පුවත්

පාස්කු ප්‍රහාරය ‘ඩම් ඩම් බුලට්’ එකක්! වහාම නීතිය ක්‍රියාත්මක කරනු! පාස්කු නඩුවෙන් රනිල් ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව!

සුරේෂ් සලේට හා පිල්ලෙයාන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආරක්ෂක ඇමති රනිල්ට අවධාරණ කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු වහාම සලේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත්කිරිම අතර අන්තර් සම්බන්ධයක් තිබෙන බව ජනතාවට ඉතා පැහැදිලි බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටතදීත් ඉතා පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරමින් ප්‍රහාරය සම්බන්ධ අපේ ස්ථාවරය රටට කියා තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල කළ ආකාරයත් ඉන්පසුව ක්‍රියාකළ ආකාරයත් තුළින් ඉතා පැහැදිලිව සනාථ වී තිබෙන්නේ බලයට තිබෙන කෑදරකම නිසා ඇති කළ සිද්ධියක් බවයි. ඒ වෙනුවෙන් සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාරයක් බව ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් මුදාහළ වීඩියෝවෙන් නැවත තහවුරු වෙනවා.

ප්‍රහාරයෙන් පසුව ඒ දඩයම කරේ තබාගෙන ගියේ රාජපක්ෂ කණ්ඩායම බවත් එයට පෙර වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ දොස්තරලා ආදිය විවිධ ප්‍රචාර ගෙනගියා. ප්‍රහාරය සිදුකර, දවස් කිහිපයකට පසුව ජාතික ආරක්ෂාව තහවුරු කළ හැක්කේ තමන්ට පමණක් බව කියමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

‘චැනල් ෆෝ’ නාලිකාව තුළින් මව්ලානා හෙළිකරන තොරතුරු අනුව නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් සහ දැනට රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන, සුරේෂ් සලේ මේ කණ්ඩායමත් සමග ඍජුව ගනුදෙනු කළ බව පැහැදිලියි. මේ වාර්තාව නිකුත් කරන බව ප්‍රචාරය කළ සැනින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම 05දා පාර්ලිමේන්තුවේදී මව්ලානා පිළිබඳ විවිධ චෝදනා ඉදිරිපත් කළා. නමුත් මේ මව්ලානා ගෝඨාභය රාජපක්ෂ, පිල්ලෙයාන්, එක්ක සිටින ඡායාරූප හමුවී තිබෙනවා. පිල්ලෙයාන් එක්ක තිබූ සම්බන්ධය ඔහුම හෙළිකර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිවැරදි එල්ලයකට ක්‍රියාත්මක නොකළ නිසා, සැබෑ චුදිතයන් තවමත් සැඟවී සිටිනවා. නමුත් මේ තොරතුරුවලින් මහ මොළකරුවා සහ ඔවුන්ගේ උවමනාවන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. මැල්කම් රංජිත් කාදිනල්තුමා අවස්ථා කිහිපයකදීම විවිධ තොරතුරු අනාවරණය කරමින් පරීක්ෂණ කළ යුතු පුද්ගලයන් සහ ඉලක්කය පිළිබඳව ප්‍රකාශ කර තිබුණා. නමුත් අද වනතුරුත් ඒය සිදුකළේ නැහැ. සහරාන් කණ්ඩායමේ තිබුණු අන්තවාදී අදහස් පාවිච්චි කර, ඔවුන් හරහා ප්‍රහාරය දියත් කළ බව වාර්තා වැඩසටහනෙන් ඉතා හොඳින් පැහැදිලි වෙනවා. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට ඍජුවම ඇඟිල්ල දිගුකොට තිබෙනවා. ඔහු එම තනතුරට පත්කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු විගසින්මයි. සුරේෂ් සලේ මේ සම්බන්ධයෙන් චූදිතයෙක් වී සිටි බව මුල සිටම කියැවුණත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වුණු වහාම ඔහුව රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත්කරනවා. මේ සිදුවීම් දෙක අතර, අන්තර් සම්බන්ධයක් තිබෙන බව ජනතාවට ඉතා පැහැදිලියි.

රනිල්ට,රුවන්ට ගැලවිමක් නෑ!

