Featured

කොටි “තේවන්ගේ” අලුත්ම බොරුව හෙවත් පාහර කොටි 12000කට විෂ එන්නත් කිරිම

කොටි සංවිධානය පරාජය වී සත්වසරක්‌ ගතවන අවස්‌ථාවේ හිටපු කොටි හා ඔවුන්ගේ ආධාරකරුවෝ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව තවත් බොරුවක්‌ එළිදක්‌වා ඇත.ද්‍රවිඩ සංධානයේ මෙහෙයවීමෙන් යුද අපරාධ පිළිබඳ සෙවීමේ කාර්ය සාධක බළකාය නමින් හඳුන්වාගත් කමිටුවක්‌ හමුවේ ප්‍රකාශය කළ ඔඩ්ඩුසුඩ්ඩාන්හි එස්‌. තේවන් නමැති හිටපු කොටි ත්‍රස්‌තයා මෙලෙස ප්‍රකාශ කර ඇත.

“මම කොටි සංවිධානයේ සේවය කරන විට කිලෝ 100 ක බඩු තොගයක්‌ සමඟ කිලෝමීටර් ගණනක්‌ දිව්වා. එහෙත් දැන් මට සුළු බරක්‌ එසවීමට නොහැකියි. මගේ ඇස්‌වල දර්ශන පථය පවා දුර්වල වෙලා. පුනරුත්ථාපන කඳවුරේ සිටි රැඳවියන්ට යම් බෙහෙතක්‌ එන්නත් කළා. එක්‌ කොටි ක්‍රියාකාරියෙක්‌ මිය ගියා. තවත් අයට එම එන්නතින් ප්‍රශ්න ඇති වුණා. පුනරුත්ථාපන කඳවුරින් නිදහස්‌ කළාට පසු මගේ සිරුරේ වෙනස්‌වීමක්‌ සිදුවුණා.”

තේවන් කළ මෙම ප්‍රකාශයෙන් පසු කොළඹ කොටි හිතවාදී ද්‍රවිඩ මාධ්‍ය පැවසුවේ පුනරුත්ථාපන කඳවුරුවලදී හිටපු කොටි ක්‍රියාකාරීන්ට එන්නත් විදීම නිසා 105 ක්‌ අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇති බවයි. මෙම ප්‍රකාශයත් සමඟම උතුරු පළාත් සභාවේ මුලතිව් දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ටී. රවිකරන් සහ හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ආවේශ වී පුනරුත්ථාපනයට ලක්‌ වූ සියලුම හිටපු කොටි ක්‍රියාකාරීන් විදේශ වෛද්‍ය කණ්‌ඩායමක්‌ ලවා පරීක්‍ෂාවට ලක්‌ කළ යුතු බව කියා සිටියහ. සුරේශ් ප්‍රේමචන්ද්‍රන් තවදුරටත් මෙලෙස පවසා ඇත.

“එන්නත් ශරීරගත වීමේ සිද්ධිය ඇසූ හිටපු කොටි ක්‍රියාකාරීන්ගේ පවුල්වල අය කම්පනයට පත්වී තිබෙනවා. මේ නිසා උතුරු පළාත් සභාවට යෝජනාවක්‌ ගෙන ඒමට තීරණය කර තිබෙනවා. මේ ගැන මම උතුරු මහ ඇමැති සමඟ ද සාකච්ඡා කළා. ඔහුත් කරුණු කීපයක්‌ පළාත් සභාවට ඉදිරිපත් කරන බව කියා සිටියා.

සත්වසරකට පසු හිටපු කොටි ත්‍රස්‌තයකු වූ තේවන් කළ මෙම ප්‍රකාශය විගස ඉන්දීය මාධ්‍ය වෙතද ප්‍රචාරය විය. එහෙත් එම ප්‍රකාශය කළේ තේවන් බව ඉන්දීය මාධ්‍ය හෙළි කළේ නැත.

