Breaking
24 Feb 2025, Mon

සම්බන්ධන් ඉන්දියාව හා මහින්ද

සම්බන්ධන් හා යුද්ධාපරාධ ගැන අප මේ ලිපිවල මාර්තු මාසයේ තිස්එක්වැනි දා සඳහන් කළා. දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු කිහිප වරක් ම සඳහන් කර තිබුණා. රංජිත් සොයිසා මෙල්බන් නුවර සිට ඒ පිළිබඳ දි අයිලන්ඩ් පුවත්පතට ලියා තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන නිහඬයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ප්‍රකාශය එතරම් ගණන් ගන්නේ නැත් ද? මේ පොඩි දේකට සම්බන්ධන් පසු පස යන්නේ ඇයි ද කියා ඔවුන් හිතනවා ද?

සම්බන්ධන් යුද්ධයෙන් දෙමළ ජනයා එක්ලක්‍ෂ පනස්දාහක් මිය ගිය බව ප්‍රකාශය කෙළේ ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක දී. ඔහු ලංකාවේ විරුද්ධ පක්‍ෂ නායකයා බව අමතක නොකළ යුතුයි. සම්බන්ධන් විරුද්ධ පක්‍ෂයේ නායකයා වුවත් ඔහුට වැදගත් වන්නේ උතුරු හා නැගෙනහිර ඊනියා දෙමළ කතාකරන ජනතාවගේ ප්‍රශ්න පමණයි. ඔහු මීතොටමුල්ල ඛෙදවාචකය පිළිබඳ යමක් ප්‍රකාශ කළ බවක් මතක නැහැ. එක් අතකට බොරු ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ. ඊනියා දියුණුවත් සමග ඇති වන ප්‍රශ්න විසඳා ගන්න අපට බැහැ. අනුකාරකයන් පමණක් වූ මෙරට ශාස්ත්‍රවන්තයන්ට අලුතෙන් යමක් ඉදිරිපත් කරන්න බැහැ. පඬියන් සිද්ධියෙන් පස්සෙ මොනව කිව්වත් වැඩක් නැහැ. ඔවුන්ට පුරෝකථනය, සැලසුම් කිරීම ආදිය නුහුරුයි.

පිටරට සම්මන්ත්‍රණවල දී සම්බන්ධන්ගේ මෙරට භූමිකාව කියා දෙන්න කවුරුන්වත් නැහැ. පිටරටවල දී ඔහු පෙනෙන්නේ මෙරට විපක්‍ෂ නායකයා ලෙස. ඔහු එවැනි සම්මන්ත්‍රණයක දී කරන ප්‍රකාශයක් ඒකාබද්ධ විපක්‍ෂය සුළු කොට තැකුවත් පිටරට අය වැදගත් ලෙස සලකනවා. සම්බන්ධන්ලා ක්‍රියා කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ ලා ප්‍රධාන ම කාර්යය කෙරුණේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන්.

පසුගිය දා මහින්ද රාජපක්‍ෂ ඉන්දීය ජනමාධ්‍යයකට කියා තිබුණා ඉන්දියාව කොටි පැරදවීමට සහාය දුන් බව. එමෙන් ම ඔහු කියා තිබුණා කොටි පැරදවීමට බටහිර රටවල් ද ආධාර කළ බව. මහින්ද ආධාර යනුවෙන් කුමක් අදහස් කරන්නේ ද? අපේ නම් වැටහීම ප්‍රභාකරන් ගලවා ගැනීමට, මෙහෙයුම් නතර කරවීමට ප්‍රංශ හා එංගලන්ත විදේශ ඇමතිවරු මෙරටට පැමිණ මහින්දට බලපෑම් කළ බව. ඔවුන්ට කොටි පැරදවීමේ අවශ්‍යතාවක් තිබිණි නම් ප්‍රභාකරන් ගලවා ගැනීමට එතරම් උත්සාහයක් දරන්නේ නැහැ. සයනයිඩ් නොගිල්ල ප්‍රභාකරන් මොන අන්දමකට හරි නිවටයකු ලෙස තම ජීවිතය ගලවා ගත්තේ නම් ඔහු නැවතත් පිටරටක සිට හරි දෙමළ තරුණ තරුණියන් රජයට විරුද්ධ ව මෙහෙයවනවා.

