ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ව්‍යසනය හුදෙක් කළමනාකරණ අර්බූදයක් නොව, දශක හතක් තිස්සේ අපව සිරකර තබාගෙන සිටින “පැරණි යථාර්ථයේ” (Old Reality) නිදන්ගත රෝග ලක්ෂණ සහ ජනප්‍රියවාදී දේශපාලනය විසින් එකී නිදන්ගත රෝග ලක්ෂණ උග්‍ර කරන ලද ව්‍යූහාත්මක බිඳවැටීමක ප්‍රතිඵලයක් බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කර සිටී.
ඒ අනුව අප කියා සිටින්නේ රට මුහුණ දෙමින් සිටින අර්බූදය මෙරට ක්‍රියාත්මක දේශපාලන සමාජයේ නිර්මිතයක් මිස, රට තුළ පවතින ආර්ථික විභවයේ අඩු ලුහුඬුවක් නොවන බවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන නිමාවීමෙන් පසු, රට නැවතත් ස්වෛරී ණය පැහැර හැරීමේ (sovereign default) විෂම චක්‍රයකට වැටීම වැළැක්විය හැක්කේ, අප පැරණි ආර්ථික හා දේශපාලන යථාර්ථය සහමුලින්ම ප්‍රතික්ෂේප කර, ඵලදායිතාවය සහ ආයතනික විනය මත පදනම් වූ “නව තාර්කිකත්වයක්” (New Rational) වෙත මාරු වුවහොත් පමණකි යන්න දිනන දකුණ සාමුහිකයේ අවධාරනයයි.
ඒ අනුව ලංකාවේ දේශපාලන සමාජය ඉදිරියේ පිළිතුරු සපයාගත යුතු මූලිකම අභියෝගයක් තිබේ. එය දේශපාලන බලය පිලිබද අභියෝගයට එපිටින් පවතින දේශපාලන – සමාජ විද්‍යාත්මක ගැටලුවකි. එනම් ඡන්දදායකයින්ට ඵලදායිතාවය සහ මූල්‍ය පාලනයේ කටුක ඇත්ත ප්‍රකාශ කරමින් තරඟකාරී ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියකට පැවැත්මක් නව පැවැත්මක් සඳහා උරදෙනවාද ? එසේ නැතහොත් එය නැවතත් රට බිඳවැටීමට හේතු වූ ජනප්‍රියවාදී, පරිභෝජනය මත පදනම් වූ පැරණි පොරොන්දු දේශපාලනයටම අවතීර්ණ වෙනවාද ? යන්නයි.
1. පැරණි යථාර්ථය (The Old Reality):
1950 දශකයේ සිට පැවත එන නිදන්ගත රෝග ලක්ෂණ සහ එයට පදනම සපයන දේශපාලන ව්‍යාධියේ පදනම( political pathology)
අප රටක් ලෙස මුහුනදෙන පැරණි යථාර්ථය වන්නේ නිදහසින් පසු ශ්‍රී ලාංකේය රාජ්‍යය ව්‍යූහාත්මකව ප්‍රතිසංස්කරණය කිරීමට අසමත් වීමයි. එම අසමත්වීමට හේතුව වන්නේ අප රටක් ලෙස අනුගමනය කරන ලද ජනප්‍රියවාදී මැතිවරණ දේශපාලනය විසින් දිගින් දිගටම පෝෂණය කරන ලද අසාර්ථක ආර්ථික ආකෘතියයි.
ආර්ථික ව්‍යුහයේ නිදන්ගත දුර්වලතා:
අප අද අත්විදින්නේ විවිධාංගීකරණය නොවූ ද්විත්ව අපනයන ව්‍යුහයක් විසින් රටේ ආර්ථිකයට ඇති කොට තිබෙන බලපෑමයි. තේ, රබර්, පොල් මත යැපුණු වතු ආර්ථිකයේ සිට 1970 දශකයේ අගභාගයේදී අඩු තාක්ෂණික ඇඟලුම් කර්මාන්තය සහ විදේශ ප්‍රේෂණ මත යැපෙන, වටිනාකමින් අඩු සහ විවිධාංගීකරණය නොවූ අපනයන ව්‍යුහයක අප සිරවී සිටී.
