සංධානයකින් තරග කිරීම ය. අද බලය ඇත්තේ මහින්දට ය. ඒ බලය මැතිවරණයෙන් පසුව ද රැක ගත යුතු ය. නැතහොත් මහින්දට සිදුවන්නේ අවුරුදු පහක් පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කල්ගත කිරීම ය. එවිට වයස ගොස් ය.

නලින් ද සිල්වා


2015 ජූනි 30

Top