විශේෂයෙන්ම ආර්ථිකය හා දේශපාලනය සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය ස්ථාවර නමුත්, එය එකතැන පල්වෙන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාතික වශයෙන් බංකොලොත්භාවය පිළිගත් පසුගිය වසරේ දක්නට ලැබුණු ආකාරයේ ආර්ථික කඩාවැටීමකට සාපේක්ෂව, තවදුරටත් ආර්ථික කඩාවැටීමක් නොපෙනෙන නිසා ආර්ථිකය ස්ථායී යැයි සැළකේ. එහෙත් ආර්ථිකය තවමත් හැකිළෙමින් පවතින අතර, වසරේ මුල් කොටසේදී එහි සියයට 11කට වඩා හැකිළීමක් සිදුව තිබිණි. විරෝධතාවන් හරහා කුපිත වූ ජනතාව පාරට බැස්සවූ භාණ්ඩ හා බලශක්ති හිඟය යළි මතුවී නැත. ලෝකයේ අනෙකුත් කලාපවලද තවත් රාජ්‍යයන්ද බංකොලොත්භාවයට ආසන්න වෙමින්, ආර්ථික කඩාවැටීම් ප්‍රදර්ශනය කර ඇති බැවින් මෙය යම් සහනයක් වී ඇත. මිල වැඩිවීම් හේතුවෙන් හැකිළෙන ඉල්ලුම විසින් ජීවන තත්ත්වයන් අඛන්ඩව අබලන් කළද, උද්ධමන අනුපාතය පහත හෙළීමට සහ භාණ්ඩ හිඟය නැතිකිරීමට රජයට ඇති හැකියාව පිළිගැනීමට ලක්ව තිබේ.

මෙම ආර්ථික ස්ථාවරත්වයත් සමග රට එකතැන පල්වෙමින් පවතින බව දැකගත හැකිය. බෙහෙවින් අගය කෙරෙන මෙම ආර්ථික ස්ථාවරත්වය පවතින්නේ බොහෝ අඩු ජීවන තත්ත්වයක් මධ්‍යයේය. අර්බුදයේ නරකම කාලයෙන් වසරකට පසුව, ආර්ථිකයේ උද්ධමනයේ සමුච්චිත බලපෑමට සාපේක්ෂව, කොතැනකදීවත් ජනගහනයේ පුළුල් පරාසයක් වෙනුවෙන් වැටුප් වැඩි වී නැත. එබැවින් ආර්ථික අර්බුදයෙන් පසු ජනගහනයේ පුළුල් පරාසයක ජිවන තත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතී. උද්ධමනය පහත වැටෙන නමුත් වැටුප් වැඩිකිරීම් නොමැතිව භාණ්ඩ මිල ඉහළ යෑම නතර වී නැත. මෙම තත්වයන් තුළ, අතිමහත් බහුතරයකගේ ජීවන තත්ත්වය අඛණ්ඩව පහත වැටේ. මෑතකාලීන යුනිසෙෆ් අධ්‍යයනයකට අනුව, ශ්‍රී ලංකාවේ 03 ශ්‍රේණියේ ළමුන්ගෙන් සියයට 85ක් සාක්ෂරතාව සහ සංඛ්‍යාව පිළිබඳ අවම ප්‍රවීණතාවයක් ලබානොගනී. යුනිසෙෆ් පෙන්වාදී ඇති ආකාරයට, දකුණු ආසියාවේ අධ්‍යාපන වියදම් අතින් ශ්‍රී ලංකාව පහළම ස්ථානයක පසුවන අතර, එය සියයට 02 ක් පමණක් වේ. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 04-06 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ යුතුය යන අන්තර්ජාතික මිණුම් ලකුණට වඩා එය බෙහෙවින් අඩු ය.

