මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු දේශපාලනඥයන් අතර ද සිටින අවස්ථාවාදියා වෙයි. භික්‍ෂූන් වහන්සේ හිසින් පාර්ලිමේන්තුවට ගිය ඔහු අද නැවතත් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා කරා ඒමට උත්සාහ කරයි. මහින්දට දේශපාලනය අහිමි කරන බවට වහසි බස් දෙඩූ මොහු සංධානයක හතර මායිමට වද්දා නොගත යුතු පුද්ගලයෙකි. රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමට ඔහු උනන්දුවක් දැක්වූයේ ම තම ජනාධිපති ඉලක්කය කරා යෑමට ය. 

අද එ ජා පක්‍ෂයටත් කරකියා ගත හැකි දෙයක් නැත. පසුගිය කාලයේ ඔවුන් බලයේ රැඳී සිටියේ පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම බලවත් වූ බැවිනි. එහෙත් මසක පමණ කාලයක සිට බල තුලනයේ වෙනසක් වෙමින් ඇත. අද මහින්ද කණ්ඩායම බලවත් ය. විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීමට අද එ ජා පක්‍ෂයට හැකියාවක් නැත. ඔවුන්ට අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර විකල්පයක් නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත කී පුද්ගලයාගේ උපදෙස් මත ඒ වළක්වයි. ආප්ප කා තම මුල් පක්‍ෂයට ද්‍රෝහි වී එය ද කා දැමීමට උත්සාහ කළ  මෛත්‍රිපාල සිරිසේන වැන්නකු බලයට පත්කර ගැනීම සම්බන්ධයෙන් අද එ ජා පක්‍ෂය ද කණගාටු වන බව නිසැක ය. හකීම් මහතාගේ මුවින් පිටවූයේ  මේ දුක් ගැනවිල්ල ය.      

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය මුවාවෙන් පාර්ලිමේන්තුවේ කාලය දිර්ඝ කර ගැනීමට මෛත්‍රිපාල කණ්ඩායම මෙන් ම ජාතික හෙළ උරුමය ද කුඩා පක්‍ෂ ද පමණක් නොව එ ජා පක්‍ෂය ද උත්සාහ කළේ ය. එ ජා පක්‍ෂය කුමක් ප්‍රසිද්ධියේ කීව ද ඔවුන්ට ද අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව දිගට පවත්වාගෙන යෑම ය. විස්ස සම්මත කර ගැනීමට බාධා පමුණුවන වගන්ති එ ජා පක්‍ෂයෙන් ද අනෙක් පක්‍ෂවලින් ද ඉදිරිපත් වූයේ එබැවිනි.  මනාප ක්‍රමය ජනතාවට අවශ්‍ය නැති වුව ද බොහෝ දේශපාලනඥයන්ට අවශ්‍ය වෙයි. තම මැතිවරණ කොට්ඨාශයෙන් පරාජය වූ කි දෙනෙක් අද මනාප ක්‍රමය නිස්ා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත් ද? එහෙත් මහින්ද කණ්ඩායම බලවත් වීම ඉදිරියෙහි එ ජා පක්‍ෂයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. 

ජ වි පෙ, මුස්ලිම් කොංග්‍රසය, අසාද් සාලි, මනෝ හා ප්‍රභා ගනේෂන් තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීහු විස්සට විරුද්ධ වෙති. ඒ ඔවුන්ට එමගින් පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාවක් නොලැබෙන බැවිනි. අසාද් සාලි මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කළ නමුත් දැන් යෑමට සිදුව ඇත්තේ තමන්ට බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කරනු ලැබුයේ ඔත්තු සේවා සුලු ජාතික පක්‍ෂ, ජාතික හෙළ උරුමය හා ජ වි පෙරමුණ විසිනි. ඒ බව අපි දනිමු. 

මේ පක්‍ෂ අද ඉදිරිපත් කරන අදහස නම් සුලු පක්‍ෂවල මතවාද ද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු බව ය. බැලූ බැල්මට එහි ඇත්තක් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව එය එලෙස විය යුතු යැයි ද  ඇතැමුන් කියනු ඇත. එහෙත් අප මේ කතා කරන්නේ මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය වීම ගැන ය.  දැන් ප්‍රශ්නයක් වෙයි. දේශපාලන පක්‍ෂ නොවන කණ්ඩායම්වල මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය විය යුතු ද? එසේ නම් ඒ සිදු වන්නේ කෙසේ ද යන්න ය. 