වෙළඳ කොන්දේසිවල දිගුකාලීන පිරිහීම සහ අපනයන නොවන (Non:-Tradable) අංශයන්ට ගැටගැසුනු සංවර්ධන මාදිලිය අපගේ දෙවන නිදන්ගත ලක්ෂණයයි. බාහිර වෙළඳපොළ ඉලක්ක කරගත් අපනයන ක්ෂේත්‍රයන් පසෙක ලා, දේශීය ආරක්ෂණවාදය වෙනුවෙන් ඉදිකරන බදු පවුරු හරහා නිශ්චල දේපළ, ඉදිකිරීම් සහ දේශීය සේවා වැනි අපනයන නොවන අංශයන් නිරන්තරයෙන් ආරක්ෂා කිරීම අපගේ සංවර්ධනය ලෙස හඳුනාගෙන තිබුනේය.
තුන්වන නිදන්ගත රෝග ලක්ෂණය වන්නේ, අප විසින් දිගින් දිගටම පවත්වාගෙන එනු ලබන ද්විත්ව “නිවුන් හිඟයයි”. (Twin Deficits). රජයේ ආදායමට වඩා වියදම ඉහළ යාම (රාජ්‍ය මූල්‍ය හිඟය) සහ ජාතික පරිභෝජනය අපනයන ආදායම ඉක්මවා යාම (ජංගම ගිණුමේ හිඟය) යන නිවුන් හිඟය තුළ ආර්ථිකය ස්ථිරවම ගිල්වා තැබීමට දිගින් දිගටම අප කටයුතු කොට තිබේ.
ඉහත තුන්වැදෑරුම් නිදන්ගත රෝග ලක්ෂණ පහළ වී ඇත්තේ අප විසින් සිය කැමැත්තෙන්ම පවත්වාගෙන යන ජනකාන්ත දේශපාලනය වන අතර, එය අපගේ සිව්වන නිදන්ගත රෝග ලක්ෂනය වන්නේය. නිදහසින් පසුව බිහිවු ආණ්ඩු සඳහා ගෙන එන රට සංවර්ධනය නොකිරීමේ චොදනාවක් වේ නම්, එම චෝදනාව පිටුපස පවතින හරය වන්නේ ජනප්‍රිය දේශපාලනය හා එය තුළින් හටගන්නා ආශ්චර්යමත් වාම ජාතිකවාදී සටන් පාඨයන් වන්නේය.
දේශපාලන අනුග්‍රහය සහ අධික ලෙස ව්‍යාප්ත වූ සුබසාධන රාජ්‍යය එම ක්‍රියාවලියේ නිර්මිතය වන්නේය. එය අපගේ පස්වැනි නිදන්ගත රෝග ලක්ෂණය වන්නේය. ආර්ථික වර්ධනය වෙනුවට, සාර්වත්‍රික සහනාධාර සහ උපාධිධාරීන්ට රජයේ රැකියා සහතික කිරීමේ “බෙදාහැරීමේ දේශපාලන තරඟය” හරහා රාජ්‍ය සේවය ඡන්ද පදනම් ශක්තිමත් කරන මෙවලමක් බවට පත්කිරීම එහි ප්‍රතිපලයක් වී තිබේ.
අය කරනු ලබන බදු නිරර්ථකව වියදම් කිරීම සහ ණය මත පදනම් වූ නිෂ්ඵල යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම අපගේ සයවන නිදන්ගත රෝග ලක්ෂණය වන්නේය. 2019 වසරේ සිදුකළ විද්‍යාත්මක පදනමකින් තොර දේශපාලන බදු කප්පාදුව හරහා රාජ්‍ය ආදායම් ධාරිතාව සිඳී බිඳ දැමීමත් සහ 2005 න් පසු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBS) හරහා ඵලදායී නොවන මහා පරිමාණ යටිතල පහසුකම් (වරාය, ගුවන් තොටුපළ) උදෙසා ණය ලබා ගනිමින් ද්‍රවශීලතා ගැටලුව, ණය ගෙවීමේ නොහැකියාව පිළිබඳ (solvency) අර්බූදයක් බවට පරිවර්තනය කොට තිබුණේය.
එම අරබූදය අපට බලකොට තිබුනේ IMF පරිවාසයකට යටත් වීමටය.
එකී පරිවාසය අපට රටක් ලෙස මුල්‍ය පාලනයකට අවතීර්ණ වන්නේ කෙසේද යන්න පිළිබදව ඉගියක් ලබාදී තිබේ.