ශ්‍රී ලංකා හමුදාවේ පුනරුත්ථාපන කඳවුරේ කොටින්ට එන්නත් ශරීරගත කළ බවට එල්ල කළ එම සාවද්‍ය චෝදනාව අනතුරුව උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය සත්‍යලිංගම් වෙතද යොමු විය. එම හිටපු කොටි ක්‍රියාකාරීන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කරන බව සත්‍යලිංගම් ප්‍රකාශ කර ඇත.

තේවන් නමැති හිටපු කොටි ත්‍රස්‌තයා නැඟූ එකී එන්නත් ශරීරගත කිරීමේ චෝදනාව ඩිමෝක්‍රටික්‌ කාඩර්ස්‌ නමින් හඳුන්වන හිටපු කොටි ත්‍රස්‌තයන් ආරම්භ කළ පක්‍ෂය වෙත ද ප්‍රචාරය විය. එම පක්‍ෂයේ ප්‍රකාශක සී. චන්ද්‍රලිංගම් නමැත්තාද ප්‍රකාශයක්‌ කරමින් පුනරුත්ථාපනය වූ හිටපු කොටි සියයක්‌ ගත වූ කාලයේ මියගිය බවත් ඔවුන් මිය ගියේ අබිරහස්‌ හේතූන් මත බව ද පළ කළේය.

චන්ද්‍රලිංගම් පසුගියදා පිළිකාවකින් මියගිය කොටි කාන්තා බළකායේ නායිකා තමිලිනීගේ මරණය ගැන ද සැක පහළ කළේය. එහෙත් තමිලිනී කිසිවිටෙක හමුදාව තම සිරුරට ඖෂධ එන්නත් කළ බවට පැමිණිලි කළේ නැත. එසේම මහරගම පිළිකා රෝහල පවා තහවුරු කළේ ඇයට පිළිකා රෝගය වැළඳී තිබූ බවයි.

එසේ වුවත් බිහිසුණු අපරාධ රැසකට සම්බන්ධ වී නිදහස ලබා ඇති හිටපු කොටි ත්‍රස්‌තයන් දැන් උත්සාහ කරන්නේ තමිලිනිගේ පිළිකා රෝගය ද සැකකටයුතු එන්නතක්‌ ශරීරගත වීමෙන් සිදුවූ දෙයක්‌ ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට ඒත්තු ගැන්වීමටයි.

මේ වන විට එම සාවද්‍ය චෝදනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනී යස්‌මින් සුකා වෙත ද ඉදිරිපත් කිරීමට හිටපු කොටි ක්‍රියාකාරීන් පිරිස ක්‍රියා කර ඇත.

මේ සම්බන්ධයෙන් එම ඩිමෝක්‍රටික්‌ කාඩර්ස්‌ නමැති පක්‍ෂය මෙහෙයවන යාපනයේ උදයන් පුවත්පතේ හිටපු කර්තෘ නඩේසපිල්ලේ විද්‍යාදරන් ශ්‍රී ලංකා රජය වෙත සන්දේශයක්‌ ඉදිරිපත් කරමින් ප්‍රතිචාර දක්‌වන ලෙස ඉල්ලා ඇත.

මේ පසුබිම මත කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ලන්ඩන් නුවරදී මිය ගියේ ශ්‍රී ලංකා හමුදාව විෂ එන්නතක්‌ ශරීරගත කිරීම නිසාද?

