LNN SPY

ජනපති එකක් කියා තව එකක් කරනවා… දෙමළ ජනතාවට කිව්වේ අමු කෙප්ප… යුද,නාවික,ගුවන් හමුදා,පොලිසියත් උතුරු නැගෙනහිර ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන

Published on: Apr 6, 2019- ශ්‍රී ලංකා රජයේ බලසේනා විසින් යුද්ධයෙන් අල්ලාගන්නා ලද උතුරු නැගෙනහිර ඉඩම් වලින් සියයට අනූවක් ආපසු දෙනලද බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කරන ප්‍රකාශ කිසිදු සත්‍යයක් නැති බවට එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ දැඩි ප්‍රහාරයට ලක්විය.

වාඩිලාගත් ඉඩම් සියල්ල මුදා හරින බවට ජනාධිපතිවරයා 2015 දී ලිඛිතව පොරොන්දු වූ බව පාර්ලිමේන්තුව හමුවේ හෙළි කර සිටි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ එකක් කියා තව එකක් කරමින් ඉන්නා ජනාධිපතිවරයා කෙරේ දෙමළ ජනතාව තැබූ විශ්වාසය අද වනවිට ගිලිහී ගොස් ඇති බවයි.

ඒ අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.

උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ වාඩිලා සිටි රජයේ ඉඩම්වලින් 81‍ % ක් ද පෞද්ගලික හිමිකාරත්වය සහිත ඉඩම්වලින් 90‍්‍%ක් ද මේ වනවිට නිදහස් කර අවසන්ව ඇතැයි, උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය හයවැනි වතාවට රැස්වූ අප්‍රේල් 3 දා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබුනි.

එහි කිසි සත්‍යයක් නැති බව එයින් දිනකට පසු ප්‍රකාශ කළ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක, පාරිසරික සහ මහවැලි අමාත්‍යාංශ වැය ශීර්ෂය පිලිබඳ විවාදයට සහභාගි වෙමින් කියා සිටියේ යුද, නාවික හා ගුවන් හමුදා මෙන්ම පොලිසියත් උතුරු නැගෙනහිර ජනතාව සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉන්නා බවයි.

“පුද්ගලික අයිතිකරුවන්ට 90% ක් ඉඩම් ආපසු පවරා දී ඇති බව ඔවුන් කීවත් එහි කිසි ඇත්තක් නෑ,” යි දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“අපි මේ විස්තර ඉල්ලා තිබුනත් අපිට තවමත් ඒ විස්තර ලැබී නෑ. ඒ වාගේම ඉඩම් වර්ගීකරණය ගැන සෑහීමකට පත් වෙන්න බෑ. ජනතාව විවිධාකාරයේ ඉඩම් වල ජීවත් වුනා. ඒවා තාක්ෂණිකව රජයේ ඉඩම් වෙන්න පුළුවන්. ඒත් ඒවායේ ජීවත් වුනේ පර්මිට් වලට. ඒ බලපත්‍ර අලුත්වැඩියා කරන්න ලැබිලා නෑ. එහෙම නැතිනම් ඒ ඉඩම් වල ජීවත් උනේ වෙන පදනමකින්.”

එම ඉඩම් පුද්ගලයන් සතු බවට බලධාරීන් විසින් වර්ගීකරණය කර නැති හෙයින් මුල් පදිංචි කරුවන්ට ආපසු යා නොහැකි තත්වයක් උදා වී ඇති බව එම් ඒ සුමන්දිරන් වැඩිදුරටත් කියා සිටියේය.

වාඩිලාගෙන සිටින ඉඩම් ආපසු බාර දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙවර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී නොසතුට පලකළ මිචෙල් බැෂලේ මහකොමසාරිස් වරිය එහි පාරදෘශ්‍ය භාවය සහතික කරනු සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ආණ්ඩුවට නිර්දේශ කර තිබුනි.

එම නිර්දේශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ලදී.

“අපි ස්වාධීන කොමිෂන් සභා කිසිවක් පත් කරන්නේ නැහැ. කොහෙන්වත් කියන ඒවාට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඉඩක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිට කිසිම දෙයක් කරන්න අපි ලෑස්ති නැහැ,” යි ජනාධිපතිවරයා කියා තිබුනි.

