විශේෂාංග

අගරදගුරු “ආඥාව” හෙවත් නැට්ට විසින් බල්ලා වැනීම

(මෙය සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් ජනප්‍රිය සංවිධාන කීපයක් වෙනුවෙන් නොව සිංහල හෝ සිංහල බෞද්ධ සිවිල් සමාජයේ සියලු ඓතිහාසික ලොකු කුඩා නැගී සිටීම් වෙනුවෙන් කරන පිළිතුරු දීමක් බව සළකන්න)

යුරෝපයේ මධ්‍යතන යුගය සළකන්නේ අඳුරු යුගය ලෙසය. එම ජාතීන් ආයාසයෙන් “පුනරුදයක්” ඇති කරන්නේ ඒ අඳුරට ආලෝකයක් වශයෙනි. පල්ලියේ ග්‍රහනය තුළ යුරෝපය තිබූ ඒ මධ්‍යතන යුගය තුළ දේශපාලනයද, කලාවද, සංස්කෘතියද ජරාජීර්ණවී ගියේය. අපේ රටේ පල්ලියද උත්සහ කරන්නේ අප ජාතියක් ලෙස අඳුරු යුගයක සිරකර තැබීමටය. “තම-ජෝති පරායනෝ” හෝ “ජෝති – ජෝති පරායනෝ” යන බුද්ධ වචනය අනුව ආලෝකයට යෑම වැලැක්වීමටය. ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නට පෙරට ආවද, සිය පටු වාදභේධ ජාතික අර්බුදධය හමුවේ හෝ අත්හරින්නට සූදානම් නැති, හත්කඩකට පැලී ගිය ජාතිකවාදී භික්ෂූන් වහන්සේගේ භින්න අරගල හා සටන් පාඨද, “මහ වාසලින්” ලැබෙන “සිව්පසය” හෝ “සර්වාගමික පස්ගෝරසය” වළඳා පඩික්කම් පුරවන නායකකාරක භික්ෂූන් වහන්සේලාගේ සුව නින්දද ඉවසිය නොහැකි නිසාදෝ මැල්කම් රංජිත් අග රදගුරුතුමා “ආඥාවක්” පනවන්නට තීරණය කර තිබේ. ඒ “ජාතිවාදි, ආගම්වාදී සංවිධාන හා පක්ෂ” තහනම් කරන්නට යැයි කියාය. ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතෙහි සුවිශේෂී සංවත්සරයක් සමරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයාද සහභාගීවූ උත්සවයකදී එසේ කී අගරදගුරුතුමා නූතනයේ කතා බහට ලක්ව ඇති “සිංහලේ” ප්‍රතික්ෂේප කරන්නේ සියල්ලන්ට ඇත්තේ “එකම ලේ” බව කියමිනි. සාමාන්‍යයෙන් නැට්ට වනනු ලබන්නේ බල්ලාය. ඒ හැරෙන්නට නැට්ට විසින් බල්ලා වැනෙනු නොලබයි. නැට්ට එක් අවයවයකි. නැට්ටට තැනක් ඇත. එහෙත් බල්ලා නැට්ට වනනු වෙනුවට නැට්ට බල්ලා වනයි නම්, ඉන් කියැවෙන්නේ බල්ලා නොන්ජල්, හතරගාතය පණනැති එකකු බවය.

