Anonymous Reporter

මහ බැංකු මහ හොරකමේ මහ මොළකරුවා කවුද?

හවුල් ආණ්ඩුවේ මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තම මහබැංකු අධිපතිධූරය අහිමි වී අවසන්ය. 2015 ජනවාරි 08 ආණ්ඩුව පත් වී දින සියයෙන් බාගයක් යන්නට මත්තෙන් සිදු වූ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩිය පිළිබඳ මේ වන විට නම් බොහෝ දෙනා බොහෝ දේ කියා තිබේ. ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශවය තව දුරටත් අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධූරය දික් කරගැනීමට කළ හැකි හැම උත්සාහයක්ම දැරූ බව දැන් රහසක් නොවේ. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා කිට්ටුවන්ත ඇමතිවරුන් එය තමන්ගේ කරට ගෙන ක්‍රියාකරන අයුරක් පසුගිය කාලය පුරාම නිරීක්ෂණය කළ හැකි විය. “ලොක්කගේ මිනිහා” වෙනුවෙන් ඔවුන්ගේ උත්සාහය (දැනට) අපතේ ගොස් තිබේ. රනිල් පාර්ශවය මහේන්ද්‍රන් තබා ගැනීමට කොතරම් නූල් සූත්තර ඇඹරුවත් සමාජයෙන් ඒ වෙද්දී බැඳුම්කර මගඩිය පිළිබඳ එල්ලවී ඇති ප්‍රතිවිරෝධය හමුවේ රනිල්ලාගේ ඒ උත්සාහය (තාවකාලිකව හෝ) අසාර්ථක වීය.

විශ්ලේෂකයන් පවසන කරුණ නම් මේ මගඩිය හරහා රටට සිදුවී ඇති අලාභය මහවැලි ව්‍යාපාර දෙක තුනක් හදන්නට තරම් සෑහෙන විශ්වාස කිරිමට පවා අපහසු තරමේ දැවැන්ත මුදලක් බවයි. කෝප් කමිටුව හරහා දැනට කෙරෙන සොයා බැලීම මගින් මේ පිළිබඳ නිවරදි චිත්‍රය නිවරදි පරිමාණයෙන් හෙළි වෙතැයි යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

බොහෝ දෙනා මේ පිළිබඳ චෝදනා එල්ල කිරීමේදී අර්ජුන් මහේන්ද්‍රන් වෙත හුදකලාවත් , තවත් සමහරෙක් අර්ජුන්-රවී යුගලයටත් චෝදනා එල්ල කරනු පෙනේ. ඒ බොහෝ දෙනා හිතා මතා හෝ නොසිතාම රනිල් වික්‍රමසිංහ මහතා මේ චිත්‍රයෙන් ඉවත් කර කතාව ගලපාගෙන තිබේ.

නමුත් එය සැබෑවක්ද?

එතෙක් කලක් පැවැති සම්ප්‍රදාය බිඳ හෙළමින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා අගමැති යටතේ පවතින ආර්ථික කටයුතු අමාත්‍යාංශයට යා කරගත්තේ කවුද?ආණ්ඩුව තුල එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ ප්‍රබල ඇමති වරුන් පවා දැඩිව විරෝධය පළ කරද්දී එදා 2015 ජනවාරි මහ බැංකු අධිපතිධූරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්නේ කවුද?

(ඒ වෙද්දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා කොටස් ගණුදෙනු ව්‍යාපාරයේ නිරතවීම නිසා තමන් ඔහුට විරුද්ධ වූ බව රජයේ එජාප ඇමතිවරයෙක් මෑතකදී හෙළි කර තිබිණ. ඒ අනුව මේ සිදු වී ඇති මංකොල්ලය නොදැනුවත්කමින් සිදුවූවක් ලෙස අත හැර දැමිය යුත්තක් නම් නොවන බව පැහැදිළිය. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරගත්තේම මේ සඳහා යැයි සැක කිරීම අසාධාරණ නොවේ. )

පළමු බැඳුම්කර මගඩියේන් පසු ඒ පිළිබඳ විධිමත් නීතිමය පියවර ගැනීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ සිරිකොතට සෘජුව සම්බන්ධ නීතිඥයන් තුන් දෙනෙකු හරහා පරීක්ෂණයක් යැයි කියා ඇස්බැන්දුමක් කර අර්ජුන් මහේන්ද්‍රන්ට තවත් තහවුරු වන්නට ඉඩ දුන්නේ කවුද?. (අඩු තරමින් ඒ අවස්ථාවේ මෙය වලක්වා ගත්තා නම් 1016 මැයි සිදු වූ දෙවන බැඳුම්කර මගඩිය නවතා ගත හැකිව තිබිණ.)

දින 100 ආණ්ඩුවේ කෝප් කමිටුව විසින් මේ බැඳුම්කර මගඩිය හෙළි කරමින් පාර්ලිමේන්තුවට වාර්ථාවක් ඉදිරිපත් කිරීම නවතා ලමින් ඊට කලින් දා රාත්‍රියේ ආන්ඩුව විසුරුවා හැරීම හරහා සිරිසේන ජනාධිපතිවරයා විසින් බේරාගත්තේ කවුද?
තවත් බොහෝ කරුණු තිබේ.නමුත් මේ ටික සෑහේ.

අද හදිසියේ අවදි වී බැඳුම්කර හොරකමෙන් රට බේරාගත් වීරයන් සේ රඟන යහපාලනය වෙනුවෙන් කඩේ ගොස් ඇඳි වතද අහිමි කරගෙන සිටින විකල්ප ගෝත්‍රයේ තක්ක්කඩි ආචාර්‍යවරුන් ඇතුළු බොරු කාරයන් අද කුමක් කීවද එදා බැඳුම්කර මගඩිය පිළිබඳ ආචාර්‍ය නාලක ගොඩහේවා අදී වියතුන් නොබියව අදහස් පළ කරද්දී මේ තක්කඩියන් කළේ ඒවාට සිනහසීමය. එසේත් නැත්නම් එම චෝදනා නගන්නගේ සුජාතභාවයේ ඇද කුද සෙවීමය.නමුත් තවදුරටත් මේ මළකුණේ ගඳ වසං කර ඉදිරියට යාම අපහසු බැවින් අද ඔවුන් තාලය මාරු කර තිබේ. නමුත් තාලය වෙනස් වුවත් මේ තක්කඩියන් ගයන්නේ එකම බයිලාව බව අමතක නොකළයුතුය.

-යටියන ප්‍රදීප් කුමාර-

මීට වසරකට පමන ඉහත යුතුකම සංවාද කවය පැවැත්වූ “වෙනස සැපද?” ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා මේ බැඳුම්කර මගඩියේ සැබෑ මහමොළකරුවා කවුද යන්න පිළිබඳ සිදු කළ මේ හෙළිදරව්ව අද වඩා හොඳින් පැහැදිලි වී ඇතිවා නොවේද?

ගෙවිඳු කුමාරතුංග මහතාගේ කතාවට මෙතනින් සවන් දෙන්න.

Top