පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය පසුගිය අප්‍රේල් 21 වැනිදා ගෙවී ගියේය. බෝම්බ ප්‍රහාරකයන් පාස්කු දිනයේදී කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි ඉලක්ක කරගත් අතර, ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පූජනීය ස්ථාන බැතිමතුන්ගෙන් පිරී පැවැතිණි. බෝම්බ ප්‍රහාරකයන් එහිදී ක්‍රියාකළ ආකාරයට, ශ්‍රී ලංකාව ගෝලීය සටනක මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේද යන්න සහ ඔවුන් නැවත ප්‍රහාර එල්ලකළ හැකිද යන අවිනිශ්චිතභාව මතුව තිබිණි. මාස දෙකක් තිස්සේ කොළඹ අගනුවර සම්පූර්ණයෙන්ම පාහේ වසාදැමුවේ මිනිසුන් බියෙන් ජීවත් වූ බැවිනි. බෝම්බ ප්‍රහාරය ජාතික දේශපාලනයේ ගමන් මග ද වෙනස් කළේය. ජාතික ආරක්ෂාව සහතික කිරීම සහ වාර්ගික හා ආගමික බහුතරයට නිසි තැන ලබාදෙන බවට පොරොන්දු වූ ජාතිකවාදී දේශපාලනඥයන්ට පෙරට ඒමට එය මග පෑදීය.
අද වන විට එම සිදුවීම් පිළිබඳ මතකය බොහෝදෙනාගෙන් ඈත් වී ඇත. එහෙත් බෝම්බ ප්‍රහාරයේ බලපෑම දිගුකල් පවතින්නක් බවට පත්ව තිබේ. විදේශ ආයෝජකයන් සහ සංචාරකයන් ශ්‍රී ලංකාවට නොපැමිණීමෙන් ඇති වූ ආර්ථික පසුබෑම මධ්‍යයේ මැතිවරණ ජයග්‍රහණය කළ අයගේ දූෂණ සහ වැරදි කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය බංකොලොත්භාවයට මග පෑදීය. විදේශීය සහ දේශීය ඔත්තු සේවා විසින් ප්‍රහාර සැලසුම් කළ අය සහ ප්‍රහාරවලින් ඉලක්ක කළ අය ගැන කල්තියා අනතුරු අඟවා තිබියදීත්, ප්‍රහාර එල්ලවූ අතර, ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමට හෝ සත්‍යය සොයාගැනීමට අවශ්‍යතාව නොමැතිවීම හේතුවෙන් වත්මන් සහ පසුගිය ආණ්ඩුවල නායකත්වයන් කෙරෙහි විශ්වාසය පළුදුවී ඇත. එමනිසාම වැරදිකරුවන් ආරක්‍ෂා කරන බවට අද රට තුළ පුළුල් හැඟීමක් ඇති වී තිබේ.
රටේ කතෝලික පල්ලිය විසින් මියගිය අයව ශාන්තුවරයට පත්කිරීමට හෝ ප්‍රාණ පරිත්‍යාග කළවුන් ලෙස නම්කිරීමට දරන උත්සාහය ජාතික හා අන්තර්ජාතික වශයෙන් මෙම සමූහ ඝාතන ප්‍රශ්නය සජීවීව තබාගැනීමේ උත්සාහයකි. මේ සඳහා අන්තර්ජාතික පූර්වාදර්ශයන් ද තිබේ. උදාහරණ ලෙස කතෝලික සභාව හරහා අන්තර්ජාතිකකරණය වූ වියට්නාම ප්‍රාණ පරිත්‍යාගිකයන් හෝ 16 වැනි සියවසේ ජපන් දිවිපිදූවන් දැක්විය හැක. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා ඇත්තේ, පාප්වහන්සේගේ දැනුවත්භාවය සඳහා රෝමයට යැවීම වෙනුවෙන් රට පුරා සිටින කතෝලික ප්‍රජාවගෙන් අත්සන් එකතු කිරීමේ පළමු පියවර පල්ලිය විසින් ආරම්භ කරන බවයි. “මක්නිසාද අපි ඔවුන්ව ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශ කළ පසු, අන්තර්ජාතික ප්‍රජාව ඔවුන්ව වඩවඩාත් හඳුනාගෙන එය අන්තර්ජාතික කාරණයක් බවට පත්වනු ඇත”. මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහමග මහජන විරෝධතාවලදී මෙන්ම, ජාතික නායකයන් හා අන්තර්ජාතික