එතුමා එසේ සිතීමද සාධාරණය. මන්ද 1505සිට මෙරටට එන පරංගින්, ලංසින්, හෝ සුද්දන් විසින් ස්වදේශික සිංහල බෞද්ධයින් හා දෙමළ හින්දූන් බලහත්කාරයෙන් ක්‍රිස්තියානිකරණය කරද්දී, ඊට විරුද්ධ වූවන් අමානුෂික ලෙස මරා දමනු දුටු අගරදගුරුතුමාගේ පූර්වජයින් පරංගි, ලන්සි හෝ සුද්දන්ට කිට්ටුවී “එකම ලේ” යැයි කණට කොඳුරා “ලේ කළවම් කරගෙන” මරණයෙන් ගැළවෙන්නට සමත්වූවා පමණක් නොව තාන්න මාන්නද දිනා ගන්නට සමත්වූ බව එතුමා දන්නා බැවිණි. එසේම මැල්කම් රංජිත් අගරදගුරුතැන තමන්ගේ ආගම වෙනුවෙන් වැඩ කිරීමට ගෙඩි පිටින්ම එක්සත් ජාතික පක්ෂයද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද, ජනතා විමුක්ති පෙරමුණද “හොරු සමග හෙළුවෙන්” කැපවී සිටියදී වෙනත් ආගමික පක්ෂ හෝ සංවිධාන අහෝසි කළාට කම් නැතැයි සිතීමද සර්ව සාධාරණය.

අඳෝමැයි! සමානාත්මතාව පිළිබඳවත්, ජාතික සංහිඳියාව පිළිබඳවත් අගරදගුරුතුමා තුළ ඇති සංවේදීත්වය අප මවිත කරවයි. එහෙත් අපි මතක් කර දෙන්නේ එතුමාගේ විග්‍රහය අනුව මේ තහනම් කිරීම්, පළමුව කතෝලික සභාව, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, 2015 නොවැම්බර් 20 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ලත් ආණ්ඩුවේ අනුමැතියෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ සංවිධානයේ පරිවාර එන්.ජී.ඕ ත් තහනම් කිරීමෙන් ඇරඹිය යුතුය. මන්ද, සිංහලයාට හා බෞද්ධයාට සිදුවන අසාධාරණයට එරෙහි සංවිධාන බිහිවීමට බොහෝ කාලයකට කලින් සිට මේ සංවිධාන ක්‍රියාත්මක බැවිණි.

අගරදගුරුතැනගේ මේ උද්ධච්ඡ ප්‍රකාශයෙන් තහනමට ලක්කරන්නට යෝජනා කරන “ජාතිවාදී හා ආගම්වාදී” ලෙස ඔහු ඉතා කෘර ලෙස සාවද්‍ය අර්ථකතනයකට ලක්කරන සංවිධාන හා පක්ෂ මොනවාද? ඒවා ඔහුට නුරුස්සන්නේ එම සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිශානතිය සිංහල බෞද්ධ බලවේග විසින් තීරණය කරන තැනකට ගෙනෙන්නට වෙර දරන නිසාද? නැතිනම් පල්ලියේ ග්‍රහණයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය මුදවා ගැනීමට වෙර දරණ නිසාද? නැත්නම් තේවත්ත බැසිලිකාව ඇතුළු කූට ව්‍යාපෘති ශ්‍රේණියකින් ශ්‍රී ලංකාවේත්, සිංහලයාගේත් බෞද්ධයාගේත් ඉතිහාසය විකෘති කිරීමේ නිර්ලජ්ජී උත්සාහයන් අනාවරණය කරන නිසාද? දුප්පත් බෞද්ධයින්ද, හින්දූන්ද ඉතා නින්දිත හා අයථා ලෙස ක්‍රිස්තියානිකරණය කිරීමට ඒ සංවිධාන විරුද්ධ නිසාද?

