යහපාලන රජය බලයට පත් වීම සහ වසර එකහමාරක කාලයක් තුළ පවත්වාගෙන යැමේදී ජනතාව ඉදිරියේ ඇති කළ දේශපාලන මුහුණුවර පිළිබඳ නිවැරදි තක්‌සේරුවක් කිරීමට දැන් කාලය පැමිණ ඇත. ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉතා කුඩා මන්ත්‍රී සංඛ්‍යාවක් තිබූ එක්‌සත් ජාතික පක්‌ෂයට රාජ්‍ය බලය රැගෙන දීම සහ ඉන්පසුව කරන ලද නීත්‍යානුකූල නොවන ක්‍රියා රාශියක් ගැන අත්දැකීම් මේවන විට තිබේ. පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල් යන අතර ජනතා විරෝධය යටපත් කරලීම පිණිස නොයෙකුත් හිතුවක්‌කාරී දේශපාලන තීරණ ක්‌ෂණිකව මතු වෙයි. පසුගිය මැතිවරණ සමයට පෙර බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් වාර්තාව නිකුත් කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මෙයට එක් නිදර්ශනයකි. එවිට මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද. යහපාලන රජය බිඳ වැටීමට ඉඩ නොදී කෙසේ හෝ පවත්වාගෙන යැම එහි අරමුණ බව තීරණය කළ හැකිය. දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හළ නොහැකි බවද මෙහිදී අප සිහිපත් කළ යුතුය.
යහපාලන රජයෙහි මූලික අරමුණු අතරින් ඉතා වේගවත්ව ක්‍රියාත්මක වන්නේ නව ව්‍යවස්‌ථාව සකස් කිරීමේ ක්‍රියාවලියයි. ඊට අමතරව ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ඉක්‌ටා ගිවිසුමයි. 2016 වසරේ ආරම්භයත් සමගම මේ නව ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස් විමසීම ඇරඹුණි. එහි වාර්තාවද දැන් නිකුත් වී තිබේ. නමුත් ඒ තුළින් අප දකින්නේ මහජන අදහස් නොව කමිටුවට පත් කළ ප්‍රධානීන් අභිමත ඉලක්‌කයන්ය. අනාගමික රාජ්‍යයක් බවට ලංකාව පත් කිරීම හෝ සියලුම ආගම්වලට සමතැන දීම ජාතික කොඩිය වෙනස් කිරීම. බලය බෙදා හැරීම යන කරුණුවලදී සීමිත පිරිසක් වන උතුරේ බෙදුම්වාදීන් ගේ අදහස්‌වලට කමිටුව මුල් තැන් දී තිබේ. මෙම කමිටුව නියෝජනය කරන පිරිස අතරින් බහුතරයක් බෙදුම්වාදයට පක්‌ෂවේ. ඒ බැව් එම වාර්තාවේ හැඳින්වීමෙන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් ඉදිරි මාසයේ එළියට ඒමට නියමිත මෙම ව්‍යවස්‌ථාව ගැන සමාජයේ ඇතිවූ කතාබහ බෙහෙවින් වැදගත් විය. මහානායක හිමි වරුන් ගෙන් සහ කාදිනල් වරයාගෙන් එහි ඇතැම් කරුණු වලට එල්ල වූ විරෝධය නිසා රජයේ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කර දෙන්නටද උත්සුක විය. එසේම ජනමත විචාරණයකින් තොරව මෙම ව්‍යවස්‌ථාව සම්මත කරන බවද විවිධ දේශපාලන කණ්‌ඩායම් වලින් මත පළ විය.
