Featured

වසර 66 ක පක්ෂ ඉතිහාසය විනාශ කල නිකමුන් පන්නමු

ගරු දුමින්ද දිසානායක මැතිතුමා

ප්‍රධාන ලේකම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

2016.03.02

ගරු ලේකම්තුමනි,

ආසන සංවිධායකවරුන්ගේ හදිසි වෙනස්වීම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ප්‍රසන්න රණතුංග හා ගරු දිලුම් අමුණුගම මැතිතුමන්ලා ප්‍රමුඛ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු හදිසියේ ඉවත්කිරීම පිළිබඳව අප බරපතල ලෙස කණගාටු වන බව ද, එම තීරණය මගින් පක්ෂය තුළ වූ අභ්‍යන්තර මත ගැටුම වඩාත් පුළුල් විය හැකි බවද, මධ්‍යම කාරක සභාව වෙත දැනුම් දිය යුතු යැයි අපි අදහස් කළෙමු.

සංවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබූ ප්‍රසන්න රණතුංග මහතා පසුගිය මහ මැතිවරණයේ දී මනාප ඡන්ද 384,448 ක් ලබා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වූයේ මිනුවන්ගොඩ ආසනය ද විශිෂ්ඨ ලෙස පක්ෂයට දිනා දෙමිනි.  දිලුම් අමුණුගම මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 104,469 ක් ලබා දිස්ත්‍රක්කයේ තෙවැනියා වූ අප පක්ෂයට අනාගත සම්පතක් වන් තරුණ නායකයෙකි. ධනසිරි අමරතුංග මහතා මනාප 33,784ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ දොරටුව අසලටම පැමිණි පුද්ගලයාය. කාන්ති කොඩිකාර මහත්මියද ඡන්ද 27, 976 ක් ලබා කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවේ නව (09) වැනියා  වෙමින් අපේක්ෂකයින් 13 දෙනෙකුට ඉහලින් ප්‍රසාදය ලබාගත් සටන්කාමී නායිකාවකි.  ඉවත් කරනු ලැබූ බටහිර කොළඹ සංවිධායකවරයා වන අධිනීතීඥ සෙනරත් ජයසුන්දර මහතා කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපතිවරයාය. ඊට අමතරව පසුගිය මස පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ ලේකම් ධුරයට තරඟ කොට දෙවන (02) ස්ථානයට පත් වූ ප්‍රවීන වෘත්තිකයෙකු වන අතර ඔහු වෘත්තිකයින්ගේ හිඟ කමක් පවතින අප පක්ෂයට මහත් සම්තකි.

අප පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, ඕනෑම සංවිධායකවරයෙකු ඉවත් කිරීමට ද නව සංවිධායකවරයෙකු පත්කිරීමට ද ගරු සභාපතිවරයාට තිබෙන බලයට අපි අභියෝග නොකරන්නෙමු. එනමුදු වසර 66 ක අප පක්ෂ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම සිදුවූවා සේ ඈත ගම් මට්ටමේ ශාඛාවේ සිට මධ්‍යම කාරක සභාව දක්වා අප පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී තිබෙන මේ මොහොතේ අප විසින් සිදු කළ යුතුව තිබෙන්නේ මෙකී ගැටළු වඩාත් සංකීර්ණ තලයකට යා නොදී සමඟිය රැක ගැනීම බව අපගේ ඒකාන්ත විශ්වාසයයි.

එපමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදා ද්‍රෝහී නොවූ මෙකී සෑම සංවිධායකවරයෙක්ම පක්ෂයේ ජයග්‍රහණය සඳහා පසුගිය සෑම මැතිවරණයකදීම විශිෂ්ඨ කැපවීමක් කළ අය බව ද අප අමතක කළ යුතු නොවේ. පළාත් පාලන මැතිවරණයක් දොරටුව අභියස තිබෙන මේ මොහොතේ, අප ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා වූ එක්සත් ජාතික පක්ෂයට මෙමගින් වාසිදායක පරිසරයක් නිර්මාණය නොකොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා, ගනු ලැබූ එකී තීරණ නැවත සලකා බලන්නැයි අපි අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලා සිටිමු.

 

ස්තුතියි,

මෙයට

Signeature

පිටපත් :  1. අතිගරු ජනාධිපතිතුමන් වෙත – (කාරුණික අවධානයට)

  1. පාලක ලේකම් – (ලේඛනගත කිරීම සඳහා)
Top