2015 ජනවාරි මාසයේ පාප්වරයා ලංකාවේ සංචාරය කරන අතරතුර අප විසින් එළිදක්වන්නට යෙදුන “යුධ අපරාධ, බෙදුම්වාදී කූටෝපාය හා ක්‍රිස්තියානිකරණය වෙනුවෙන් පාප්වරයා සිංහලද්වීපයෙන් සමාව ගත යුතුය” යන කෘතිය ඔස්සේ ජාත්‍යන්තරිකවත්, ජාතිකවත් පල්ලියේ කෙරුවාව ගැන න්‍යායික මෙන්ම ආනුභවික සාක්ෂි සහිත විග්‍රහයක් ගොඩ නැංවීමු. එය කියවන්නකු අගරදගුරුවරයා වැන්නකුගේ සංහිඳියා නාඩගමෙහි ඇති මහා විහිළුව මැනෙවින් වටහා ගනු ඇත. මේ රටේ සාතිශය බහුතරය වන සිංහල බෞද්ධයාට එරෙහි සුක්ෂම දේශපාලන ක්‍රියාකාරිකයකු වන මැල්කම් රංජිත් අගරදගුරු තැන දෙමළ ජාතිවාදය වෙනුවෙන් (බාගෙදා සිය ජාත්‍යන්තර හාම්පුතුන්ගේ දේශපාලන හා ඉවැංජලික න්‍යාය පත්‍ර අනුව) පෙනී සිටින්නකු මෙන්ම උග්‍ර සිංහල බෞද්ධ විරෝධීයකු බව බොහෝ සාධක මත පෙන්වා දිය හැක.

2013 දෙසැම්බර් මස 08 වනදා නිකුත් කළ එඬේරික ප්‍රකාශනය මැල්කම් රංජිත් අගරදගුරුතුමා ඇතුලු පූජකයින් පහලොස්දෙනෙක් අත්සන් කර තිබුණි. ආගම කුමක් වුවත් සිංහලයකු ලෙස ඉපදුනද අගරදගුරුතුමාගේ සිංහල විරෝධය එහි මැනෙවින් පෙනෙන්නට තිබිණි. එය සපුරා විග්‍රහ කිරීමට නොයමු. එහෙත් උදාහරණයක් දෙකක් විචාරීම කළ යුතුය. රටේ “ජාතික එක්සත්කම” බිඳ වැටීමට හේතුව වශයෙන් කුප්‍රකට කතෝලික සභාව දක්වන්නේ “රටේ අනෙකුත් සුළු ජාතීන් මත සිංහල භාෂාවේ හා සංස්කෘතියේ ආභාසය පැටවීම”ය (පිටුව 6). තවත් තැනක “එම නිසා උතුර හා නැගෙනහිර දෙමළ ජනතාවගේ සාම්ප්‍රදායික වාසභූමිය ලෙස සැලකීම එප ප්‍රදේශ වල පාලනය ඔවුන්ගේ නායකයින් විසින් සිදුකිරීම” (පිටුව 7) කියමින් බෙදුම්වාදී නිජබිම් න්‍යාය යුක්තියුක්ත කරන්නේය! කලකට ඉහතදී ක්‍රියාත්මක වූ උගත් පාඩම් කොමිශන් සභාවේ සාක්ෂි දුන් අගරදගුරුතුමා යෝජනා කලේ ජනවර්ග අනුව බෙදා වෙන් කල කලාප සහිත ශ්‍රී ලංකාවකි. එහිදී එතුමා කීවේ උතුරු නැගෙනහිර පලාත් වල සිංහල ජනයා පදිංචි කිරීම භයානක ක‍්‍රියාවක් හැටියටය! (www.slguardian.org). වතිකානුවේදී ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට ආශීර්වාද පූජාවක් පැවැත්වීමටද ඔහු ක්‍රියාකළ බවත් එම වෙබ් අඩවිය පවසයි. සිංහල බෞද්ධ සංවිධාන “අන්තවාදී ආගම්වාදී සංවිධාන” ලෙස හඳුන්වා දෙන්නේ එම පුද්ගලයාය.

අවසාන වශයෙන් පැට්‍රීෂියා බියුටෙන්ස් හිටපු ඇමරිකානු තානාපතිනිය හා සම්බන්ධ විකිලීක්ස් උදෘත පිළිබඳව යමක් කියමු. sandeshaya.blogspot.com අනුව C O N F I D E N T I A L SECTION 01 OF 02 COLOMBO 000929/COLOMBO 00000929 001.2 OF 002 උදෘතය (වර්ෂ2014දී) පවසන සියලු කරුණු සනාත කරන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සිංහල බෞද්ධ බලවේග විසින් මෙහෙයවන තැනට පත්වීම වැලැක්වීම සඳහා කලක් තිස්සේ පාප්වරයාගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් papal nuncio වශයෙන් ඉන්දුනීසියාවේද කටයුතු කළ වර්තමාන අගරදගුරුවරයා දැරූ වෙහෙසයි! අපි එහි උපුටන කීපයක් දක්වමු.

