Anonymous Reporter

සමන් දේවාලයේ ලක්ෂ 50 අබිලි පිත්තල කුණු කොල්ලයට විකුණා මාටියා ගහන විදුලිබල මණ්ඩලයේ ලොක්කෙක්

ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පාලනය කෙරෙණ මස්කෙළිය, මාවුස්සාකැලේ, සමන් දේවාලයේ ඇති ලක්ෂ 50 කට වැඩි වටිණාකමකින් යුක්ත පිත්තල පහන්,  අලි ඇතුන් ඇතුළු පිත්තල භාණ්ඩ තොගයක් අබිලි  විදුලිබල මණ්ඩලයේ සුභ සාධක සංගමයේ ඉහළ නිලධාරියෙකුගේ අවශ්‍යතාවය මත  වාණිජ මණ්ඩලය හරහා රහසිගතව ඉතා අඩු මුදලකට අලෙවි කිරීමේ සැළස්මක් පවතින බව විදුලිබල මණ්ඩලයේ විශ්වාස කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී පාද වන්දනා කරුවන් හා සමන් දේවාලයේ භාර හාර ඔප්පු කිරීම සදහා වසර ගණනක් තිස්සේ පැමිණෙන බැතිමතුන් විසින් දේවාලයට පූජා කරන ලද විශාල පිත්තල පහන්, පිත්තල අලි ඇතුන්  ඇතුළු මෙම භාණ්ඩ තොගයේ බර කිලෝ 2000 කට ආසන්න ප්‍රමාණයක් පමණ වන බව පැවසේ. මේ වන විට එම භාණ්ඩ තොගය අබිලි භාණ්ඩ ගණයට දමා විකිණිම සදහා සුදානම් කර ඇති බවත්, එම භාණ්ඩ තොගය පිළිබදව විදුලිබල මණ්ඩලයේ විගණන අංශයේ පරීක්ෂාවටද ලක්ව ඇති බවත් මණ්ඩලයේ ආරංචි මාර්ග පවසයි.

රුපියල් 1800/= ක් පමණ වෙළදපල වටිණාකම ඇති මෙම පිත්තල කිලෝ එකක් රුපියල් 300/= වැනි ඉතා අඩු මිළකට විකුණා  මණ්ඩලයට ලැබීමට ඇති රුපියල් ලක්ෂ ගණනක මුදලක් අහිමි කර රහසිගතව ලාභයක් ලබා ගැනීමේ අරමුණින් විදුලිබල මණ්ඩලයේ සුභ සාධක අංශයේ  මෙකී උසස් නිලධාරියා මේ වන විට ලහි ලහියේ පිඹුරුපත් සකසමින් සිටින බව මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග  පවසයි.

ලං.වි.ම.  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙක් ඇතුළු පිරිසකගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක්ද මෙම සමන් දේවාලයේ කටයුතු අධීක්ෂණය කිරීම සදහා පත්කර ඇති අතර පිත්තල භාණ්ඩ තොගය විකීණීම සදහා එම මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රීපාද වන්දනාකරුන් හා විවිධ ප්‍රදේශවල සිට මාවුස්සාකැලේසමන් දේවාලයට පැමිණෙන බැතිමතුන් විසින් පූජාකරන ලද මෙකී පහන් ඇතුළු අනෙකුත් භාණ්ඩ සුභ සාධන අංශයේ  එක් නිලධාරියෙකුගේ කූඨ සැළැස්මකට අළෙවි කිරීමට සූදානම් වීම පිළිබදව විදුලිබල අමාත්‍යවරයාගේ හා ලං.වි.ම. වගකිවයුත්තන්ගේ කඩිනම් අවධානයට ලක්වීයයුතු බව මණ්ඩලයේ අවශේෂ සේවකයන් අවධාරණය කර සිටිති.

සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

Top