Breaking
23 Feb 2025, Sun

ජාතික හෙළ උරුමයට යන එන මං නැත

පසුගිය ජූලි පළමුවෙනිදා අධි ඇසළ පොහොය විය. බෞද්ධ සාහිත්‍යයේ අධි පොහොයවල සිදු වූ විශේෂ සිද්ධි නොමැත. මම ද එදින මැදමූලන ගියෙමි. පොළොන්නරුවේ සිට වැඩම කර එදින මැදමූලන ධර්මදේශනය පැවැත්වූ භික්‍ෂූන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි මෙවර අධි ඇසළ පොහොය මහින්ද රාජපක්‍ෂට ජනතාව අණකළ පොහොය විය. මැදමූලනට දිවයිනේ දසතින් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ හා ගිහි ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට අණ කළේ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඒ අණ පිළිගත්තේ ය. එපමණක් නොව ආණ්ඩුවක් පිහිටුවන බව ද ප්‍රකාශ කෙළේ ය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු මැතිවරණ සටනක් ආරම්භ වී ඇත. ඒ රටේ ස්වාධීනත්වය, ස්වෛරිභාවය හා ඒකීයත්වය වෙනුවෙන් වෙයි.  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පිළ යැයි කිවහැකි පිරිසක් දැන් නැතිවුවත්, රාජිත සේනාරත්න, එස් බී දිසානායක, එම් කේ ඩී එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක, නන්දිමිත්‍ර ඒකනායක ආදී මහත්වරු ද, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ද වැනි කිහිප දෙනකු හැරෙන්නට සෙසු ශී්‍ර ල නි ප මන්ත්‍රීන් සංවිධායකයන් වත්මන් සංධාන මන්ත්‍රින් හා සංවිධායකයන්  හා එක් ව  දැනට ලියා පදිංචි වී ඇති යම්  පක්‍ෂයකින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් තරග කිරීමට නියමිත ය. ඒ ශ්‍රී ල නි ප නොවන බව නම් පැහැදිලි ය. ඇතැම් විට ඒ එක්කෝ එක්සත් ජනතා නිදහස් සංධානය ම විය හැකි ය. නැත්නම් මහජන එක්සත්  පෙරමුණ විය හැකි ය. එසේත් නැත්නම් වෙනත් දේශපාලන පක්‍ෂයක් විය හැකි ය. ඒ කුමක් වුවත් ඔවුහු මෛත්‍රිපාල සිරිසේන නම් පාවා දෙන්නාගෙන් නාම යෝජනා බලාපොරොත්තු නො වෙති. බොහෝ දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මහතා සතපහකට විශ්වාස නො කරති.

ජාතික හෙළ උරුමයට යන එන මං නැත. මැතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී ල නි පක්‍ෂයට ආසන පහක්වත්  බලාපොරොත්තු විය නො හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද හැට දෙලක්‍ෂය ඔහගේ ඡන්ද නො වේ. ඒ එ ජා ප, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජ වි පෙ ආදී පක්‍ෂ අතර බෙදී යයි. එහි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ලක්‍ෂයක්වත් නැත. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායම  ශ්‍රී ල නි පක්‍ෂය ලෙස තනිව ම තරග කිරීම සිය දිවි නසා ගැනීමකි. එබැවින් ඔවුන්ට විවිධ මහින්ද විරෝධී, එනම් ජාතිකත්ව විරෝධී පක්‍ෂ සමග සංධානයකට ඇතුල් වීමට සිදු වෙයි. එවිට මනාප මගින් පාර්ලිමේන්තුවට ඒමට හැකි වුවත් වැඩි කල් නොගොස් එවැනි ආණ්ඩුවක් ගෙදර යැවීමේ හැකියාව ජනතාව සතුවෙයි.

කලක සිට ලංකාවේ මැතිවරණ පැවැත්වෙන්නේ විජාතිකත්වය ජාතිකත්වය අතර සටනක් ලෙස ය. අගෝස්තු මැතිවරණය ද එසේ ම ය. මහින්ද රාජපක්‍ෂ මහතා ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියි. රනිල් මෛත්‍රිපාල හවුල විජාතිකත්වයේ ගැති හවුලකි. තම ජීවීිත බේරා ගැනීම සඳහා මෛත්‍රිපාල මහින්ද එකතුවක් ගැන කතාකිරීම රනිල් මෛත්‍රිපාල හවුලට බලය අත්කර දීමකි. විජාතික කණ්ඩායම තම විජාතිකත්වය යටත්විජිත ගැති බව වසා ගැනීම සඳහා ඊනියා යහපාලනය, දූෂණය, භීෂණය ආදිය යොදා ගනිති.

