Featured

සාලාව අවි ගබඩාව පුපුරුවා හැරියාද? ආණ්ඩුව යමක් සගවනවා!

යුද හමුදා බුද්ධි අංශ, සාලාව ප‍්‍රදේශය අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්‍ෂණවලින් ඉවත් කරනු ලැබුවේ කුමක් නිසාද? එවැන්නක් සිදු කරන්නේ ආණ්ඩුවට මෙහිදී සැගවීමට යමක් ඇති නිසාද? යන ප‍්‍රශ්න රට හමුවේ තබන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අද(07) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

සාලාව ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරේ සිදු වූ මහා පිපිරීම පිළිබඳව. කාලතුවක්කු උණ්ඩ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ටොන් 10ක් පමණ මෙහිදී පිපුරුණා. ගිනි ගැනීමට ලක් වුණා. එමගින් අවට ප‍්‍රදේශවල නිවාස සහ දේපළවලට විශාල හැනියක් ද සිදු වුණා. අදාළ ප‍්‍රදේශයේ ජන ජීවිතය ද අඩාල වුණා. ‘මෙම සිදුවීම හට ගත්තේ කොසේද?’ කියා මෙතෙක් නිවැරදි කරුණු අනාවරණය වීමක් සිදු වී නැහැ. අපි මෙම සිදුවීම දිහා බලන්නේ හුදකලා, තනි සිදුවීමක් ලෙස නොවෙයි. ඔබ දන්නවා මේ ආණ්ඩුව බලයට පැමිණි මොහොතේ සිටම ජාතික ආරක්‍ෂාව දුර්වල කරනු ලැබුවා. මංගල සමරවීර විදේශ ඇමතිවරයා ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිිරිපිට, තමන්ගේ හමුදාව දෙමළ ජනතාවට හිරිහැර කළ බවට චැනල් 4 විඩියෝ පටයේ තිබෙන අසත්‍ය රූප රාමු සත්‍ය ඒවා බවට පිළිගනු ලබනවා. ඒ විතරක් නොවෙයි අද උතුරේ ආරක්‍ෂක හමුදා කඳවුරු තුළට ගාල් කරලා. සම්බන්ධන්ලා කඳවුරු තුළට කඩා වදින විට නිවට නියාලූව බලා සිටින තත්වයකට අපේ ආරක්‍ෂක හමුදා පත් කරලා තිබෙනවා. තමන්ගේ ඉහළ නිලධාරියකුට බැණ වැදුණු නැගෙනහිර මහ ඇමතිවරයා නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයට ගෙනවිල්ලා දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වලා මහ ඇමතිවරයාගේ සිතත්, බඩත් පිනවන ආකාරයේ තත්වයකට නාවික හමුදාව ඇදවට්ටලා තිබෙනවා.

‘අවි බලය අතිනුත් හමුදාව දුර්වල කිරීමක්ද?’

ඒ අනුව අපට පෙනෙනවා අපේ රටේ ආරක්ෂක හමුදාවන් මානසිකව බිඳ වට්ටමින් තිබෙන බව. ඒ විතරක් නොවෙයි මේ ආණ්ඩුව මහා බි‍්‍රතාන්‍යයෙන් පවුම් දහස් ගණනක මුදලක් අරගෙන ආරක්‍ෂක හමුදාවන් කුඩා කරන්න, හකුළුවන්න ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කරලා තිබෙනවා. අද ආරක්‍ෂක හමුදා මානසිකව බිඳ වැට්ටවීම ප‍්‍රමාණයෙන් කුඩා කිරීම යන උපායමාර්ගය අනුව ඉදිරියට යමින් ආරක්‍ෂක හමුදා අවි බලය අතිනුත් දුර්වල කිරිමේ පියවරක් ලෙස ද අපි මේ සාලාව අවි ගබඩාව පිපිරීම වටහා ගත යුත්තේ? කියන ප‍්‍රශ්නය අපි මතු කරන්නේ ඉතාම සාධාරණ හේතු ඇතිව. මෙම පිපිරීමට අදාළව සිදු කරන පරික්‍ෂණවලට යුද හමුදා බුද්ධි අංශ සම්බන්ධකර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රහස් පොලීසිය ඇතුළු අනෙකුත් බුද්ධි අංශ වගේම යුද හමුදා බුද්ධි අංශත් මෙම පිපිරීමට හේතුව සොයන පරික්‍ෂණවලට සම්බන්ධකර ගැනීමේ වරද කුමක්ද? යුද හමුදා බුද්ධි අංශ මෙම පරික්‍ෂණවලින් ඉවත් කරන්නේ ආණ්ඩුවට යමක් හංගන්න තිබෙන නිසාද? ආණ්ඩුවට හංගන්න දෙයක් නැතිනම් කරන්න තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ඇතුළු සියලූ බුද්ධි අංශවලට ‘සිදු වූයේ කුමක්ද?’ කියා සොයා බැලීමට විවෘත ඉඩකඩක් නිර්මාණයකර දීම. එසේ නොකොට ඇයි යුද හමුදා බුද්ධි අංශ මෙම පරික්‍ෂණවලින් ඉවත් කරන්නේ.?