ඕනෑම මතවාදයක් අවසාන වශයෙන් ගත්කල දේශපාලනික වෙයි. බුදුන් වහන්සේ දෙසූ බුදුදහම මතවාදයක් හෝ දැනුම් පද්ධතියක් හෝ නොවන බැවින් ඒ ගණයට අයත් නො වේ. එහෙත් සිංහල බුද්ධාගම දේවානම්පිය තිස්ස රජු දවස දේශපාලනික මතවාදයක් වීම ඈරඹිණි. එසේ නොවන්නට බුදුදහම ඉන්දියාවෙන් මෙන් ම මෙරටින් ද ඒ හේතුවෙන් ලෝකයෙන් ද අතුරුදහන් වීමට තිබිණි. අද එය මෙරට දේශපාලනයෙහි ක්‍රියාත්මක බලවේගයකි. විවිධ ආගම් ද මතවාද වන බැවින් ඒ දේශපාලනික වෙයි. කතෝලික, ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි දේශපාලන සංස්ථා ය. කාදිනල්තුමා පාසල් රජයට ගැනීම ගැන කතා කරන්නේ දේශපාලන අර්ථයකිනි. සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් අයත් වන්නේ යැයි කීම පට්ටපල් බොරුවකි. මේ ඊනියා වෙන් කිරීම ම බටහිර දැනුමේ තවත් පට්ටපල් බොරුවක් පමණකි. මෙරට මුස්ලිම් පක්‍ෂ විසින් නියෝජනය කෙරෙන්නෙ මුස්ලිම් මතවාදය ය, ඉස්ලාම් ආගමික දේශපාලනය ය. රටේ අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින් නියෝජනය කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි මතවාදය හා අදාළ දේශපාලනය ය.

ඊනියා සුලු පක්‍ෂවලට තම මතවාද පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීමට අමුතු අවස්ථා ලබා දිය යුතු නො වේ. එසේ නම් දේශපාලන පක්‍ෂ විසින් නියෝජනය නොකෙරෙන මතවාදවලට ද පාර්ලිමේන්තුවේ නියෝජනත්වයක් ලබා දීමට ක්‍රමයක් සකස් කළ යුතු ය. සුලු පක්‍ෂ කළ යුත්තේ එක්කෝ තමන් මහා පක්‍ෂ බවට පත්වීම ය. ඒ කළ හැක්කේ රටේ බහුතරය දරණ මතය අවශෝෂණය කර ගැනීමෙනි. නැත්නම් තම මතය බහුතර ජනතාවගේ මතය බවට පත් කිරීම ය. 

දහනවය හා විස්ස අතර ඇති ප්‍රධාන වෙනස දහනවයෙන් විධායක ජනාධිපති බලතල කපා දැමීමට උත්සාහ කිරීමත් විස්සෙන් මනාප ක්‍රමය නැති කිරීමට කටයුතු කිරීමත් ය. විධායක ජනාධිපති බලතල කපා දැමීම සිංහල ජනතාවගේ ඉල්ලීමක් නො වී ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක බලතල සහිත ජනාධිපති කෙනකු සිටි බැවිනි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි ද තවමත් දෙමළ ජාතිවාදය පවතියි. එය පසුගිය කාලයේ ජනවාරි 8 වැනි දා තෙක් පැවතුණේ බටහිර රටවල හා ඉන්දියාවේ ය. එහෙත් ජනවාරි 8 වැනි දාට පසුව දෙමළ ජාතිවාදය නැවතත් ලංකාවේ ද ක්‍රියාත්මක වෙයි

දෙමළ බෙදුම්වාදය ගලා එන්නේ ද දෙමළ ජාතිවාදයෙනි. දෙමළ ජාතිවාදය බටහිර රටවල හා ඉන්දියාවේ ක්‍රියත්මක වන්නේ ඒ රටවල අනුග්‍රහයෙනි. එහි දී බටහිර රටවල සිටින විසුරුණු දෙමළ ජාතිවාදීහු ද ආධාරයට ගැනෙති. බටහිර රටවලට අවශ්‍ය නම් තම රටවල ඇති විසුරුණු දෙමළ ජාතිවාදීන්ගේ සංවිධාන නැති කළ හැකි ය. එහෙත් ඔවුහු එසේ නො කරති. බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීමට දෙමළ ජාතිවාදය යොදා ගනියි. එයට විරුද්ධ ව ක්‍රියා කළ හැක්කේ ශක්තිමත් විධායක ජනාධිපති කෙනකුට මිස ඊනියා සාමූහික වගකීමක් ඇතැයි කියන කැබිනට්ටුවකට හා පාර්ලිමේන්තුවකට නො වේ.