එහෙත් ඒ ඇස් බැන්දුමක් පමණකි. මහා බැංකු කොල්ලයේ දී පික්පොකට් ආණ්ඩුවේ මහා අය කිහිප දෙනකුගේ ම පැටිකිරිය හෙළිදරවු විය. කෝප් වාර්තාව වහාම ප්‍රසිද්ධ කළ යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බාධාවක් නො විය යුතු ය.

අනෙක් අතට හුදෙක් තර්කය සඳහා පසුගිය ආණ්ඩුවෙන් දූෂණ සිදු වී ඇතැයි සිතමු. ඒ දූෂණ නිසා රටට හා ජනතාවට රුපියල් ප්‍රකෝටි ගණනක හානියක් සිදු වී ඇතැයි ද සිතමු. රටේ ඒකීය භාවයට නියම කරන මිළ කුමක් ද? දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම කීයක් වටින්නේ ද? ඒ අමිළ ය. එලෙස කල්පනා කිරීමේ දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් දූෂණයක් සිදු වී ඇතැයි උපකල්පනය කළ ද, ඒ ආණ්ඩුවෙන් රටට වී ඇති යහපත සලකා බැලීමේ දී දූෂණය නොගිණිය හැකි තරම් ය.

එහෙත් යටත්විජිත ගැති පිකාපොකට් කරුවන්ගෙන් රටට සිදු වී ඇති යහපත කුමක් ද? ඔවුහු කොටි පැරදවීමට විරුද්ධ වූහ. ඊනියා සාම සාකච්ඡා මගින් රට පාවා දුන්හ. ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කළහ. ඒ විවිධ දුෂණවලට අමතරව ය. පික්පොකට් කාරයෝ රහතන් වහන්සේලා නො වෙති. එලෙස කල්පනා කරද්දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් දූෂණ සිදු වී ඇතැයි උපකල්පනය කළ ද පික්පොකට් කරුවන් සමග සංසන්දනය කිරීමේ දී ඒ ඊනියා දූෂණ නොසලකා හැරිය හැකි ය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංධානය, එය කුමන පක්‍ෂයක් වුවත්, ජය ලබනු ඇත. එයට නිවැරදි සටන් පාඨ ඉදිරිපත් කළහොත් ආසන එකසිය විසිපහක් පමණ ලබාගත හැකි ය. පනස්හයක් ඉන් අවුරුදු හැටකට පසු නැවත නිර්මාණය කර ගත යුතු ය, කර ගත හැකි ය. ඒ අතර තිබෙන ව්‍යවස්ථාවට පිටින් ගොස් 1972 දී කළාක් මෙන් ව්‍යවස්ථාදායක සභාවක් මගින් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ජනවරමක් ලබා ගත යුතු ය.

ජාතිකත්වය තහවුරු කිරීම, රටේ ස්වෛරීභාවය රැකීම, ඒකිය භාවය පවත්වාගෙන යැම, ආර්ථිකය නගා සිටුවීම, රටට ගැලපෙන අධ්‍යාපනයක්, සංවර්ධනයක් හා නීති පද්ධතියක් ඇති කිරීම, කැබිනට්ටුවට උපදේශක භික්‍ෂූ මණ්ඩලයක් නිකායත්‍රයෙහි ම සහභාගිත්වයෙන් උන්වහන්සේලා විසින් පත්කරනු ලැබීම ආදී කරුණු රාශියක් ගැන ද තීරණ ගැනීම මැතිවරණයේ දී සිදුවිය යුතු ය.

එසේ ම ජනතාවට මෙම මැතිවරණයේ දී ඡන්දය දී ගෙදර ගොස් අපේ යුතුකම අප ඉටු කළා යැයි සතුටු විමට නො හැකි ය. කවුරු ජයග්‍රහණය කළත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති යැයි වෙන්ඩ උපාධිධාරී සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ නිකමට විය නො හැකි ය. මෙය බටහිරයන් හා මෛත්‍රිපාල අතර ඇති ගිවිසුමෙන් ගලා එන්නකි. මේ බටහිරයන්ගේ ලංකා වසන්තය ය. එහි එකම තේරුම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුනරාගමනය වැළැක්වීම ය. අප ඒ වසන්තය බටහිරයන්ට හේමන්තයක් බවට පත් කළ යුතු ය.

ඒ කළ හැකි එක් ක්‍රමයක් නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංධානයට ඉතා වැඩි ආසන ගණනක් ලබා දීම ය. දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල සහාය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමටත් ව්‍යවස්ථාදායක සභාව මගින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටත් හැකි වන පරිදි ආසන සංඛ්‍යාවක් මහින්ද සංධානයට ලබා දීම දේශප්‍රේමීන්ගේ වගකීම වෙයි. ඒ සඳහා වහාම මැතිවරණ ව්‍යාපාරය දියත් කළ යුතු ය.

නලින් ද සිල්වා


2015 ජූලි 05

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.