ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයකු ලෙස එහි හිටපු සභාපතිවරයකු ලෙස මහින්ද රාජපක්‍ෂට එක්සත් ජනතා සංධානයෙන් මැතිවරණයේ දී තරග කිරීමට ඉල්ලීමට අයිතියක් වෙයි. ඔහු අපේක්‍ෂකයකු ලෙස තෝරාගන්නේ ද නැද්ද යන්න අදාළ මණ්ඩලවල කාර්යයකි. මෙහි දී සිදු වී ඇත්තේ මෛත්‍රිපාල ප්‍රජාතන්ත්‍ර විරෝධීව බටහිරයන්ට ඉන්දීයයන්ට හා මෙරට විජාතික බලවේගවලට යට වී මහින්දට තරග කිරීමට ඉඩ නොදීමට ගත් තීරණය ජනතා බලය හමුවේ අකුළා ගැනීම ය. එය විජාතික බලවේග පරදවා ජාතිකත්ව බලවේග ලැබූ ජයග්‍රහණයක් බව නිසැක ය. එහෙත් ඒ අයිතියක් තහවුරු කිරීමක් බව අමතක නොකළ යුතු ය.
මෛත්‍රිපාල මේ තීරණයේ කොපමණ කලක් සිටි දැයි අපි නො දනිමු. ඒ තීරණය වනු ඇත්තේ ජාතික හා විජාතික බලවේගවල බල තුලනය අනුව ය. ජනවාරි 8 වැනි දා විජාතික බලවේග සුලු ජයක් ලැබූ බව පැහැදිලි ය. ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් සමූහ වශයෙන් මෛත්‍රිපාල පසුපස ගියේ එබැවිනි. මහින්දට ඒ හේතුවෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිත්වය ද අත්හැරීමට සිදු විය. එහෙත් ඉන්පසු ජාතික බලවේග ක්‍රමයෙන් ශක්තිමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුවේ ද බල තුලනයේ වෙනසක් සිදු විය. මෛත්‍රිපාල කණ්ඩායම පරදවා මහින්ද කණ්ඩායම ඉදිරියට පැමිණියේ ය. අද මෛත්‍රිපාල මහින්දට සංධානයෙන් තරග කිරීමට ඉඩ දෙන්නේ පාර්ලිමේන්තුව තුළ හා පිටත සිදු වූ මේ වෙනස්කම් හේතුවෙනි.
එහෙත් ඒ තාවකාලික ය. යම් අයුරකින් විජාතික බලවේග, විශේෂයෙන් ම තානාපති හා ඔත්තු සේවා ඇතුළු විදේශීය විජාතික බලවේග, මෛත්‍රිපාලට කරන බලපෑම් දැඩි කළහොත් මෛත්‍රිපාල වෙනස් වීමට ඉඩ ඇත. මෛත්‍රිපාල උදේට කියන දේ බලපෑම් අනුව හවසට වෙනස් කර ගන්නා තැනැත්තෙකි. එබැවින් කළ යුතු ප්‍රධානම කාර්යය නම් ජාතික බලවේග තව තවත් ශක්තිමත් කිරීම ය. විජාතික බලවේගවලට හිස එසවීමට කිසිම ඉඩක් නොදිය යුතු ය.
එහෙත් අප අමතක නොකළ යුතු කරුණු කිහිපයක් ඇත. මහින්ද අගමැති අපේක්‍ෂකයා ලෙස හෝ කණ්ඩායමේ නායකයා ලෙස හෝ නම් කිරීමට මෛත්‍රිපාල සූදානම් නැත. ඔහුගේ තර්කය පසුගිය මැතිවරණවල දී ශ්‍රී ල නි ප අගමැති අපේක්‍ෂකයකු නම් කර නැති බව ය. එහෙත් ඒ මැතිවරණ වල දී පක්‍ෂ නායකයා හෝ සුදුස්සකු අගමැති අපේක්‍ෂක ලෙස හඳුනා ගැනීමක් විය. අද පක්‍ෂයේ නායකයා මෛත්‍රිපාල ය. ඔහු අගමැති අපේක්‍ෂකයා නොවන බව පැහැදිලි ය. එසේ නම් අගමැතිකමට සුදුස්සා කවු ද? මෛත්‍රිපාල විජාතික බලවේගවලට පොරොන්දු වී ඇත්තේ රනිල් අගමැති කරන බවට ය. ඔහු ඒ පොරොන්දුවෙන් මිදෙන්නේ කෙසේ ද?
මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් ජනවාරි 9 වැනි දා කළාක් මෙන් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් නැතත් රනිල් අගමැති ලෙස පත්කිරීමට හැකි ය. සංධාන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් හා වෙනත් තනතුරු වරප්‍රසාද ලබා දෙමින් මෛත්‍රිපාලට ඔවුන් තම පිළට එකතු කර ගත හැකි ය. මෛත්‍රිපාලට ජනාධිපති බලතල යොදා ගනිමින් මහින්දට අගමැතිකම නොව ඇමතිකමක්වත් නොදී සිටිය හැකි ය. මහින්ද රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට යන්නේ ද?
මෛත්‍රිපාල කණ්ඩායම තනිව ම තරග කෙළේ නම් ඔවුන්ට මන්ත්‍රීවරුන් පස්දෙනකුවත් පත්කරගැනීමට නොහැකි වීමට තිබිණි. එහෙත් දැන් මෛත්‍රිපාලට මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් ලැබෙන අතර මහින්ද කණ්ඩායමෙන් තරග කර පාර්ලිමේන්තුවට යෑමට සිටි පිරිසකට ඒ අහිමිවනු ඇත. මෛත්‍රිපාල මහින්දට තරග කිරීමට ඉඩ දීමෙන් වැඩි වාසි ලබන්නේ මෛත්‍රිපාල ය.
මේ අතර බටහිරයන් වෙනත් දේ කල්පනා කරනු ඇත. ඔවුන් මහින්දට බලයට පත්වීමට ඉඩ දේ යැයි සිතිය නො හැකි ය. ඔවුන්ගේ ලංකා වසන්තය මින් ඉදිරියට කෙසේ ක්‍රියාත්මක වේ ද යන්න ගැන බොහෝ දෙනාට ප්‍රශ්නයක් නො වේ. සමහරුන් මේ නූල් සූත්තර අදින්නේ රනිල් දිගට ම අගමැති ලෙස ක්‍රියා කළහොත් තම ජීවිතවලට අනතුරක් වේ ය යන්න ගැන මිස රට ගැන බලා නො වේ.
මේ උගුල්වලින් බේරීමට ජාතික බලවේග වහා වැඩ පිළිවෙළක් සකස් කළ යුතු ය. ඒ වැඩ පිළිවෙළ ගැන අවබෝධයක් සැකැස්මක් නොමැතිව ජීවිත භයෙන් මෛත්‍රිපාල මහින්ද එකතු කිරීම රටට යහපතක් අත්කර නොදෙනු ඇත.
නලින් ද සිල්වා
2015 ජූලි 04