පසුගිය වසරේ රට බංකොලොත් වන විට එය ඉහළ මධ්‍යම ආදායම් තත්ත්වයට පැමිණ තිබිණි. බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය නිසා මිල දෙගුණ තෙගුණ විය. රජය ඇස්තමේන්තු කළ ආකාරයට උද්ධමන අනුපාතය සියයට 70 ඉක්මවා ගොස් තිබිණි. මූලික ආහාර ද්‍රව්‍යවල සහ ඉන්ධනවල මිල දෙගුණ තෙගුණ විය. මූල්‍ය හා බැංකු අංශය වැනි කැපී පෙනෙන ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු විට, සෑම අංශයකම පාහේ වැටුප් බොහෝදුරට එකතැන පල් වූ අතර, සමහර අවස්ථාවල දී පහත වැටිණි. ප්‍රකෘතිමත් වීමට යැයි පවසමින් දේශපාලකයන් විසින් මෙගා සැලසුම් සකසමින් සිටින නමුත් රට තවමත් පල්ලම් බසිමින් සිටින අතර, මූලිකව කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රකෘතිමත් වීමක් පිළිබඳව තවමත් සිතාගැනීමටවත් හැකියාවක් නැත. මෙම දුෂ්කර තත්ත්වයන් තුළ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවට අනුව, විදේශ රැකියා සඳහා පිටත්වීම් පසුගිය වසරේ සියයට 154 ක කම්පන සහගත වර්ධනයක් වාර්තා කර ඇත.

අඳුරු තත්ත්වය

වඩා හොඳ වෙනසක් සඳහා වන බලාපොරොත්තුවක් පවතී යැයි කියූවද, එම ප්‍රකාශයන් රටේ වඩාත්ම දක්ෂ හා වෘත්තීය සේවකයන් විදේශගතවීම වැළැක්වීමට ප්‍රමාණවත් වී නැත. එම ප්‍රවනතාව අඩුවීමේ කිසිදු සලකුණක් නොමැතිව දිගටම පවතී. දක්ෂ පිරිස් නොමැතිකම නිසා රට ආර්ථිකය කඩාවැටීමට පෙර තිබූ තත්ත්වයට යළි ගොඩනැගීම වඩාත් දුෂ්කර එකක් බවට පත්වීමට නියමිතය. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් අහිමිවීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබී ඇත.  විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය සමහර වෛද්‍ය සේවාවන්ට ප්‍රවේශ වීම දුෂ්කර කරනු ලබයි. එසේම තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයන් අහිමිවීම නිසා, සමාගම්වලට අන්තර්ජාතික වෙළඳපොළින් ලබාගන්නා ඇනවුම් භාරගැනීමට නොහැකිව, මෙම ඉහළ ආදායම් අංශයේ ව්‍යාප්තිය සීමාකරයි. ඉංග්‍රීසි, ගණිතය සහ තොරතුරු තාක්ෂණ ගුරුවරු ද ඇතුළත්ව, පසුගිය මාස නවය තුළ පමණක් ගුරුවරුන් 5,000 ක් පමණ රට හැර ගොස් තිබේ.

දේශපාලන කරළියේ ද පවතින්නේ එවැනිම අඳුරු තත්ත්වයකි. ස්ථාවරත්වයක් දැකගත නොහැකි එකතැන පල්වීමක් පෙනෙන්නට ඇත. මීට වසරකට පෙර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ නායකත්වයට පත්වන විට, වීදි විරෝධතා සහ ආර්ථික දුෂ්කරතා මෙන්ම පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති කිරීමට ඇති ආශාවෙන් සිටි වෘත්තීය සමිති සිය වර්ජන කිරීමේ අපේක්ෂාවන් සමඟ අවුල් සහගතව පසුවිය. ආණ්ඩුවේ පාලනය ගිලිහී ගොස් අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති විය. එහෙත් ජනාධිපති වික්‍රමසිංහ බලයට පත්වීමත් සමඟ ආණ්‌ඩු පාලනය කඩිනමින් යළි ස්‌ථාපිත වූ අතර තවදුරටත් අවුල්සහගත හා පරිපාලනයක් නොමැතිවීමේ අවිනිශ්චිතතාව අවසන් විය. ප‍්‍රශ්නය වන්නේ මහජනයා තුළ ඇති වන කලකිරීම් යටපත් කිරීමට ආරක්‍ෂක අංශ යොදාගැනීම දිගු කාලීනව සාර්ථක ක්‍රියාවක් නොවීමයි.