සයනයිඩ් කරල් භාවිත කළේ හිටපු කොටි ක්‍රියාකාරීන්ය. සයනයිඩ් යනු උග්‍ර විෂ වර්ගයකි. එහෙත් හිටපු කොටින්ගේ සිරුරවලට සයනයිඩ් විෂ ශරීරගත වූයේද යන්න ගැන මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. මෙම සයනයිඩ් කරල් සහිත කොපු කොටි පළඳගන සිටියහ.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාව හිටපු කොටි ත්‍රස්‌තයන්ට විෂ එන්නතක්‌ ශරිරගත කළ බවට එල්ල කරන චෝදනාව 2009 වසරින් පසු එළිදැක්‌වුයේ 2016 ජුලි 30 දායි. එසේම 2009 සිට 2016 දක්‌වා කාලය තුළ හිටපු කොටි 105 ක්‌ අබිරහස්‌ ලෙස මියගිය බවට වාර්තා වූයේද මුල්වරටය. මෙතෙක්‌ එවන් සංඛ්‍යා ලේඛන ප්‍රකාශය ට පත් වී නොතිබුණි. එසේ නම් මේ සාවද්‍ය චෝදනාව හිටපු කොටි ත්‍රස්‌තයන් සමඟ එක්‌වී ක්‍රියාකරන ද්‍රවිඩ සංධාන දේශපාලකයන්ගේ තවත් මෙහෙයුමක්‌ නොවන්නේද. මේ දක්‌වාම මියගිය කොටි ත්‍රස්‌තයකුගේ සිරුරේ විෂ තිබූ බවට වාර්තා වී නැත. කිසිදු මරණ පරීක්‍ෂණ වාර්තාවක ද එවැන්නක්‌ සඳහන් වී නොතිබුණි. එසේ නම් වසර 7 කට පසු මෙවන් භයානක චෝදනාවක්‌ එල්ලවූයේ කෙසේද?

යුද අපරාධ සිදු කළ කොටි යුද අපරාධ විමර්ශනය සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් පත් කළ යුතු බව කියා සිටියේය. උතුරු පළාත් සභාව ඒ සඳහා යෝජනාවක්‌ සම්මත කළේය. දැන් එහි 2 වැනි අදියර ක්‍රියාත්මක වී ඇත. ඒ හිටපු කොටි 105 අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇති බව දක්‌වමින් පුනරුත්ථාපනය වූ කොටි ක්‍රියාකාරීන් විදේශ වෛද්‍යවරුන් ලවා වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කරන ලෙසට ඉල්ලීමක්‌ කිරීමයි.

වන්නි මෙහෙයුමින් පසු හමුදාවට බාර වූ 12000 ක්‌ රජය කඳවුරුවල රඳවා පසුව නිදහස්‌ කරනු ලැබීය. එසේ නම් මෙම 12000 ක ද්‍රවිඩයන්ගේ සිරුරුවලට ද විෂ එන්නත් ශරීරගත කළේද?

මෙම සාවද්‍ය චෝදනාව ගැන ද්‍රවිඩ සංධාන දේශපාලකයෙක්‌ ඉන්දීය මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ මියගිය සංඛ්‍යාව ගැන නිසි වාර්තා හෝ මරණවලට හේතු නොදන්නා නිසා ඒ ගැන පරීක්‍ෂණයක්‌ කරන බවයි.

මේ අතර ද්‍රවිඩ සංධාන කාර්ය සාධක බළකාය හමුවට ඉදිරිපත් වූ තේවන් එම විෂ එන්නත් චෝදනාව ඉදිරිපත් කිරීමට සයවසරක්‌ ගත කළේ මන්ද හා ඒ ගැන ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයට පැමිණිලි නොකළේ මන්දැයි යන්න සැකයට තුඩු දෙන කරුණකි.

රැඳවුම් භාරයේ සිටින සිරකරුවන්ට විෂ එන්නත් කිරීම සිද්ධිය පිළිබඳව නිරීක්‍ෂණය කරන විට එවැනි හැකියාවක්‌ ඇත්තේ ඇමරිකානු සීඅයිඒ , ඊශ්‍රායල් මොසාඩ් සහ රුසියානු එµaaaaa. එස්‌. බී. වැනි බුද්ධි සේවාවන්ට පමණකි. රුසියානු බුද්ධි සේවාව බ්‍රිතාන්‍යයේ සිටි කේ. ජී. බී. බුද්ධී සේවාවේ හිsටපු නියෝජිත ඇලෙක්‌සැන්ඩර් ලිව්චෙනිස්‌කෝගේ තේ කෝප්පයට පොලියුරින්රි නමැති අධික විෂ ද්‍රව්‍ය දැමීම නිසා ඔහු මරණයට පත් වූ බව වාර්තා විය.

එසේම හිටපු පලස්‌තීන නායක යසර් අරපත්ගේ සිරුරට ද විෂ ඇතුල් වී තිබූ බව ස්‌විස්‌ රසායන විශේෂඥයන් විසින් සොයාගෙන තිබුණි.