අද අප සිටින්නේ ණය ගෙවීමේ නොහැකියාව හේතුවෙන් රටේ ආර්ථිකය මුදවා ගැනීමට ගිවිසුම් ගතවු IMF ගිවිසුම අවසානයේ එලිපත්තේය.
නමුත් අප තවමත් කාන්දමක් දෙසට ඇදෙන්නාක් මෙන් ආපස්ට ඇදෙන බවක් පෙනෙන්නට ඇත්තේ පෙරකී මුල්‍ය විනයක් නොමැති ජනප්‍රිය වාම ජාතිකවාදය වෙතටය.
එම නිසා දිනන දකුණ සාමුහිකය විසින් රටට නව තාර්කිකත්වයක් ගොඩනැගිය හැකි පශ්චාත් IMF වැඩසටහන සමන්විත විය යුතු මාර්ග සිතියමක් පිළිබද අදහසක් මෙලෙසින් සමාජගත කොට සිටී.
අප විසින් රටට අවැසි නව තාර්කිකත්වය යනුවෙන් අදහස් කරන්නෙ හුදු සාර්ව ආර්ථික ස්ථාවරත්වයකින් ඔබ්බට ගිය, දැඩි ආයතනික විනය, සුදුසුකම් මත පදනම් වූ රාජ්‍ය යාන්ත්‍රණය සහ බාහිරට නැඹුරු වූ වර්ධන ආකෘතියක් මත ගොඩනැගෙන විද්‍යාත්මක ප්‍රවේශයකි.
එම ප්‍රවේශය රදා පවත්නා පළමු කුළුණ වන්නේ මුල්‍ය (fiscal) සහ මුදල් (monetary) විනය ආයතනගත කිරීමයි.
එහිලා දැනටමත් හදුන්වාදී ඇති ව්‍යවස්ථාපිත මූල්‍ය රීති එනම් අයවැය හිඟය සීමා කරන සහ රාජ්‍ය ණය – දළ දේශීය නිෂ්පාදිතය අනුපාතයට ව්‍යවස්ථාපිත සීමාවන් පනවන නීති, පාර්ලිමේන්තුව විසින් දැඩි ලෙස බලාත්මක කිරීමට කටයුතු කළ යුතුව තිබේ. ඒ සඳහා දැනට පවතින පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වල බල පරාසය ඉහළ දැමීමට යෝජනා කර සිටී.
මහ බැංකු ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දැනටමත් අවසාන කොට ඇති දේශපාලන අවශ්‍යතා මත මුදල් මුද්‍රණය කිරීමේ (debt monetization) ඓතිහාසික පුරුද්ද ස්ථිරවම අවසන් කිරීම මෙන්ම, මහ බැංකුව විසින් තම බල ක්ෂේත්‍රයට අනුකූලව නියැලෙන මුදල් මැවීමේ ක්‍රියාවලිය පාර්ලිමේන්තුවට වගකියන ක්‍රියාවලියක් බවට පත්කල යුතු බවට යෝජනා කොට සිටී.
රාජ්‍ය ව්‍යවසාය (SOEs) වාණිජකරණය කිරීමට කටයුතු කරමින් ලංවිම, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන දේශපාලන රැකියා සැපයුම් මධ්‍යස්ථාන බවට පත්කිරීම නතර කර, ඒවා ස්වාධීන වාණිජ මණ්ඩල හෝ රාජ්‍ය – පුද්ගලික හවුල්කාරිත්වයන් (PPPs) වෙත සංක්‍රමණය කිරීමට කටයුතු කරන ලෙස අවධාරණය කොට සිටී.
අපගේ ප්‍රවේශයේ දෙවන කුළුණ වන්නේ සියළු ආකාර වු දේශපාලන අනුග්‍රහය තුරන් කිරීම සහ රාජ්‍ය ධාරිතාව ශක්තිමත් කිරීමයි.
ඒ යටතේ සුදුසුකම් මත පදනම් වූ (Meritocratic) ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය අවධාරණය කොට සිටී. රාජ්‍ය සේවය, නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම සහ නියාමන ආයතනවල සිදුව ඇති ගුණාත්මක පිරිහීම නිවැරදි කිරීම සඳහා බඳවා ගැනීම් සහ උසස්වීම් දේශපාලන මැදිහත්වීම්වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම මෙහිලා මතුවන මුලික අවශ්‍යතාවයයි.