ලොකුම වැරදිකාරයා

ආරක්ෂක අංශ වලට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි අධිකාරිය ඇතුළු රජයේ වෙනත් ආයතනද අදත් උතුරු නැගෙනහිර ජනතා ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා හෙළි කර සිටියේය. ඒ අතරින් “ලොකුම වැරදිකාරයා” ලෙස ඔහු විසින් හඳුන්වන ලද්දේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවයි.

“ජනතාව පරම්පරා ගණනාවක් ජීවත් වෙලා ඉඳලා, යුද්ධය නිසා උන්හිටිතැන් අහිමිවෙච්ච ඔවුන්ගේ ඉඩම්, දැන් කැලෑ ඉඩම් හැටියට ප්‍රකාශයට පත් කරගෙන යනවා. මේ සමහර ඉඩම් වල අයිතිය ලබාගන්න මහවැලි අධිකාරිය වීරිය දරනවා. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හිටි අඩියේ පුරාවස්තු හම්බවෙනවා. ඊට පස්සේ ඒවා පුරා විද්‍යා ස්මාරක හැටියට ප්‍රකාශයට පත් කරනවා. මේ අපේ ජනතාවගේ ඉඩම් කොල්ල කන තවත් විදියක්. මේකේ ලොකුම වැරදි කාරයා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව. මොකද, අවුරුදු විස්සක තිහක යුද කාලය තුල ද්විතීයික වන වගාවක් ඇතිවුනා. ගුගල් සිතියම් මාර්ගයෙන් මේවා අපේ ඉඩම් කියලා හොයාගන්න පුළුවන්.”

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සන්තකයට ගන්නට වෙර දරන භුමියේ පාසල්, කෝවිල් සහ දේවස්ථාන පවා ඇතැයි ඔප්පු කර පෙන්වා ඇතත් බලධාරීන් විසින් ඒ ගැන කිසිදු සාධනීය පියවරක් නොගැනීම හේතුවෙන් මුල් පදිංචි කරුවන් සිය ගම් බිම් බලා ආපසු යා නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

“හොර රහසේ” වැඩ

දෙමළ ජනතාවගේ පාරම්පරික වාසභූමි වල වෙනත් පළාත් වලින් මිනිස්සු ගෙනැවිත් පදිංචි කරවීමත්, යුද්ධයෙන් උන්හිටිතැන් අහිමි වුවන්ට මුල් ගම් බලා යාමට නොහැකි වීමට තවත් එක හේතුවක් ලෙස ඔහු විසින් සඳහන් කරන ලදී. ඊට උදාහරණයක් ලෙසින් වව්නියාව දිස්ත්‍රික්කයේ ගම්මානයක විස්තර ගෙනහැර දැක්වූ ඔහු මේතාක් පැවති ආණ්ඩු සේම, වර්තමාන පාලකයන්ද දෙමළ පළාත් වල ජන අනුපාතය වෙනස් කරන්නට “හොර රහසේ” කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය.

“කච්චල්සමනන්කුලම් කියා වවුනියා දිස්ත්‍රික්කයේ ගම්මානයක් තියෙනවා. මන් ගාව ඡායාරූප සාක්ෂිත් තියෙනවා, වවුනියාවේ නිලධාරීන් මුකුත් දන්නේ නැතිව අනුරාධපුරේ නිලධාරීන් ගිහිල්ලා, වැවක් අලුත්වැඩියා කරලා, පිට පළාත් වලින් මිනිස්සු ගිහිල්ලා පදිංචි කරවනවා. පැවතුනු හැම ආණ්ඩුවක්ම පළාතේ ජන අනුපාතය වෙනස් කරමින් ඉන්නවාය කියන එක දශක ගණනාවක් තිස්සේ ලැබුනු පැමිණිල්ලක්. මේක අදත් හොර රහසේ සිද්ධ වෙනවා. ඒක එළිපිට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක උදාහරණ ගණනාවකින් එකක්.”

රටේ සංහිඳියාව සම්බන්ධයෙන් බරපතල ලෙස සලකන්නේ නම් ආකල්ප වෙනස් කරගන්නා ලෙස එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සභාගර්භයේ සිටි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ස්වකීය අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ “ඉතා සමීපව, ඉතාමත් හිතවත්ව, ඉතාමත් හිතෛෂීව” කටයුතු කරන බවයි.

Top