Featured

He is a robber….යහපාලන ආණ්ඩුවේ සීතල යුද්ධය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අතර පැවැති මත ගැටුම් දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

පසුගියදා බත්තරමුල්ල වෝටර්ස්-ඒජ් හෝටලයේදී ජනවාරි 08 වැනිදා බල පෙරළියට දායක වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්ගේ රැස්වීම් දෙකක් රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ගේ හා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් පවත්වා ඇත. එහිදී රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් පෙන්වා දී ඇත්තේ ‘රනිල් හොරු අල්ලන එක කරන්නේ නැහැ. ඒ නිසා අපි රනිල්ට ගහන්න පටන් ගන්න ඕනේ’ යන්නය. කෙසේ වෙතත් මේ බව සමන් රත්නප්‍රිය මහතා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාදීප මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතාට දැනුම් දී ඇත්තේ ‘රාජිත සහ චම්පිකගේ මේ කටයුතු අපි ඉංග්‍රිසි මාධ්‍යයේ පළ කළ යුතුයි‍’ යනුවෙනි. ඒ අනුව පසුගියදා මේ රැස්වීම් පිළිබදවත් අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය පිළිබදවත් Daily Mirror පුවත්පතෙහි ලිපියක් පළව තිබිණි.

ඉන් අනතුරුව රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරු තම මාධ්‍ය සබදතා තහවුරුකර ගැනීමේ මෙහයුමක නිරතව තිබේ. පසුගියදා සමාජජාලා වෙබ් අඩවි මගින් අනාවරණය කළ ශ්‍රී ලංකා විදෙස් ජනමාධ්‍යවේදින්ගේ සංගමයේ නියෝජිතයන් හා රාජිත සේනාරත්න මහතා අතර පැවැති සුහද හමුවද ඒ අනුව සංවිධානය කළ ඒකකි. මෙම සුහද හමුවලදී මාධ්‍ය ප්‍රධානීන් සමග තම සබදතා තහවුරුකර ගන්නා අතර අදාළ අමාත්‍යවරුන් දෙදෙනා ‘ඒකාබද්ධ විපක්ෂයට හා මහින්ද රාජපක්ෂට’ මාධ්‍ය තුළ වෙන්කරනු ලබන ඉඩකඩ අඩු කරන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මෙම ගැටුම තවදුරටත් මුහුකුරා ගිය බවක් දැක ගත හැකි වී ඇත්තේ පසුගිය මැයි 12 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර හෙද දින සමුළුවේදීය. එම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගී වී ඇත්තේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නික්ම ගිය පසුවය.

මේ අතර ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ (Regaining Sri Lanka) ආකාරයේ නව ආර්ථික සැලැස්මක් සැකසීමේ කටයුතු අග්‍රාමාත්‍ය හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අරඹා තිබේ. එය සකස් කිරිමේ කටයුතු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තිදෙනකු වෙත පවරා ඇති අතර ඊට අදාළ කටයුතු අධීක්ෂණය සදහා මලික් සමරවික්‍රම, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ උපදේශකවරුන් වන පාස්කරලිංගම් හා චරිත රත්වත්තේ යන මහත්වරුන් පත් කොට ඇත.

මෙම ආර්ථික සැලසුම සකස් කිරිමේ කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. එහිදී ආර්ථික සැලස්ම සැකසීමේ කටයුතු 80%ක් අවසන් බව අදාළ පිරිස් පෙන්වා දී ඇත. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව පවසා ඇත්තේ ‘මෙගා පොලිස් අමාත්‍යාංශය සුපරීක්ෂණයට පමණක් හදපු එකක්. ඇමතිට සල්ලි වෙන් කරන්න එපා! He is a robber (එයා හොරෙක්)’ යනුවෙනි.

එසේම රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයකු වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා අල්ලස් ගන්නා බවට ප්‍රචාරයක් ගෙන යමින් රනිල් වික්‍රමසිංහ මහතාට සූක්ෂ්ම ලෙස ප්‍රහාරයක් එල්ල කිරීම පිටුපස ද චම්පික සහ රාජිත යන අමාත්‍යවරුන් සිටින බව ඉහත ආරංචි මාර්ග පෙන්වා දෙයි.

තවද නුදුරේදී පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පළ කිරීමට නියමිත ග්‍රන්ථයෙන් මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කිරීමට මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සැලසුම් විවේචනයටද සූදානම් වන බව වාර්තාවේ. මේ බව කල් තියා දැනගත් ලංකාදීප මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා ඒ පිළිබදව දැනටමත් රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කර තිබේ. මේ සියලු කරුණු අනුව පෙනී යන්නේ ආණ්ඩුව තුළ පවතින සීතල යුද්ධය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින බව යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරුකර සිටී.

‘උකුසු ඇස’

Top