දත්ත මත පදනම් වූ ඉලක්කගත සමාජ ආරක්ෂණයක් හදුන්වාදීමද සාර්වත්‍රික මිල සහනාධාර වෙනුවට සැබවින්ම අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීම සඳහා ‘අස්වැසුම’ වැනි විද්‍යාත්මක, දත්ත මත පදනම් වූ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීමට දේශපාලන නිර්භීත භාවයත් අද අවශ්‍යව තිබේ.
අප යෝජනා කරන ප්‍රවිශ්ඨයේ තුන්වන කුළුණ වන්නේ බාහිරට නැඹුරු වූ (Outward-Oriented) ආර්ථික ආකෘතියකට සංක්‍රමණය වීමයි.
එහිලා අවැසිවන ප්‍රධානම ආයොජනය සිදුවිය යුතුව තිබෙන්නේ අපනයන විවිධාංගීකරණය සහ ආර්ථිකය ලිබරල්කරණය තුළ බව කියා සිටී. ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් (FTAS) දිරිමත් කිරීම සහ දේශීය අකාර්යක්ෂම ඒකාධිකාරයන් ආරක්ෂා කරන පැරණි තීරුබදු සහ බදු ක්‍රමවේද (CESS) ක්‍රමයෙන් ඉවත් කිරීම මෙහිලා වැදගත් වන මැදිහත්වීම් වන්නේය.
එසේම නිෂ්පාදන සාධක වෙළෙඳපොළ (Factor Markets) නිදහස් කිරීම තුලින් තාක්ෂණ සුක්ෂම විදේශීය සෘජු ආයෝජන (FDI) දිනාගැනීම සඳහා රට තුළ සුදුසු ව්‍යවසායක පරිසරයක් ගොඩනැගීම සහ ඒ සඳහා වන නිලධාරිවාදී බාධක ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ හරහා ඉවත් කිරීම මෙහිලා අවධාරණය කොට සිටී.
අපගේ පණිවිඩය:
ඉහතකී අයුරු නව ආර්ථික යථාර්තයක් දක්වා පරිවර්ථනය කිරීමේ අභියෝගය රදාපවත්නේ ශ්‍රී ලාංකික දේශපාලන මුහුණ දෙන දේශපාලනික – සමාජ විද්‍යාත්මක අභියෝගයක් මත බව දිනන දකුණ සාමුහිකය විශ්වාස කරයි.
එනම් ශ්‍රී ලාංකික දේශපාලන සමාජයට තමන් මේ තාක් දුරට බලය ලබා ගැනීම සඳහා අනුගමනය කරන ලද ජනකාන්ත දේශපාලනයෙන් මිදීමට තරම්වු දේශපාලන අධිශ්ඨානයක් නොමැති වීමයි.
නමුත් පශ්චාත් IMF දේශපාලන අවධිය නිර්ණය කරනු ඇත්තේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතියේ සහ රාජ්‍යයේ පැවැත්ම තීරණය වන්නේ රටේ ඡන්දදායකයාට ඵලදායිතාව සහ මූල්‍ය පාලනයේ කටුක ඇත්ත ප්‍රකාශ කරනු ලබන, රට ඉදිරියට ගෙන යන “නව තාර්කිකත්වයේ” සැබෑ දේශපාලන සංස්කෘතියක් සඳහා පෙරට එන, නව දේශපාලනයක් මත බව අපගේ විශ්වාසයයි.
ඒ සදහා අප ඉඩ දෙනවාද, නැතහොත් නැවතත් රට බිඳවැටීමට හේතු වූ “පැරණි යථාර්ථයේ” ජනප්‍රියවාදී, පරිභෝජනය මත පදනම් වූ බෙදාහැරීමේ පොරොන්දු දේශපාලනයටම රට පාවා දෙනවාද ? යන්න අප ඉදිරියේ පවතින දේශපාලනයයි.
පැරණි අසාර්ථක යථාර්ථය පසෙක ලා, විද්‍යාත්මක සහ තාර්කික නව මාවතක් ඔස්සේ සැබෑ ලෙසම “දිනන දේශයක්” බිහිකිරීම වෙනුවෙන් පෙළගැසෙන ලෙස දිනන දකුණ සාමූහිකය සමස්ත ලාංකීය ජනතාවගෙන් සහ වගකිවයුතු ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටී.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