ඉන්දියාවට ප්‍රභාකරන් මරා දැමීමට අවශ්‍යතාවක් තිබූ බව පැහැදිලියි. ඒ රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ පලිය ගැනීමට මිසක් අපට උපකාරයක් ලෙස නො වෙයි. එහෙත් ඉන්දියාවටත් කොටි සංවිධානය පරාජය කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වූයේ තමන්ට පාලනය කළ හැකි කොටි සංවිධානයක්. මහින්ද කියන විධියට ඉන්දියාව කොටි පැරදවීමට ආධාර කෙළේ කෙසේ ද යන්න පැහැදිලි නැහැ. ඉන්දියාව එහි දී බටහිරයන්ට සහාය නොදී සිටියේ ද? එවැනි සහායක් කොටි පැරදවීමට කළ ආධාරයක් ලෙස සැලකිය හැකි ද? ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් ඝාතනය කිරීම පමණක් බවත් ඔවුන් දෙමළ ජාතිවාදයට දිගින් දිගට ම ආධාර කරන බවත් ඉතා පැහැදිළියි.

සම්බන්ධන්ගේ දෙමළ ජාතික සංධානය ඉන්දියාවේ අවශ්‍යතා ඉටු කරන පක්‍ෂයක්. ඔවුන් යම් දේශපාලන තීරණයක් ගැනීමට පෙර ඉන්දියාවේ අදහස් විමසනවා. එදා දෙමළ ජාතික සංධානය ක්‍රියා කෙළේ කොටි සංවිධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස. අප මතක තබා ගත යුත්තේ ඉන්දියාව විරුද්ධ වූයේ ප්‍රභාකරන්ට පමණක් බව. දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඉන්දියාව සහ බටහිර රටවල්, විශේෂයෙන් ම එංගලන්තය විසින්. එංගලන්තය හා බටහිර රටවල් එහි දී විසිරුණු දෙමළ ජනයා යොදා ගන්නවා.

අද සම්බන්ධන්ගේ දෙමළ ජාතික සංධානය ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන අතර උතුරු පළාතේ මහ ඇමති විග්නේස්වරන් එංගලන්තය හා විසිරුණු දෙමළ ජනයා විසින් මෙහෙයවෙනවා. ඉන්දියාවට හා බටහිරට යට වී අපට දෙමළ ජාතිවාදය නැති කරන්න බැහැ. බටහිරයන්ට නොබියව මුහූණ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ ඉන්දියාව හා බටහිරයන් සතුටු කරන අන්දමේ ප්‍රකාශ ඉන්දීය ජනමාධ්‍යයට ලබා දෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්

අද බටහිරයන් හා ඉන්දියාව පහර දෙන්නේ මහින්දට හා ගෝඨාභයට. සියලු මානව අයිතිවාසිකම් කතාවල පසු පස ඇත්තේ රාජපක්‍ෂලාට දඬුවම් කිරීම. සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම. අද ඕනෑම අයකුට ඉන්දියාවේ හා බටහිර රටවල ආධාරයෙන් හමුදා මෙහෙයුම්වල දී (එය කිසියම් වූ ආකාරයක යුද්ධයක් නොවූ බව අවධාරණය කළ යුතුයි. අප සංකල්ප ගැන නොදක්වන සැලකිල්ල අපට ම විරුද්ධව යොදා ගැනෙනවා) කිසිම සාක්‍ෂියක් නැතිව මෙතරම් සංඛ්‍යාවක් මිය ගියා කියන්න පුළුවන්. අද ඒ සඳහා වැඩිම සංඛ්‍යාව ඉදිරිපත් කර ඇත්තේ සම්බන්ධන්. හෙට සුමන්තිරන්, විග්නේස්වරන්, ශිවාජිලිංගම් වෙන්න පුළුවන්.

සම්බන්ධන්, සුමන්තිරන් ඇතුළු පිරිස තමයි අපරාධකාරයන්. ඔවුන් කොටින්ට මිනී මරන්න අනුබල දුන්න. කොටි මිනිස් වළල්ලක් යොදා ගන්න කොට ඔවුන් විරුද්ධ වුණේ නැහැ. අරන්තලාවේ හා වෙනත් තැන්වල ඝාතන ගැන ඔවුනුත් වග කිව යුතුයි. ඒවාට ඉන්දියාව හා බටහිර රටවලුත් වග කිව යුතුයි. මහින්ද කළ යුත්තේ ඉන්දියාව හා බටහිර රටවල් නිදොස් කරන එක නොව සම්බන්ධන්ලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරවීම.
නලින් ද සිල්වා

2017 අප්‍රේල් 19

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.