එහෙත් එවන් හැකියාවක්‌ ශ්‍රී ලංකාවේ හමුදාවට හෝ බුද්ධි අංශවලට තිබේ යෑයි කිව හැකිද?

මේ පසුබිම මත තහවුරුවන්නේ ශ්‍රි ලංකා හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ප්‍රකාශ කර ඒ ගැන හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි කියද්දී ඊට සමගාමීව හිටපු කොටින් විෂ ශරීරගත කර මරා දැමූ බවට චෝදනා නැඟීමයි.

මේ බරපතල සාවද්‍ය චෝදනාව යුද අපරාධයක්‌ ලෙස දැක්‌වීම හිටපු කොටි ක්‍රියාකාරීන්ගේ ඉලක්‌කය වී තිබේ.

සත්වසරකට පසු ශ්‍රී ලංකා හමුදාවට එල්ල කළ විෂ එන්නත් චෝදනාව පිළිබඳව උතුරු පළාත්සභාව විගස යෝජනාවක්‌ සම්මත කරනු ලැබීය. මේ යෝජනාව ඉදිරිපත් කළේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි ඔහු සභාව අමතමින් කියා සටියේය.

එහිදී පළාත් සභා සෞඛ්‍ය ඇමැති සත්‍යලිංගම් ප්‍රකාශයක්‌ කරමින් විමර්ශනය සඳහා අන්තර්ජාතිsක සහය අවශ්‍ය බව පළ කළේය.

අනතුරුව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිකරන් ද පැවසුවේ යම් එන්නතක්‌ සිරුරුගත කළ බව හිටපු කොටි ක්‍රියාකාරීන් පැවසූ බවය.

මෙයට පෙර ශ්‍රී ලංකා හමුදාව චීනයෙන් ගෑස්‌ කුටි ගෙන්වා වන්නි මෙහෙයුමේ මියගිය සිවිල් වැසියන් ලක්‍ෂ ගණනකගේ සිරුරු පුළුස්‌සා දැමූ බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් විය.

එහෙත් අද වනතෙක්‌ එකී චීන ගෑස්‌ කුටි ඇත්තේ කොහේද යෑයි සාවද්‍ය බොරු ප්‍රචාරය කළ පාර්ශ්වවලට සොයා ගැනීමට නොහැකි විය. ඉන්දීය ඇමරිකානු තානාපති කාර්යාලවලට මෙන්ම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත තොරතුරු සපයන පිරිස්‌ මෙරට සිටින විට චීන ගෑස්‌ කුටි මෙරටට ගෙන්aවීම වසන් කළ හැකිද?”

අනතුරුව අතුරුදන් කාටුන් ශිල්පියකුගේ බිරිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ කරුණු දක්‌වමින් ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී රසායනික අවි භාවිත කළ බව කියා සිටියාය. එහෙත් ඒ කුමන අවිදැයි හෙළි කිරීමට ඇයට නොහැකි විය.

2011 දී තවත් සාවද්‍ය පුවතක්‌ ප්‍රචාරය විය. ශ්‍රී ලංකා හමුදාව රසායනික පොකුරු බෝම්බ භාවිත කළ බවට එම පුවතේ සඳහන් විය.

එසේ වුවත් එකී චෝදනාව සනාථ කිරීමට සාධක ඉදිරිපත් වූයේ නැත. මේ පිළිබඳව ගුවන් හමුදා බලධාරීන් පැවසුවේ පොකුරු බෝම්බ හෙළීම සඳහා තම යානාවලට පහසුකම් නැති බවයි.

මෙලෙස හිටපු කොටි ක්‍රියාකාරීන්ගේ සිරුරුවලට විෂ එන්නත් ශරීරගත කළ බවට වූ සාවද්‍ය චෝදනාව එළිදකිද්දී මෙම අගෝස්‌තු 15 (හෙට) ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ වර්ගවාදය පිටුදැකීමේ කමිටුව හමුවට තවත් චෝදනාවක්‌ ඉදිරිපත් වී ඇත. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රිස්‌තියානි හා මුස්‌ලිම් ජනතාවට වෙනස්‌කම් සිදුකරන බවට චෝදනා නැඟීමයි.

