Breaking
21 Feb 2025, Fri

රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්‍ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ බව රහසක් නො වේ. ඒ අතර විදේශීය ඔත්තු සේවා ද තානාපති (මහා කොමසාරිස්) කාර්යාල ද විය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම මිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම නො වේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම යනු මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීම නො වේ දැයි කාරණාකාරයකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. එය තර්කයක් ලෙස ඇත්තක් ලෙස පෙනී යයි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන වෙනුවට නිමල් සිරිපාල ආදේශ කළත් එය වලංගු වීමට තිබිණි.

මේ පාර්ශ්වවලට අවශ්‍ය ව තිබුණේ් ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීම මිස අහවලා දිනවීම නො වේ. අහවලා කවුරුන් වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි හොඳම අපේක්‍ෂකයා තෝරා ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නය විය. යම් කිසි පුද්ගලයකු තෝරා ගෙන ඔහු ජනාධිපති කළ යුතු ය යන හැඟීමක් ඔවුන්ට ප්‍රායෝගික ව ගත්කල නො තිබිණි.

ප්‍රායෝගික ව ගත්කල යනුවෙන් මා කියන්නේ ඔවුන්ගේ අපේක්‍ෂකයා වූ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට නොහැකි බව ඔවුන් යම් අවබෝධයකින් පසු වූ නිසා ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය විය. එහෙත් ඒ දෙක ම එක්විට කළ නොහැකි බව ඔවුහු දත්හ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනත් කවුරුන් ලවා මහින්ද රාජපක්‍ෂ පරාජය කරවා රනිල්ට පසුව විධායක බලතල ලබා දීම ය. එනම්  රනිල් පළමුව අගමැති කර පසුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අගමැතිට විධායක බලතල පැවරීම ය.

රනිල් අගමැති කිරීමට තිබූ හදිසිය මෛත්‍රිපාල ජනාධිපති කිරීමට තිබූ වුවමනාවට වැඩි විය. ඒ නිසා ම දෝ ව්‍යවස්ථානුකූල ව රනිල් අගමැති ලෙස පත්කර ගැනීමට නොහැකි විය. කලබලය නිසා රනිල් පික්පොකට් අගමැතිවරයකු ලෙස පත්විණි. කෙසේ වෙතත් එතැන දක්වා නීත්‍යානුකූල ව නොවුනත් සැලැස්මට අනුව කටයුතු කෙරිණි. දැන් ඇත්තේ සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ය. රනිල් ට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ බලතල අගමැතිට පැවරීම ය. එහෙත් එය කරගන්නේ කෙසේ ද? මෛත්‍රිපාල සිරිසේන දැන් අවුරුදු හයකට ජනාධිපති ය.

මෛත්‍රිපාලට තම විධායක බලතල අහිමි කර ගැනීමට දැන් අවශ්‍යතාවක් නැත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහු විසින් පත්කරන ලද නායකයන් ලවා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරයි. ශ්‍රී ල නි පක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු තබා බලතල අඩු කිරීමට ද අද එකඟ නැත. බලතල අඩු කිරීමට නම් වෙනත් යෝජනා ද සමගාමී ව ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ එබැවිනි. මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් වැදගත් ඇමති ධුර පහක් සහිත ව තවත් ඇමති ධුර තමන්ට ලැබිය යුතු යැයි මෛත්‍රිපාලගේ  ශ්‍රී ල නි ප නායකයෝ කියා සිටිති. එහෙත් රනිල්ට අවශ්‍ය  මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ය.

රනිල්ට ඒ කටයුතු සියල්ල කරගැනීම සඳහා අප්‍රියෙල් විසිතුන්වැනි දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට ය. ජනාධිපතිට රනිල්ට ඇහුම්කම් නොදී අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට ප්‍රළුවන් ද? අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විදේශිකයන් ද බලපෑම් කරනු ඇත. මෛත්‍රිපාලට ඒ බලපෑම්වලට නොසැලී මුහුණ දිය හැකි ද?

එසේ මුහුණ දීමට හැකි ක්‍රමයක් ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කර වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමෙනි. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ බලපෑම් ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය මහින්දට ඇත. මෛත්‍රිපාල එයට සූදානම් ද?

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.