‘අවි ගබඩාව පුපුරුවා හැරියාද?’

අපි දන්නවා අවුරුදු 20කට පමණ ප‍්‍රමාණවත් අවි තොගයක් මේ ස්ථානයේ ගබසා කොට තිබූ බව. මේ පිපිරීම මගින් ආරක්‍ෂක හමුදාවන්හි අවි බලයට සිදුවුණු හානිය සුළුපටු හානියක් නොවෙයි. එම හානිය මුදලින් තක්සේරු කරලා පමණක් තේරුම් ගැනීමට බැහැ. යුද හමුදා බුද්ධි අංශයට තමයි මේ් පරික්‍ෂණවලදී වැඩි මෙහෙයක් ඉටු කළ හැක්කේ. අපි දන්නවා, සතුරා මෙවැනි අවි ගබඩාවක් අත්පත් කර ගත්තාම එය විනාශකර දැමීමට විකල්ප ක‍්‍රමෝපායක් ඕනෑම ආරක්‍ෂක හමුදා කඳවුරක තිබෙනවා. මෙතැනදී සිදු වූයේ ඒකද? නැතිනම් වෙනත් දෙයක්ද? මේ බව හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන්නේ තවත් මෙවැනිම අවි ගබඩා කිහිපයක් මේ රටේ තිබෙන නිසයි.

‘ආණ්ඩුවට හංගන්න දෙයක් තිබෙනවාද?’

වත්මන් යුද හමුදාපතිවරයා යුද හමුදා ඉංජිනේරු බලකායේ නිලධාරියෙක්. ඒ නිසාම ඔහු යුද හමුදාපති ධුරයට පත් වුණාම මෙවැනි අවි ගබඩා පිළිබඳව සැලකිළිමත් වෙන්න ඇති. කෙසේ වුවත් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ කාලයේ මෙම කඳවුරෙන් අවි ඉවත් කිරිමේ වැඩපිළිළෙක් ආරම්භ කරලා තිබුණා. මා දන්නා අන්දමින් මේ අවි ගබඩාවේ තිබුණු අවි ප‍්‍රමාණයෙන් 50%ක් පමණ ඒ අනුව වෙනත් ස්ථාන වෙත ගෙන ගොස් තිබුණා. 2016 ජනවාරි 08 වැනිදා ආණ්ඩු පෙරළියෙන් පසුව එම ක‍්‍රියාවලිය ඉදිරියට ගියේ නැහැ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටි පශූසම්පත් සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් දෙකක් ආරක්‍ෂක අමාත්‍යාංශය හරහා යුද හමුදාවට පවරා ගෙනයි මෙම කඳවුරේ තිබුණු අවි ප‍්‍රමාණය 50%කින් පමණ අඩුකර තිබුණේ. එහෙම නොකළා නම් මේ සිදු වූ විනාශය දෙගුණ, තෙගුණ, සිව්ගුණ වෙන්න තිබුණා. අපට පැහැදිලි නැත්තේ, ‘යුද හමුදාපතිවරයාට මේ පිළිබඳව අවබෝධයක් තිබියදීත් 2015 ජනවාරි 08 වැනිදායින් පසුව මෙම කඳවුරෙන් අවි ඉවත්කර ගැනීමේ කටයුතු නතර වුණේ ඇයි?’ කියලයි. මෙම ප‍්‍රශ්නය සම`ග අපි කලින් මතු කළ ‘යුද හමුදා බුද්ධි අංශ මෙම පිපිරීමට හේතු සොයා බලන පරික්‍ෂණවලින් ඉවත් කළේ ඇයි?’ කියන ප‍්‍රශ්නය නිසා මතුවන සැකය විසින් තමයි අපට හිතෙන්නේ ‘ආණ්ඩුවට මේ ගැන හැංගීමට දෙයක් තිබෙනවා’ කියලා.