ජාතික ආරක්‍ෂක නීති යොදාගනිමින්, විරෝධතා නායකයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීම සහ පොලිස් බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් හා ජල ප්‍රහාර මගින් මහජන විරෝධතා බිඳදැමීම තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කර ඇත. පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ගොඩනැඟිලිවලට තර්ජන එල්ල වන බව පෙන්වීම සහ උද්ඝෝෂණ ඔස්සේ රට අරාජික තත්ත්වයට පත්වන බව පැවැසීම මගින් මේවා අවශ්‍ය ලෙස සාධාරණීකරණය කර තිබේ. කෙසේ වෙතත්, ඕනෑම මහජන විරෝධයක් මැඩපැවැත්වීම සඳහා ශක්තිමත් ආයුධ සහිත උපක්‍රම රජය අඛණ්ඩව භාවිත කර ඇත. කොළඹ පොදු සුසාන භූමිය ඉදිරිපිට, දෙමළ විරෝධී කෝලාහලයේ 40 වැනි සංවත්සරය සැමරීමට උත්සාහ කරන විට, මැදි වයසේ සමාජ හා සිවිල් ක්‍රියාකාරීන් පවා දැඩි ආයුධ සන්නද්ධ කැරලි මර්දන පොලිසියේ භට පිරිස් විසින් බිමට තල්ලු කර දමන ලදී. කුඩා විරෝධතාවලට අවසර දීම, පසුගිය වසරේ සිදුවූවාක් මෙන් දෙවන වටයකදී දැවැන්ත මහජන විරෝධතා සඳහා මංපෙත් විවර කරනු ඇතැයි ආණ්ඩුව තුළ ඇති බිය මින් ඇඟවුම් කෙරේ.

ජනවාර්ගික හා ආගමික භේදයකින් තොරව සෑම තරාතිරමකම මිනිසුන් ආකර්ෂණය කරගත් පසුගිය වසරේ විරෝධතා ව්‍යාපාරයට ආණ්ඩු වෙනසක් සඳහා වූ ඉල්ලීම තිබිණි. එහෙත් ජනාධිපතිවරයා හැරුණු විට ආණ්ඩුව නියෝජනය කරන සෙසු පිරිස් වෙනස්කමකට ලක්ව නොමැත. දූෂිත ක්‍රියාවන් පිළිබඳ වාර්තා දිගින් දිගටම ජනමාධ්‍ය හරහා වාර්තා වන අතර, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. විනිවිදභාවය නොමැතිකම, වගවීම නොමැතිකම සහ වරදකරුවන් දඬුවමින් නිදහස් කිරීම පසුගිය ජනාධිපතිවරයා යටතේ පැවැති ආකාරයටම අදටත් පවතී. ලංසු කැඳවීමකින් තොරව හදිසි විදුලිය මිලට ගැනීම, පුරවැසි නීති උල්ලංඝණය කිරීම සහ ආණ්ඩුවේ සාමාජිකයන් සම්බන්ධ රන් ජාවාරම් දක්වා උදාහරණ ඒ සඳහා පවතී. රෝගීන්ගේ මරණවලට හේතු වූ ඖෂධ මිලදී ගැනීමේ අපකීර්තිමත සිදුවීම් පෙන්නුම් කරන්නේ, වෙනස්වීම් සිදුවීමේ වේගය ප්‍රමාණවත් නොවන බවයි. මේ දූෂිත ක්‍රියාවලට තිත තබා, අපරාධකරුවන්ට දඬුවම් දුනහොත්, ආණ්ඩුවේ නායකයන්ගේ පොරොන්දු කෙරෙහි ජනතව තුළ වැඩි විශ්වාසයක් ඇති කළ හැකි වේ.

ඉදිරි මාර්ගය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුවක් වෙනස් කළ හැකි මාර්ගය මැතිවරණයකි. ආණ්ඩුව මේ වෙනස් කිරීමේ එන්ජිම ක්‍රියා විරහිත කර ඇත. ආණ්ඩුවකට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ජනතාව තම විරුද්ධත්වය ඒකරාශී කර ඇති අවස්ථාවක, හැකි ඉක්මණින් මැතිවරණයක් පැවැත්විය යුතුය. එහෙත් එය සිදුවූයේ නැත. ඊට පටහැනිව, ආණ්ඩුවට අනුව “අරමුදල් හිඟය” නිසා පළාත් පාලන මැතිවරණය නියමිත කාලය ඉක්ම ගිය පසුවද තවදුරටත් කල් දමා ඇත. ආණ්ඩුවෙන් ඉවත්කර දැමීමට ජනතාව බලාපොරොත්තු වූ අයට, නැවත මධ්‍යස්ථ වේදිකාවට පැමිණීමට මෙමගින් කාලය සහ අවකාශය ලැබී තිබේ. නීතියට පිටින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමත් සමඟ දේශපාලනයේ ස්ථාවරත්වය නිර්මාණය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නොපැවැත්වීමේ පරිසරය මතිනි. රටේ පවතින ස්ථාවරත්වය සහ එකතැන පල්වීම සුළි කුණාටුවට පෙර සන්සුන් තත්ත්වයක් නොවන්නට නම්, රජය විසින් ජනතාවට වෙනසක් ලබාදීම ආරම්භ කළ යුතුය.