යහපාලන රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙයි. රජය පවත්වාගෙන යැමට නොහැකිව බැඳුම්කර මගඩි තුළින් ණය බර උත්සන්න වී නළියන කල රජය බිඳ වැටීමකට ලක් විය යුතුය. අඩු ගණනේ අග්‍රාමාත්‍යය පදවිය වෙනස් වීමකට ලක් විය යුතුය. නමුත් ජනාධිපතිවරයා කලින් ලෙසම මෙම බිඳ වැටීම වළක්‌වාගෙන සිටී. එයට හේතුව ලෙසට අපට සැලකිය හැක්‌කේ පැවති රජය පරාජය කිරීම පිණිස විදෙස් බලවේග සමග ඇතිවූ එකඟතාවයන් අර්බුදයට යැම වලක්‌වා ගැනීමයි. වෙසෙසින්ම සංහිඳියා පිළිවෙත තුළින් උතුර සහ නැගෙනහිරට අවශ්‍ය ප්‍රමාණවත් දේශපාලන බලතල ලබා දීම පිණිස පිහිටවූ සංහිඳියා ලේකම් කාරයාලය ඔස්‌සේ ඉදිරියට යන වැඩ පිළිවෙල කඩාකප්පල් කර ගැනීමට මේ පිරිසට නොහැකිය. අතුරුදන් තැනැත්තන් පිළිබඳ පණත වැඩි සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ එකඟතාවයන් ඉෂ්ට කිරීමට රජය විශේෂයෙන්ම බැඳි සිටින බවයි. ඒ අනුව ඉදිරියේදී ඉක්‌ටා ගිවිසුම අත්සන් කිරීමත් ෆෙඩරල් බලතල සහිත නව ව්‍යවස්‌ථාවක් සම්මත කිරීමත් යන කාරණා සිද්ධ කොට අවසන් කිරීමට යොමු විය හැකිය.
මේ අරමුණු මෙසේ වුවද යුද්ධයෙන් අවසන් කරන ලද කොටි ත්‍රස්‌ත බිය නැවත මතු වෙමින් පවතී. අවි ආයුද තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි දේ උතුරේ යළි සිදු වෙයි. ආරක්‌ෂක හමුදාවලට පහර දීම සිදු වෙයි. දෙමළ පොලිස් නිලධාරීන්ට ඉල්ලා අස්‌වන ලෙසට බල කෙරෙන දැන්වීම් ලැබෙයි. මීට ටික දිනකට ප්‍රථම උතුරේ මහ ඇමති විසින් කරන ලද වෛරී ප්‍රකාශවලින් පසු උතුරේ තරුණයන් ඇවිස්‌සී තිබේ. ඔවුන් උතුරේ බුදු පිළිම කුඩු කරයි. කැලෑබෝගස් වැවවැනි සාම්ප්‍රදායික සිංහල ගම්මාන සංවර්ධනය කිරීමට විරුද්ධ වෙයි. උතුරේ හමුදා කඳවරු ඉවත් කළ යුතු යෑයි විදෙස් නියෝජිතයන් හමු වේ ප්‍රකාශ වෙයි. බෞද්ධ නොවන ප්‍රදේශ ලෙස උතුර ගැන හැඳින්වීමක් කර ඇත. මේ ළඟදී ලංකාවට පැමිණි රීටා ඉසාක් නමැති එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ නියෝජිතවරිය මෙය අනුමත කරමින් ප්‍රකාශයක් ද ලබා දී තිබේ. එසේම පවතින ව්‍යවස්‌ථාවේ නවවන වගන්තිය සුදුසු නොවන බවද ඇය පෙන්වා දී තිබේ. (Article 9 of the Constitution is sometimes used to the detriment of other religions’ Construction of Buddhist temples, shrines and statues at an alarming pace in areas that were traditionally non-Buddhist” is being met with animosity.) පෙරහැර එන විට කස පුපුරුවන බව අප දනිමු. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථමවද මේ දේ සිදු විය. රටපුරා කලබගෑනි ඇති වී බලහත්කාරයෙන් ගිවිසුම අත්සන් කෙරිණ.