පාස්කු ප්‍රහාරය සිදුකරන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ රටේ අගමැති වගේම ඔහුගේ හොඳම ගෝලයා වන රුවන් විජේවර්ධන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වී සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටෙන් බැහරව සිටියේ. මේ නිසා රනිල් වික්‍රමසිංහ සහ රුවන් විජේවර්ධන දෙදෙනාම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානීන් ලෙස සිටියා. ඔවුන්ට මේ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ජනාධිපති මුක්තිය නිසා අද ඔහු ඒ චෝදනාවලින් ඉවත් වී සිටිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට එදා හිටපු පාලකයන් මුළුමනින්ම වගකිවයුතුයි. එම ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව සහරාන් ඇතුළු අන්තවාදීන්ට එල්ල වෙනවා. මේ නිසා ගරු ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලිව තීන්දුකර තිබෙනවා, හිටපු ජනාධිපති-මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී- නිලන්ත ජයවර්ධන, සහ එවකට සිටි පොලිස්පති ඇතුළු පිරිසකගෙන් වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළා. මේ වගකිවයුත්තන්ට වන්දි ගෙවන ලෙස නියෝග කළත්, ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් මේ දක්වා ගොනුකර නැහැ.

ගෝඨාභයට මුක්තිය නැහැ!

ගෝඨාභය රාජපක්ෂ දැන් ජනාධිපති ධුරයේ නැහැ. ඒ නිසා ඔහුට මුක්තිය නැහැ. ආරක්ෂක ඇමතිවරයාට ඕනෑම වෙලාවක දැන් පුළුවන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තිබුණු චෝදනා සියල්ල නැවත විභාගයට ගැනීමේ ක්‍රියාමාර්ග සලසන්න. රනිල් වික්‍රමසිංහගේ වගකීම ඒ නඩු කටයුතු වහාම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් දීමයි. චෝදනා තිබෙන සුරේෂ් සලේ තාමත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා. ඔහු එම තනතුරේ තබාගෙන පරීක්ෂණ සිදුකිරීමේ කිසිදු ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා රටේ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහට ජාතික ජන බලවේගයේ අපි බලකර කියන්නේ සුරේෂ් සලේව වහාම තනතුරෙන් ඉවත් කරන්න කියලයි. ඒ වගේම ඔහුට සහ පිල්ලෙයාන්ට විරුද්ධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස තබාගෙන පරීක්ෂණ නිවැරදි ඉලක්කයට ගෙනයන්න බැහැ. මුලින්ම රටේ ආරක්ෂක ඇමති සහ සේනාධිපති ඔහු ඉවත් කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ඉටුකළ යුතුවාක් මෙන්ම ඔහුටත් යුතුකමක් තිබෙනවා මේ චෝදනා එල්ලවීම හමුවේ ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වී ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඉඩ සලසාදීමට. ජනතාවට සාධාරණත්වය, යුක්තිය ඉටු නොවීමෙන් රටට අපකීර්තියක් ඇති වෙනවා. තොරතුරු අනාවරණය කළ ‘චැනල් ෆෝ’ නාලිකාව හම ගහලා හරියන්නේ නැහැ. රටට ඇත්ත හතුරුකම තිබෙන්නේ චුදිතයන් ආරක්ෂා කිරීම මගින්. ලෝකය පුරා මේ තොරතුරු ප්‍රචාරය වීමෙන් අපකීර්තිය ඇති වෙන්නේ චූදිතයන් ආරක්ෂා කිරීමෙන්. සැබෑ වගඋත්තරකරුවන් නිදැල්ලේ සිටීමට ඉඩ හැරිම තුළ මෙවැනි වාර්තා වැඩසටහන් තව සිය ගණනක් ඇති වෙන්න පුළුවන්. රටට අපකීර්තියක් ඇති වෙන්නේ ඒ මගින්. වාර්තා වැඩසටහන නිසා රටට අපකීර්තියක් ඇති වෙනවා කියලා මෙය වහන්න දෙන්න බැහැ.

“ඩම් ඩම් බුලට්” සංකල්පය!

අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණයක් වහාම අලුතෙන් පටන්ගත යුතුයි. ජාත්‍යන්තර නීතියේ “ඩම් ඩම් බුලට්” කියලා සංකල්පයක් තිබෙනවා. යම් සිද්ධියක් උඩ යට යමින් දිගටම පැවතීම එයින් අදහස් කරනවා. පාස්කු ප්‍රහාරය සිදුකර අවුරුදු 4 1/2කටත් වැඩි වුණත් ‘ඩම් ඩම් බුලට්’ එකක් වී තිබෙනවා. මෙය තවත් වසර ගණනාවක් දිග්ගසාගෙන නොයා වින්දිතයන්ට යුක්තිය ඉටුකළ යුතුයි. ජීවිත අහිමි වූ සිය ගණනක් දෙනා වෙනුවෙන්, යුක්තිය ඉටුකරන්න නම්, චූදිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාමාර්ග රටේ ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක කළ යුතුයි. මහ මොළකරුවන්ට එරෙහිව නැවත පරීක්ෂණ මුල සිට ආරම්භ කරන ලෙස ජාතික ජන බලවේගයේ අපි අවධාරණය කරනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් වත්මන් ජනාධිපති ඉවත් කර තිබෙන්නේ තාවකාලිකව
ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර

ලංකාවේ භූමිය මත 2019 අප්‍රේල් 21 දින සිදුකළ සිදුවීම්වලින් සිය ගණනක් මරණයට පත්වී රටම භීතියට පත්ව, රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වී හැමෝම පීඩාවට පත්වුණා. අද තිබෙන්නේ විකෘති ආණ්ඩුවක්, විකෘති පාලනයක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි මෙයට පෙර අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබෙනවා. චැනල් ෆෝ නාලිකාවෙන් හෙළිකර තිබෙන්නේ මේ ප්‍රහාරය අවුරුදු කිහිපයක් පුරා සැලසුම්කර දියත් කළ බවයි. ඒ පිළිබඳව අපේ යාන්ත්‍රණවලින් නිසි පරිදි පරීක්ෂණ සිදුකර යුක්තිය ඉෂ්ට කළා නම්, මේ වැනි ප්‍රචාරයන් සිදුවන්නේ නැහැ. අපේ රටේ පාලකයෝ නීතියෙන් පාලනය නොවෙන තත්වයක් තුළ මෙවැනි සිදුවීම් යළි යළි ඇතිවීමේ අනතුර තිබෙනවා. මේ ප්‍රහාරය මැතිවරණයේ ප්‍රතිඵලයට ඍජුවම බලපෑම් කළා. ජනාධිපතිවරණයට වගේම මහා මැතිවරණයටත් විශාල බලපෑමක් සිදුවුණා. ඒ ආකාරයෙන් පත්කර ගත් ජනාධිපති ප්‍රජාතාන්ත්‍රික අරගලයකින් ඉවත් කිරීමට ජනතාවට සිදුවුණා. 2019 අප්‍රේල් වන විට විපක්ෂයේ සිටි කට්ටිය තමන්ගේ බලය ලබාගැනීම වෙනුවෙන් ප්‍රහාරය සැලසුම් කළ බව වීඩියෝවෙන් කියැවෙනවා. එවකට ආණ්ඩුවේ ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස සිටින අතර, කැබිනට් මණ්ඩලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ ඔහුගේ පක්ෂය ප්‍රමුඛව සිටි මන්ත්‍රීවරුන්ගෙන් පිහිටුවා තිබුණා. එදා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූයේ අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක්. අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍ය ධුරය දැරුවේ අද ඔහුගේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකවරයෙක්.

තමන් ආණ්ඩු බලයේ සිටියදී විපක්ෂය මෙවැනි බලය ලබාගැනීමේ මෙහෙයුමක් සිදුකළා නම්, පාලනයේ සිටි අයගේ නොහැකියාව, අකාර්යක්ෂමතාවය සහ අලස බව ඉතා හොඳින් පැහැදිලි වෙනවා. අද විපක්ෂ නායකතුමාත් ඒ කැබිනට් මණ්ඩලයේ සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වූ එක් නඩුවකදී මේ සියලු දෙනා ගැනම තොරතුරු හෙළිවුණා. ඒ චෝදනාව එවකට සිටි අගමැති රනිල් වික්‍රමසිංහත් මුලින්ම සිටිනවා. අද ඔහු ජනාධිපති නිසා තාවකාලිකව ඒ චෝදනාවලින් ඉවත් කර තිබෙනවා. නමුත් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොලිස්පති, බුද්ධි නිලධාරීන් නොසැලකිල්ලට වගකිව යුතු බව තීන්දුවේ ප්‍රකාශ කර, වන්දි නියම කළා. නීතිය අනුව ජනාධිපති ධුරය ඉවත් වූ වහාම ඔවුට විරුද්ධව නැවත අධිකරණමය ක්‍රියාමාර්ග ගත හැකියි.

අද වෙනකොට පාස්කු ප්‍රහාරය දියත් කිරීමේ චෝදනාව එල්ල වී සිටින පිරිසත්, ඒ වළක්වා නොගැනීමේ චෝදනා එල්ල වී තිබෙන පිරිසත් දෙගොල්ලම එකතු වූ විකෘති පාලනයක් ගෙන යනවා. ඔවුන් අතරේ සලාදයක් වගේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්වී සිටිනවා. මේ දෙගොල්ල යටතේ පාස්කු ප්‍රහාරයට විසඳුම් ගන්න හැකිවේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ගීය සම්බන්ධයෙන්, නාට්‍යයක් සම්බන්ධයෙන්, ක්‍රියාත්මක වන සී.අයි.ඩී. එක මේ තරම් කරුණු හෙළිකර තිබියදී ගෝඨාභය රාජපක්ෂගෙන් වගේම එවකට සිටි නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති, ඇතුළු සියලු දෙනාගෙන්ම වහාම ප්‍රකාශ සටහන් කර ගත යුතුයි. අපරාධය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ඒ තොරතුරු ඔස්සේ දියත් කළ යුතුයි. මේ සතිය ඇතුළත ප්‍රකාශ සටහන් කරගෙන යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාමාර්ගය නොගන්නේ නම්, තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ දෙගොල්ලම සැබෑ චූදිතයන් බව මහජනතාව ඉදිරියේ තහවුරු වෙනවා. මෙම වීඩයෝ පටය ගැන පරීක්ෂණ පවත්වන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව එක් ඇමතිවරයෙක් ප්‍රකාශ කළත්, එවැනි සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ සිදු නොකළ බව මාධ්‍ය ප්‍රකාශක කියා තිබෙනවා.