පසුගිය දිනවල වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවධාරණය කළේ ජාතික ඒකාබද්ධතාවයේ සහ සංහිඳියාවේ අවශ්‍යතාවයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමටත් ඔහු යෝජනා කර ඇත. එහෙත් එම ප්‍රකාශ තවමත් ක්‍රියාවට නැංවී නැත. ඒවා ක්‍රියාත්මක කිරීමේ සැලසුම් අනාගතයේ වසරක හෝ දෙකක කාලයක් සඳහා සකස් කර ඇති බව පෙනේ. මේ අතර, ඔවුන් විසින්ම මතභේද ඇති කර, මේ සියල්ල මැතිවරණ සඳහා කරන ඇස් බැඳුමක් යැයි කියමින් මිනිසුන් අතර මතභේද උග්‍ර කරනු ලබයි. ජනාධිපතිවරයා පසුගියදා උතුරේ මඩු ප්‍රදේශයේ පිහිටි කතෝලික සිද්ධස්ථානය වෙත ගොස් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට තමාගේ කැමැත්ත ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, කතෝලික පුවත්පතක් වන ඥානාර්ථ ප්‍රදීපය කතුවැකියක් මගින් කියා සිටියේ “මැතිවරණ පොරොන්දුවලින් පිරුණු දේශපාලන කතා ආගමික ස්ථානවලට නොගැලපෙන බව රටේ පළමු පුරවැසියා දැනගත යුතු” බවයි. යථා තත්ත්වයට පත්වීම සඳහා රජය සහ ජනතාව අතර විශ්වාසය අවශ්‍ය වේ.

අනාගතය වෙනුවෙන් පොරොන්දු ලබාදෙනවාට වඩා රජය  කළයුතු අවශ්‍ය වන්නේ වර්තමානය තුළ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමයි. සංහිඳියාව සම්බන්ධයෙන් ගත කල, එය ආරම්භ කිරීමට පළාත්වලටම යා යුතු නැත. මධ්‍යගත රාජ්‍ය යාන්ත්‍රණය මගින් සියලු ජාතීන්ට සහ ආගම්වලට සමාන කැපවීමෙන් සේවය කිරීමට හැකි වන පරිදි, එය ජනවාර්ගිකකරණයෙන් ඉවත් කිරීම සඳහා කේන්ද්‍රයෙන් ආරම්භයක් ලබාගත යුතුය. ප්‍රජා මට්ටමින් පාසල් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආකල්ප පිළිබඳව කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, ඔවුන් අතර අනෙකුත් ප්‍රජාවන් සමග සහජීවනයෙන් ජීවත්වීමට ඉඩ දෙන ආකල්පයන් පවතින බවයි. දේශපාලනයේ නිරතව සිටින අය ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවට, ජාතිකත්වය සහ ආගම් අතර ඇති වෙනස්කම් තම දේශපාලන අරමුණු සඳහා භාවිත කළ බවට ඔවුන්ගේ විශ්වාසය වේ. එසේම මෙම සමීක්ෂණයට සහභාගී වූ අයට දේශපාලන පර්යාය කෙරෙහි විශ්වාසයක් නොමැතිකම ද අනාවරණය වී තිබේ. රාජ්‍ය සේවය ලබගාගන්නා ජනයාට නිල ලේඛනවල පරිවර්තන පහසුවෙන් ලබාගත හැකි බව සහතික කිරීම වැනි කුඩා කටයුතු පවා රජය විසින් භූමියේ ක්‍රියාත්මක කළ යුතු අතර, රජය පවසන දේ ක්‍රියාවට නැංවීමට අවංකව කටයුතු කරන බවට විශ්වාසයක් ගොඩනඟා දිය යුතුය.

 – ජෙහාන් පෙරේරා-

Top