Breaking
23 Feb 2025, Sun

ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අද (2015 මාර්තු 22) පක්‍ෂ ඉතිහාසයේ විශාලතම පාවාදීම කරමින් රනිල් සිරිසේන ආණ්ඩුවේ ඇමතිකම් (කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය) කිහිපයක් ලබාගත්හ. ඔවුන් එමගින් නැවතත් ඇමති වරප්‍රසාද ලබාගන්නට ඇත. එමෙන් ම තම මන්ත්‍රීධුර ද අඩුම තරමින් අවුරුද්දකින් දික් කරගන්නට ඇත. එහෙත් ඔවුන් මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයෙන් ද දේශපාලනයෙන් ද ඉවත්කිරීමේ බලාපොරොත්තුවෙන් කර ඇති පාවාදීම මගින් පක්‍ෂයට කරන වින්නැහිය මෙතෙකැයි කිව නො හැකි ය. මහින්ද දේශපාලනයෙන් ඉවත්කිරීමට මේ නිවටයන්ට නො හැකි ය.

ඇමතිකමක් පමණක් ඔවුන්ට ලැබෙනු ඇත. ඉතිහාසයේ ඔවුන්ගේ නම් ලියැවෙනු ඇත්තේ මෙරට ඉතිහාසයේ නිවට ම පාවාදුන්නවුන් ලෙස ය. අද පිහිටුවූයේ ඊනියා ජාතික ආණ්ඩුවක් නො වේ. එය ජනවාරි මුල පිහිටු වූ විජාතික ආණ්ඩුවේ ම දිගුවක් පමණකි. ජනවාරි මාසයේ ද ඒ විජාතික ආණ්ඩුවේ රාජිතලා සිටියහ. 

නිවටයන් පසුපස ඇත්තේ එංගලන්තය, ඇමරිකාව, ඉන්දියාව හා ඒ රටවල ඔත්තු සේවා ය. එහි යම් කටයුත්තක් රාජිත විසින් කෙරී ඇති බව පැහැදිලි ය. එයට චම්පික හා රතන හිමි හවුල් වී ඇත්තේ කෙසේ ද යන්න ඇතැම් විට පසුව පැහැදිලි වනු ඇත. අද මෙරට පාලනය කෙරෙන්නේ විදේශීය ඔත්තු සේවා හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් විසිනි. පසුගිය දා එංගලන්තයට ගිය මෛත්‍රිපාලට එලිසබෙත් වින්ඩ්සර් දේශපාලන වශයෙන් උපදෙස් නො දෙන්නට ඇත. එහෙත් මෝටර් රථය අසළට ම පැමිණ මෛත්‍රිපාලට අතට අත දුන් කැමරන් මේ විජාතික ආණ්ඩුව ගැන යමක් කියන්නට ඇත. එහෙත් එයටත් වඩා මෝදි මෛත්‍රිපාලට, රනිල්ට හා නිවටයන්ට කළ යුත්තේ කුමක් දැයි කියා දෙන්නට ඇත. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ රජිව්ට පසු ලංකාවට පැමිණි පළමු ඉන්දීය අගමැතිවරයා මෝදී බව අප මතක් කර දුන්නේ ඇතැම් පඬියන් මෙන් ඔහු ආපසු ඉන්දියාවට යෑමෙන් පසුව නො වේ.    

අද දිවුරුම් දුන් කිහිප දෙනකු තව ටික කලකින් තනතුරු අත්හැරියොත් අපි පුදුම නො වෙමු. දේශපාලනයෙහි ස්වභාවය එබඳු ය. එහෙත් මේ දිවුරුම් දීමට නිමල් සිරිපාල, සුසිල් පේ්‍රමජයන්ත හා අනුර ප්‍රියදර්ශන සහභාගි නො වූයේ ඇයි? නිමල් සිරිපාලට නම් සියළු වරප්‍රසාද සහිත ව විපක්‍ෂ නායකකම ඇත. එහෙත් අනෙක් දෙදෙනා ගැන කිව හැක්කේ කුමක් ද? ඔවුන් ඇමති තනතුරු භාර නොගත්තේ ඇයි? ඔවුන්ගේ පක්‍ෂයට ඇති ලැදිකම හේතුකොටගෙන ද? එසේත් නැත්නම් ඔවුන් පක්‍ෂයේ තනතුරු දරන බැවින් ද? පක්‍ෂයේ සභාපති ජනාධිපති නම් හා උපසභාපතිවරු කිහිප දෙනකු ම ඇමතිවරු නම්  මේ දෙදෙනා පමණක් ඇමති තනතුරු භාර නොගත්තේ කවුරුන් රැවටීමට ද? මේ උප්පරවැට්ටිවලින් රැවටෙන්නන් නැත.