‘නාවික හමුදාවේ සිදු වූ අපූරු සිදුවීමක්’

සාම්පූර් නාවික හමුදා කඳවුරේ ප‍්‍රධාන නිලධාරියාට නැගෙනහිර මහ ඇමතිවරයා විසින් බැණ වදින අවස්ථාව වන විට නැගෙනහිර නාවික ආඥාපති ධුරය දැරුවේ රියර් අද්මිරාල් නීල් රොසයිරෝ. ඔහු බර්ගර් ජාතිකයකු වුවත් නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහයෝගය දිනාගෙන තම රාජකාරී කටයුතු ඉතාමත් ප‍්‍රශස්ත මට්ටමින් ඉටු කළ කෙනෙක් බව තමයි නාවික හමුදාවෙත් ප‍්‍රදේශවාසීන්ගේත් පිළිගැනීම වෙලා තිබුණේ. එතුමන් එක පාරටම මාරුකර යවලා තිබෙනවා. ඒ වෙනුවට නැෙ`ගනහිර නාවික හමුදා ආඥාපති ධුරයට පත්කරලා තියෙන්නේ රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා. ඔහු නාවික හමුදාවේ සේවය කරලා එයින් සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ නිලධාරියෙක්. පසුව ඔහු මෙවැනි තනතුරකට පත්වීම අරුම පුදුම තත්වයක්. මෙතැනදී අපි පැහැදිලිවම ඔහුගේ ජාතිකත්වය පිළිබඳ කිසිදු ප‍්‍රශ්නයක් මතු කරන්නේ නැහැ. ‘සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද නැතිනම් බර්ගර් ද ’ කියන ප‍්‍රශ්නය නොවෙයි අපි මෙතැනදී මතු කරන්නේ. මේ පත්වීම පිටුපස තිබෙන ‘අරුම පුදුම කතාවයි’ අපි ප‍්‍රශ්න කරන්නේ. මේ ට‍්‍රැවිස් සින්නයියා නාවික හමුදාවට සම්බන්ධ වෙන්නේ 1982 නොවැම්බර් 15 වැනිදායි. එතුමා විවාහක නිලධාරියෙක්. ඔහුගේ දරු පවුල දැනට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රෙිලියාවේ. ඔහු 2011 ජුනි 25 වැනිදා තමන්ගේ දරුවාගේ කාරණාවක් සහිත ලිපියක් භාරදීලා, නාවික හමුදාවෙන් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙනවා. ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඔහු කළේ කුමක්ද?

‘ඇමෙරිකාවේ වසර හතරහමාරක් සේවය කරලා’

නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව සින්නයියා මහත්තයා පසුදා(2011 ජුනි 26) සිට නව රැකියාවකට යනවා. රැකියා ස්ථානය කොළඹ පිහිටි ඇමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය. එහි ආරක්‍ෂක අංශයේ රැකියාවකටයි ඔහු යන්නේ. තනතුර ආරක්‍ෂක කළමනාකරු (Security Coordinator) ඔහු එතැන් සිට අවුරුදු හතරහමාරක කාලයක් ඇමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ සේවය කරනවා. ඔහු සේවය කරන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ආරක්‍ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට. එහෙම හිටපු සින්නයියා මහත්තයාට මේ අණ්ඩුව බලයට ආවාට පස්සේ අරුම පුදුම දෙයක් වෙනවා. මේ ආණ්ඩුව ඔහුව දේශපාලන පලිගැනීමකට ලක් වූ අයෙක් විදියට අර්ථකථනය කරනවා. ඒ විතරක් නොවෙයි ඔහුට රියර් අද්මිරාල් කියන උසස්වීමත් ලබා දෙනවා. 2015 දෙසැම්බර් 08 වැනිදා සිට බලපැවැත්වෙන විදියට යළි මේ සින්නයියා මහත්තයා සේවයේ පිහිටු වීමත් සිදු කරනවා. නාවික හමුදාවේ පමණක් නොවෙයි ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිදු හමුදාවක මීට පෙර මෙවැනි දෙයක් සිදු වෙලා නැහැ. ආරක්‍ෂක හමුදාවල දේශපාලන පලිගැනීම් කියන ඒවා සිදු නොවන තරම්. සිදු වුණත් ඒවා ඉතා විරල දේවල්. මොහුට දේශපාලන පලිගැනීම් සිදු වූවා යැයි කීමට කිසිදු හේතුවක් නැහැ. ඔහු සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ නිලධාරියෙක්. නාවික හමුදාවේ දේශපාලන පලිගැනීමට ලක් වුවන් යළි බඳවා ගත යුතුද? නැද්ද කියන නිර්දේශය ලබා දීමට කමිටුවක් පත් කරනු ලබනවා. මේ කමිටුවට කිසිදු මිලිටරි නිලධාරියකු පත්කර නැහැ. ති‍්‍රවිධ හමුදා නිලධාරීන් යළි බඳවා ගැනීමට අදාළව පත් කරනු ලබන මෙවැනි කමිටුවලට අනිවාර්යෙන්ම විශ‍්‍රාම ගිය හෝ දැනට සේවයේ නියුතු හමුදා නිලධාරියකු පත් කිරීම සිදු කරනවා. එහෙම හමුදාමය චරිත නොමැති මෙම කමිටුවේදී නිර්දේශ කරනවා ‘ට‍්‍රැවිස් සින්නයියා යළි නාවික හමුදාවට ඇතුළත් කර ගෙන, ඔහුට ලක්‍ෂ 42ක වන්දියක් ලබා දිය යුතුයි. ඊට අමතරව ඔහු රියර් අද්ම්රාල් තනතුරට උසස් කළ යුතුයි’ කියලා. මෙහෙම නාවික හමුදාවට එක්වන ට‍්‍රැවිස් සින්නයියා මහතා මේ වන විට නැගෙනහිර නාවික ආඥාපති බවට පත්කර තිබෙනවා.

ඔබ දන්නවා, ඇමෙරිකා එක්සත් ජනපදයට, ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ඉතාමත් සංවේදී කලාපයක් කියලා. ඔවුන්ගේ අභිප‍්‍රාය ත‍්‍රිකුණාමල වරාය තම නාවික හමුදා කටයුතු සඳහා යොදා ගැනීම. ඒ අනුව ගත්තාම නැගෙනහිර පළාත ඇමෙරිකානු එක්සත් ජනපද උවමනාවන් සමග තදින් බැඳුණු කලාපයක්. ඇමෙරිකා එක්සත් ජනපදයට මෙන්ම පෙන්ටගනයට අවුරුදු හතරහමාරක් සේවය කළ සින්නයියා මහත්තයා නැගෙනහිර නාවික ආඥාපති වන්නේ අහම්බයක් ලෙස නොවන බව ඔබට පැහැදිලි ඇති. අද මේ රටේ ආරක්‍ෂක අංශ පවා මෙහෙයවන්නේ විදේශ රටවල න්‍යාය පත‍්‍රවලට හා උවමනාවන්ට අනුව බව අපි වටහාගත යුතුයි. මේක අපේ රටේ ස්වෛරීභාවය පිළිබඳ ප‍්‍රශ්නයක්. අද මේ රාජ්‍යය මෙහෙයවන්නේ ජාතික අභිලාෂයන්ට අනුව නොවෙයි විදේශීය තානාපති කාර්යාල හා ඔවුන්ගේ අභිමතාර්ථ අනුවයි.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.07

Top