රටේ අපරාධයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පත්කිරීම අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවෙයි. අපරාධ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි කළ යුත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෙළිවුණු කරුණු, ජනාධිපති කොමිෂන්වලදී හෙළිවුණු කරුණු වගේම ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් හෙළිකර තිබෙන කරුණුත් යොදා ගනිමින් රටේ සාමාන්‍ය නීතිය යටතේ පරීක්ෂණ දියත් කළ යුතුයි. එසේ නොකරනවා නම්, දේශපාලන වශයෙන් පත්වී රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙය වූ අය වගේම එම දේශපාලකයන් අතින් තනතුරු ලබාගත් නිලධාරීනුත් මේ රටේ නීතියෙන් පාලන නොවන බව තහවුරු වෙනවා. එවැනි තත්වයක් ඉතාම භයානකයි, අරාජිකයි. එවැනි තත්වයකට එරෙහිව ජාතික ජන බලවේගය සහ එහි නීතිඥයන් හැටියට අපි ක්‍රියාමාර්ග සැලසුම් කරනවා. යුක්තිය ඉටුකර ගන්නා තුරු අපි අපේ හඬ නඟනවා.

යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියාවලියට පදනම් කර ගත හැකි කරුණු රැසක් හෙළිකර තිබෙනවා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික – මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

පාස්කු ප්‍රහාරයත් එක්කම කාදිනල් තුමන් විශාල වගකීමක් ඉටු කළා. ආගම් ලෙස කැරලි කෝලාහල ඇතිවීම වැළැක්වීම වෙනුවෙන් එතුමන් කළ කටයුත්ත ඉතාම සුවිශේෂියි. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන්ට දඬුවම් පැමිණවීමට පොරොන්දු වූ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස බලයට පත්කිරීමටත් උන්වහන්සේ විශාල කාර්යභාරයක් කළා. නමුත් මේ තත්වය කතෝලික සභාව දේශපාලන පක්ෂයට සහයෝගය දුන් බවට යම් යම් අය ප්‍රචාරය කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ප්‍රධාන චූදිතයන් තිදෙනෙක් ගැන කාදිනල්තුමා ප්‍රකාශ කර තිබෙනවා. ස්ලාම් අන්තවාදය, ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ එය වළක්වා නොගත් ආණ්ඩුව සහ දේශපාලන බලය ලබාගැනීමට කුමන්ත්‍රණයක් දියත් කළ අය යන පාර්ශ්ව තුන පිළිබඳව කරුණු දක්වා තිබෙනවා. ‘චැනල් ෆෝ’ නාලිකාවෙන් නැවත හෙළිකර තිබෙන්නේ බලයේ සිටි රාජපක්ෂවරුන් බලය ලබාගැනීම වෙනුවෙන් කළ කටයුත්තක් බවයි. දැන් යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියාවලියට පදනම් කර ගත හැකි කරුණු රැසක් හෙළිකර තිබෙනවා.

දැනට පවතින සාක්ෂි අනුව අපරාධ නඩුවලට නොයන්නේ ඇයි කියන ප්‍රශ්නයක් තිබෙනවා. අපේ අධිකරණ පද්ධතිය විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම මේ ප්‍රශ්නයට මූලික හේතුවයි. නීතිපති දෙපාර්තමේන්තුව වගකියන්නේ කාටද? මෙපමණ සාක්ෂි හෙළිවී තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම තුළ සමහර සාක්ෂි සැඟවීමට සංවිධානාත්මක ක්‍රියාමාර්ග දියත් කෙරෙන බවත්, අපිට වාර්තා වෙනවා. මේ ආණ්ඩුවලින් තවදුරටත් අපිට යුක්තිය බලාපොරොත්තු විය හැකිද? මේ දෙගොල්ලම එක්වී ආණ්ඩුව පවත්වාගෙන යනවා. ඒ නිසා අපිට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමක් කළ යුතු වෙනවා. ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේ සියලුම සාක්ෂි එකතු කර, දේශපාලනඥයන් හෝ රාජ්‍ය නිලධාරීන් වශයෙන් කිසිදු භේදයක් නැතිව වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් දියත් කරන බව අවධාරණය කරනවා.

Top