අද පාවාදිමෙන් සිදුවන ප්‍රධාන ම කාර්යය මහින්දට විරුද්ධව සූදානම් වීම සඳහා මෛත්‍රිපාලට, රාජිතට, චම්පිකට, රතන හිමිට හා වෙනත් අයට අඩුම තරමෙන් තව අවුරුද්දක් කල් ලැබීම ය. ඇතැම් එ ජා ප මන්ත්‍රීන් අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට  බලකරනු ඇත. දේශපාලනයෙහි කවටයන් බවට පත් ව සිටින ජ වි පෙ නායකයන් එදින පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම පිළිබඳ බොරු විරෝධයක් පානු ඇත. රනිල්ට අවශ්‍ය වූයේ අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයෙන් පසුව ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට ය. එහි ද මූලික අරමුණ වූයේ මහින්ද දේශපාලනයෙන් ඉවත කිරීම ය. එහෙත් රනිල් ද දැන් මේ පාර්ලිමේන්තු කාලයෙහි ම මහින්ද ඉවත් කිරීමට සැරසෙයි. ඒ සඳහා ටික කාලයක් ගත කිරීමට වුව ද ඔහු සූදනම් ය. එබැවින් ඇතැම් එ ජා ප මන්ත්‍රීන් කෙතරම් කීවත් අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා නො හරිනු ඇත. මීළඟ පාර්ලිමේන්තුවක බහුතරයක් රනිල්ට හා මෛත්‍රිපාලට නොලැබෙන බව පැහැදිලි ය. 

අද ශ්‍රී ල නි පක්‍ෂයේ ජනාධිපති ද ඇමතිවරු ද වෙති. එමෙන් ම විරුද්ධ පක්‍ෂයෙහි නායකයා ද වෙයි. මේ විහිළුව වහාම නැවැත්විය යුතු ය. මේ ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයට ආණ්ඩුවේ මෙන් ම විරුද්ධ පක්‍ෂයේ ද සිටිය නො හැකි ය. නිමල් සිරිපාල සංධානයේ ආණ්ඩුවට විරුද්ධ පක්‍ෂයක අයකුට විපක්‍ෂ නායකකම ගැනීමට ඉඩ දී  බොරු නොකර ඇමතිකමක් භාරගත යුතු ය. 

ප්‍රශ්නය මේ නිවටයන් ඇමතිකම් ගැනීම නො වේ. ආණ්ඩුවට දැන් තුනෙන් දෙකක බහුතරයක් තිබේ ද යන්න ය. මගේ උපකල්පන නිවැරදි නම් ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතරයක් නැත. අප එසේ නොලැබෙන බවට වග බලාගත යුතු ය. ව්‍යවස්ථා සංශෝධන කිරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. එසේ තිබුණහෙත් ඔවුන් මැතිවරණ සිතියම ද අකුළනු ඇත. එවිට මාදළුවවේ සෝභිත හිමියනට සාධාරණ සමාජයක් ද අතුරලියේ රතන හිමියන්ට පිවිතුරු හෙටක් ද ලැබෙනු ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් කුමක් කළ ද එහි කොන්දක් ඇති මන්ත්‍රීවරුන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරයක් නොදීමට කටයුතු කළ යුතුය. මහින්ද රාජපක්‍ෂගේ දේශපාලනය සවිමත් කර හැක්කේ එමගිනි. මහින්ද රැකගත හැක්කේ එලෙස ය. එමෙන් ම දෙමළ ජාතිවාදයට කප්පන් ගෙවීම නතර කළ හැක්කේ ද එමගිනි. දැනටමත් ආණ්ඩුව දෙමල ජාතිවාදයට කොපමණ කප්පන් දී තිබේ ද? අද මහින්දත් රටත් රැකගත හැක්කේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරයක් අහිමි කිරීමෙනි. මහින්ද රැකගත යුත්තේ ද රට රැක ගැනීම සඳහා ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 22

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.