ප්‍රජාව සමඟ බලපෑම් කරමින් යුක්තිය ඉල්ලා මියගිය පවුල්වල හැඟීම් වෙනුවෙන් හඬනැගීම්වලදී ඉදිරියෙන් සිටීමට අධිෂ්ඨානශීලීව කටයුතු කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට තුඩුදුන් සිදුවීම් පිළිබඳ නිල පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ඇත. ආරක්‍ෂක අංශයේ ඉහළ තනතුරු දැරූ දෙදෙනකුට ටික කලක් සිරගතවීමට පවා සිදු වූ අතර තවත් පිරිසකට රාජකාරි පැහැරහැරීම හේතුවෙන් විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවිය. එහෙත් තවමත් තොරතුරු වසන් කිරීමක් සිදුවී ඇති බව දැනීම ප්‍රබලය. කාලයාගේ ඇවෑමෙන් සත්‍යය වසන් කිරීමක් පිළිබඳ තවත් සාක්ෂි මතු වී තිබේ. සත්‍ය බව සහතික කළ හැකි සහ සැඟවිය නොහැකි කරුණු පවතින බව පෙනේ. විමර්ශන හැකියාවන් සහිත ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සහ පොලිසියේ සාමාජිකයින් සතුව ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ සාක්ෂි නිසැකවම තිබේ. එහෙයින් සත්‍යය හෙළිදරව් වීම පිළිබඳ ගැටලුව වන්නේ කාලය පමණක් වේ.
බෝම්බ ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික සභාවට ලබාදුන්නේ මීට සති දෙකකට පෙරය. ඔවුන් කළින් ලබා දී තිබූ වාර්තාවේ, එයද දීර්ඝ ප්‍රමාදයකින් පසුව පිටු 1500ක් පමණ ඉවත් කර ඇති බව ප්‍රකාශ විය. යුක්තිය සඳහා වන ගවේෂණයේ ඊළඟ අදියර නව ආණ්ඩුවක් යටතේ සිදුවනු ඇතැයි බලාසිටීමට සිදුවනු ඇත. නව ආර්ථික දිශානතියක් තීරණය කිරීම සඳහා අවශ්‍ය වන ආකාරයටම, සත්‍යය තහවුරු කරගැනීමේ දිශානතිය සඳහාද ජනතා වරමක් අවශ්‍ය නොවේ. යුක්තිය මූලික වශයෙන් සැළකිලිමත් වන්නේ ජනප්‍රිය මතය හෝ මැතිවරණ වරම පිළිබඳව නොවන අතර, එය විශ්වීය ආචාරධර්ම සහ නෛතික ප්‍රමිතීන් මත පදනම් වූ සාධාරණ සැළකීම අපේක්ෂා කරයි. අලුත් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ, ආණ්ඩුවේ සිටින අයට සත්‍ය හෙළිකිරීමට ඇති දැඩි අවශ්‍යතාව සහ තමන් සිටින බෝට්ටුවට ගිලෙන්නට නොදී රැකගැනීමට පවතින කැමැත්ත හේතුවෙනි.
ප්‍රශ්න කිරීම සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව කොළඹ අගරදගුරු පදවියේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා විවෘතව කියාසිටියේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කිරීම දේශපාලන පද්ධතියේ වෙනසක් මත තීරණය කෙරෙනු ඇති බවයි. තමන් අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිට සවිස්තරාත්මක ප්‍රකාශ ලබාදී ඇති බවද එතුමෝ සඳහන් කළහ. එසේ තිබියදීත්, ඔහු හෙළිකළ තොරතුරු මත පදනම්ව සැළකිව යුතු පරීක්ෂණයක් සිදුනොවීය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් හෙළිදරව් කිරීමට ආණ්ඩුව දක්වන කැපවීම පිළිබඳව ඔහු සැක පළකළ අතර, එය සිදුවීමට නම් දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට ඔහුගේ අදහස විය.