1. (C) ඔහු පෙන්වා දුන්නේ රාජපක්ෂවරු හට ඇති ප්‍රභල මහජන සහයෝගය නොතකා ජාත්‍යන්තරය විසින් රාජපක්ෂවරු දුර්වල කලහොත් ජාත්‍යන්තරයේ වැඩ වැරදිය හැකි බවය. ලංකාවට GSP සහන ලබානොදී ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක පැනවීමෙන් ලංකාව තුළ හමුදාමය හෝ වෙනත් ආකාරයක (රාජපක්ෂ ඇතුළු සිංහල බෞද්ධයන් ගේ) විප්ලවයක් ඇති විය හැකි බවද ඔහු පැවසීය.

2. (C) තමා සිංහලයෙක් වුවද සිංහල බහුතරයේ දැඩි ජාතිවාදී අසාධාරණයට ලක්වී ඇති දමිළයන් වෙනුවෙන් ඉතා අනුකම්පා සහගත වූ බව ඔහු පැවසීය. 2002 සාම ගිවිසුමේදී පල්ලිය මූලික කාර්යභාරය ඉටු කල බවද ඔහු පැවසීය. යුද්ධයෙන් පසු සරණාගතයන් හා අනෙකුත් ත්‍රස්ත්‍රවාදී සිරකරුවන් නිදහස් කිරීම වෙනුවෙන් පල්ලිය ප්‍රසිද්ධියේ පෙනී සිටි බවද ඔහු පැවසුවේය.
3. (C) රාජපක්ෂ වරු සහ ඔහුගේ සහෝදරයින් හොඳ වුවත් සිංහල බෞද්ධයින්ගේ දැඩි පීඩනය හමුවේ රාජපක්ෂ වරුන් ජාත්‍යන්තරය මගින් දුර්වල කළහොත් රාජපක්ෂවරුන්ටත් වඩා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන් අතට බලය යා හැකි බවද බිෂොප් පැවසීය.

4. (C) ඉහත ප්‍රකාශයෙන් පසු යුධ අපරාධ සිදු කිරීමේ චෝදනා ගැන අර්ච් බිෂොප් වරයාගේ අදහස් සෘජු වම මෙසේ පවසන ලදී. ” මාගේ අදහසට අනුව දැන්ම යුධ අපරාධ චෝදනා නොනැගිය යුතුය”. මැල්කම් රන්ජිත් පැවසුවේ තමා මහින්ද රාජපක්ෂ හට බලපෑම් කරන බලවේග (සිංහල බෞද්ධ ) නොසලකා කටයුතු කිරීමට ජනාධිපතිවරයා (මහින්ද රාජපක්ෂ) නම්මා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි. දෙමළ නායකයන් සමග සාකච්චා කල යුතු බව බිෂොප් වරයා විසින් ජනාධිපති වරයාට පවසා ඇත. “” රාජපක්ෂලා ඇවිල්ලා යාවි, නමුත් දමිළයන් හැමදාම මෙහෙ ඉන්නවා” බිෂොප් පැවසුවේය.

අගරදගුරුතුමාගේ “සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන” විරෝධයේ යටි අරමුණ තේරුම් ගැනීමට මේ ප්‍රමානවත් යැයි අපි සිතමු. සිංහල බෞද්ධ සංවිධාන හෝ දේශපාලන පක්ෂ පිළිබදව එවැනි අදහස් දැක්වීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතිබවද ඉහත පසුබිම මත වගකීමෙන් කියමු.

ආචාර්‍ය චමිල ලියනගේ
යුතුකම සංවාද කවය

Two_in_one

Top