ලංකාවේ කැබිනට්ටුවේ සාමූහික වගකීම ඇත්තේ නමට පමණකි. මෙහි ඇමතිවරු තම තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වති. එවැනි කැබිනට්ටුවක් සමග බටහිර බලවේගවලට එරෙහිව ගොස් දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නො හැකි ය. එබැවින් දෙමළ ජාතිවාදය පරාජය කරනතුරු ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය වෙයි. මේ දේශපාලනය වැසූ බටහිරයෝ ඊනියා සාධාරණ සමාජ, පිවීිතුරු හෙට වැනි සංවිධාන මගින් ව්‍යාජ යහපාලනයක් හා ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කිරීමට බොරු චෝදනා ගෙතූහ. 

මෛත්‍රිපාල සිරිසේන මහතා සිය කැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට එකඟ වූවා නො වේ. එය ගනුදෙනුවේ (මෙගා ඩීලයේ) කොටසක් පමණකි. ඔහු තරම් විධායක බලතල නීති විරෝධී ව යොදා ගත් වෙනත් ජනාධිපතිවරයෙක් නො සිටියේ ය. ඔහුට ජනවාරි 8 වැනි දා නව අගමැතිවරයකු පත්කර කැබිනට්ටුව වෙනස් කිරීමට නීතියෙන් ඉඩක් නො වී ය. එහෙත් ඔහු ඒ කෙළේ ය. නීති විරෝධීව  අගවිනිසුරු ඉවත් කෙළේ ය. ඔහු බලලෝභියකු බව පැහැදිලි වන්නේ අගමැතිකම නොලැබුණු හෙයින් තම පක්‍ෂය හා පක්‍ෂ නායකයා පාවා දීමට ක්‍රියා කළ ආකාරයෙනි. 

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට ජනතාවගේ ඉල්ලීමක් නො තිබුණ ද, මනාප ක්‍රමය වෙනස් කරන ලෙසට ඉල්ලීමක් විය. අපි දහනවයට කලින් විස්ස ගත යුතු යැයි කීවෙමු. එහෙත් සෝභිත හිමියන්ටවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තිබූ වුවමනාව විස්ස වෙනුවෙන් නො වී ය. මනාප ක්‍රමය වෙනස් කිරීම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට ප්‍රශ්නයක් වෙයි. එ ජා පක්‍ෂය ද මනාප ක්‍රමය වෙනස් කිරීමට විරුද්ධ ය. ඔවුන්ට කේවල ක්‍රමයට වඩා සමානුපාතික ක්‍රමය වාසි සහගත වෙයි. අනෙක් අතට එ ජා ප සිංහල විරෝධී ජාතිවාදී පක්‍ෂවලට ආධාර කරයි.

ඉතා කෙටියෙන් කියන්නේ නම් දහනවයට සිංහල විරෝධී දෙමළ හා මුස්ලිම් ජාතිවාදවලට පක්‍ෂපාති වූ අතර, විස්ස සිංහලයන්ට පක්‍ෂව දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට අවාසි තත්තාවයක් උදා කරයි. දහනවයෙන් විධායක බලතල රාශීයක් නොකැපී ඉතිරි වුනු බැවින් සිංහල විරෝධීන්ගේ අරමුණු ඔවුන් බලාපොරොත්තු වූ අයුරින් ම ඉටු නො විණි. එහෙත් ඔවුහු විස්ස සම්මත කර ගැනීමට ඉඩ නොදීමෙන් තම අවශ්‍යතා ඉටු කර ගනිති. සිංහල ජාතිකත්වයේ මිතුරන් ලෙස පෙනී සිටින බොහෝ දෙනකුගේ වෙස් මුහුණු දැන් ගිළිහී ඇත. සිංහල විරෝධී මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් ව්‍රිමසිංහ මහතා හැකි ඉක්මණින් ඉවත් කළ යුතු ය.  

අද අවශ්‍ය වන්නේ සිංහලයන්ගේ හා රටට හිතැති දෙමළ මුස්ලිම් ජයාගේ එකතුවකි. මීළඟ මැතිවරණය කවදා පැවැත්වුවත් සටන් පාඨය විය යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් පරාජය කිරීමට මහින්දගේ නායකත්වයෙන් එකතු වෙමු යන්න ය. 

නලින් ද සිල්වා 


2015 ජූනි 28


Top