2019 පාස්කු ඉරිදා සිදුවීම් වඩාත් තියුණු වන්නේ කොළඹ සහ මඩකලපුව පල්ලිවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ ක්‍රිස්තියානි ප්‍රජාවගේ මතකයේ ය. ඒ අතරම, එදා සිදු වූ ජීවිත හානි වෙනත් තැන්වල සිදු වූ සිදුවීම් හා වෙනත් අවස්ථාවල සිදු වූ හානිවලින් වෙනස් නොවන බව මතක තබා ගත යුතුය. කිතුනුවන් සහ ඔවුන්ගේ නායකත්වය යුක්තිය සඳහා වූ ප්‍රයත්නය අත්නොහරිමින්, හානියට පත්වූවන් සිහිපත් කරන්නේ නම්, තමන්ට අහිමිවූවන් අඛණ්ඩව සිහිපත් කිරීමටත් යුක්තිය සඳහා වන ගවේෂණය අත්නොහැරීමටත් පවතින අධිෂ්ඨානය කිසිවිටෙකත් අවසන් කරනු ඇතැයි සිතිය නොහැක. 2009 මැයි මාසයේදී, එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමත්, අද දක්වාම බොහෝදෙනා සම්පූර්ණයෙන් නොදන්නා තත්ත්වයන් තුළ එහි නායකයන් ඝාතනය කිරීමත් සමඟ උතුරේ යුද බිමේ දශක තුනක අභ්‍යන්තර යුද්ධය ඉතා ලේ වැකි ලෙස අවසන් විය.
සමූහ ඝාතන සිදුවූයේ 2009 මැයි සිදුවීම්වලදී පමණක් නොවේ. මීට වසර විස්සකට පෙර 1989 දී ජනතා විමුක්ති පෙරමුණ පරාජයට පත් වූ අතර එහි නායකත්වය ද ඝාතනය විය. දසදහස් ගණන් මිනිසුන් මරාදැමූ ප්‍රචණ්ඩ ක්‍රියා එහිදීද සිදුවිය. එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් මෙන්ම, ජනතා විමුක්ති පෙරමුණේ විනාශය සිදුවූයේද මතුපිටින් පෙනුණු තත්වයන්ට වඩා වෙනස්ව, විවිධ පැතිවලින් හඳුනානොගත් ඝාතන සිදුවූ තත්ත්වයන් තුළය. සත්‍යය, වගවීම, වන්දි ගෙවීම සහ දේශපාලන විසඳුම ගෙනඑන සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියක් තිබිය යුතු යැයි ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නන් ඉල්ලා සිටින්නේ මේ නිසාය.
පසුගිය සතියේ ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය ජාතික සංහිඳියා ක්‍රියාවලියේ නියැලී සිටින සිවිල් සංවිධාන සහ රජයේ යාන්ත්‍රණ අතර හමුවක් සංවිධානය කළේය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය, සත්‍යය, එකමුතුකම සහ සංහිඳියාව පිළිබඳ කොමිෂන් සභාව සඳහා වන අතුරු ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කිරීමේදී ධනාත්මක මැදිහත්වීමක් සහ ගැටලු විසඳීමේ හැඟීමක් ඇතිවිය. සත්‍ය සෙවීමේ කොමිෂන් සභා නීති කෙටුම්පතේ තවමත් ජවිපෙ යුගයේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර නැත. කතෝලික සභාව සහ ප්‍රනාන්දු පියතුමා එළිපිටම ඉල්ලා සිටින, යුක්තිය සහ ජාතික සංහිඳියා ක්‍රියාවලිය සඳහා ඇති බාධකවලින් මිදීම සඳහා මැතිවරණ හරහා පැමිණෙන ක්‍රම වෙනසක් අවශ්‍යව තිබේ.
ජෙහාන් පෙරේරා