ඡේ. ආර්. මාමාගේ අඩිපාරේ යන වත්මන් අගමැතිවරයා සිය අරමුණු සාක්‌ෂාත් කර ගැනීමට සමස්‌ත රජයම ප්‍රාණ ඇපයට ගෙන ඇත. රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය උතුරේ සහ නැගෙනහිර දෙමළ මුස්‌ලිම් අයට බලතල නොදීම යන මිථ්‍යාවේ ඔහු සිරවී සිටී. ජනාධිපතිවරයාද ඊට දෙවැනි නැත. මේ දෙදෙනාගේ න්‍යාය පත්‍රය මත සියල්ල සිදු වෙමින් පවතී. මේ අතර තිස්‌ස අත්තනායක මහතා දෙවනි වරටද අත්අඩංගුවට පත් වී ඇප නොලබා සිපිරිගෙයට ඇතුළත් කර ඇත. ඔහුට තිබූ මුල් චෝදනාව නම් කූට ලේඛන සකස් කිරීමයි. එයට දැන් තවත් චෝදනාවක් එකතු කර ඇත. එය නම් ජාතික වාර්ගික වෛරය ඇති කිරීමට කටයුතු කිරීමයි. එවැනි නීතියක් රටේ තිබෙන බවද බොහෝ දෙනා නොදනිති. මන්ද එවැනි වරදකට මෙතෙක් චෝදනාවක් එල්ල ව නොතිබීමයි. සැබවින්ම 2007 අංක 56 දරන පනත මගින් මෙවැනි වරදවල් ආවරණය කරනු ලබයි. පසුගිය මහින්ද රාජපක්‌ෂ රජයේ කැබිනට්‌ටුව විසින් අනුමත කොට සම්මත කරන ලද මෙම පනත සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකට අනුව සකස් වූවකි. 1966 වසරේ දෙසැම්බර් මස දී එක්‌සත් ජාතීන්ගේ මණ්‌ඩලය ඉදිරියේ සම්මත වූ මෙයට 1980 වසරේ ජූනි 11 දින දී ලක් රජය අත්සන් කොට ඇත. 2005 දී රට තුළ පැවති ත්‍රස්‌ත ක්‍රියාකාරකම් යුද්ධයෙන් අවසන් කොට නැවත එම බිය ඇති නොවීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල පනතක් ගෙන ඒම එහි බලාපොරොත්තුව වන්නට ඇත. නමුත් එම රජය එම නීතියෙන් වැඩක් ගත් බව නොපෙනේ. තිස්‌ස අත්තනායක මහතා මැතිවරණයට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කාරණා තුනක් ගෙන හැර දැක්‌වීය. එයින් ප්‍රධාන තම කාරණය වන්නේ රට බෙදීම පිණිස යම් ගිවිසුමක් ඇති බවයි. දේශපාලන මැතිවරණ අවස්‌ථාවකදී මෙවැනි චෝදනා එල්ල වී ම ස්‌වභාවිකය.
මේ නව පණතේ අඩංගු කරුණු සකස් කොට තිබෙන්නේ මෙතෙක් ප්‍රමාණවත් ලෙස ව්‍යවස්‌ථාමය පිළිගැනීමක් ලබා දී නැති ඉහත කී සම්මුතියේ සඳහන් සිවිල් අයිතිවාසිකම්වලට උචිත නීති සම්පාදනය කිරීම පිණිසය. ඒ අනුව එහි තෙවනි වගන්තියෙන් ප්‍රකාශ වන්නේ මෙයයි.
කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීම එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්‌ත වන ජාතික වාර්ගික හො ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.
එහි හතර වන වගන්තියෙන් මෙසේ ප්‍රකාශ වේ. මෙම වගන්තිය යටතේ වන වරදක් සංඥෙය හා ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදු කර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්‌ථානුගත කරුණු වලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය.
තිස්‌ස අත්තනායක මහතාගේ සිද්ධිය ට අදාළව මෙම නීතිය පෙරට ගැනීම පූර්වාදර්ශයක් සැපයීම සඳහා කරන අත්හදා බැලීමකි. ඉදිරියේදී නව ව්‍යවස්‌ථාවට විරුද්ධ වන්නන්ට එරෙහිව මෙය යොදා ගත හැකි වන බවට රජය විශ්වාස කරයි. එයට අමතරව ඉක්‌ටා අත්සන් කිරීම කෙසේ හෝ කිරීම පිණිස බැඳුම්කර සිද්ධිය වැනි දේ මාධ්‍ය මගින් අනවශ්‍ය පරිදි උලුප්පා දමා කටයුතු කරන බව පෙනේ. එය අත්සන් කළහොත් දකුණු ඉන්දීය ආර්ථික කලාපයේ කොටසක් බවට උතුර සහ නැගෙනහිර පත් වේ. එවිට නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමේ ක්‍රියාවලියට ඉන්දියාවට මැදිහත් වීමේ ඉඩකඩ විවර වේ. මේ වත්මන් රජයේ න්‍යාය පත්‍රයයි. එය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය යෑයි හඳුන්වන මන්ත්‍රීවරුන්ට සුවිසල් කාර්ය භාරයක් ඉටු කළ හැකිය. එකක් නම් ව්‍යවස්‌ථාදායක සභාවට සුජාත භාවයක් ලබා නොදීම පිණිස එයින් ඉවත් වීමයි. නමුත් ඔවුහු එය දිනෙන් දින කල් දමමින් සිටිති. මෙම ක්‍රියාදාමයේ පවතින තිත්ත දේශපාලන ඇත්ත තේරුම් නොගතහොත් ජාතියක් වශයෙන් අප කිසිදා ගැලවීය නොහැකි උගුලකට හිරවීම නියතය.
මතුගම සෙනෙවිරුවන්