ක්‍රිස්‌තියානි වාර්ගිකයන්ට එරෙහිව සිදුවීම් 132 ක්‌ ද මුස්‌ලිම් ජනතාවට එරෙහිව සිදුවීම් 141 ක්‌ ද සිදුවී ඇති බවට වාර්තාවක්‌ එකී එක්‌සත් ජාතීන්ගේ කමිටුව වෙත ඉදිරිපත් කර තිබේ.

මේ වාර්තාවට සම්බන්ධ පැමිණිලිකරුවන් වී ඇත්තේ විදේශගත භාරතී සෙන්ටර්, ඉමාඩර් ජාතික ක්‍රිස්‌තියානි එවැන්ජලිකල් සංවිධානය සී. එච්. ආර්. ඩීS. සහ එම්. ආර්. ජී. නමැති සංවිධානයි. වර්ගවාදය පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 177 ක්‌ එකඟත්වය පළ කර තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා කොටි ශ්‍රී ලංකාවට එරෙහිව ගිනි අවුළුවන්නේ මෙකී රාජ්‍ය නොවන සංවිධාන බව අනාවරණය වී ඇත.

මේ නිසා ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමකට ජිනීවා ගොස්‌ වර්ගවාදය සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ප්‍රතිචාර දැක්‌වීමට සිදුවී තිබේ.

මෙලෙස ජිනීවාහි වර්ගවාදය පිටුදැකීමේ කමිටුව හමුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු, සහකාර පොලිස්‌ නිලධාරියකු ඇතුළු පොලිස්‌ නිලධාරීන් රැසක්‌ එකී වර්ගවාදී සිද්ධීන්වලට සම්බන්ධ වී ඇති බවයි.

එසේම වර්ගවාදී ක්‍රියා සඳහා ත්‍රස්‌ත මර්දන පණත භාවිත කරන බවද එම වාර්තාවේ සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව ජිනීවා නුවර එක්‌සත් ජාතීන්ගේ කමිටුවක්‌ වෙත ඉදිරිපත් වූ මුල්ම පැමිණිල්ල මෙයයි. මේ සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් මස ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ද එකී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කරන බව වාර්තාවී ඇත.

මේ අතර බිහිසුණු අපරාධ රැසකට සම්බන්ධ හිටපු කොටි ත්‍රස්‌තයන් 100 කට අධික පිරිසක්‌ මුදා ගැනීම සඳහා උතුරේ පළාත් සබාවට අයත් දේශපාලකයන් දැඩි උත්සාහයක යෙදී ඇත.

මෙම ත්‍රස්‌තයන්ව හඳුන්වා ඇත්තේ දේශපාලන සිරකරුවන් ලෙසය. බස්‌ රථවලට ක්‌ලේමෝ බෝම්බ තබා මගීන් ඝාතනය කිරීම, ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාර එල්ලකර මගීන් 53 ක්‌ මරාදැමීම, කටුගස්‌තොට දුම්රිය පාලම පුපුරුවා හැරීමට බිම්බෝම්බ ඇටවීම සහ වෙනත් ත්‍රස්‌ත ක්‍රියාවලට මෙම හිටපු කොටි ත්‍රස්‌තයන් සම්බන්ධ වී ඇත.

මේ හිටපු කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ කර ගැනීමට ද්‍රවිඩ දේශපාලකයන් උත්සාහ කරන්නේ යෝජිත දේශීය යාන්ත්‍රණයෙන් ඔවුන්ට එල්ලවිය හැකි යුද අපරාධ චෝදනා වළක්‌වා ගැනීමටයි.

මේ අතර හිටපු කොටි ත්‍රස්‌තයන් අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇති බවට උතුරු පළාත් සභාව යෝජනාවක්‌ සම්මත කර මොහොතකට පසු යාපනය රෝහලේදී නඩරාජන් කාලිසන්නරාසා නමැත්තෙකු මියගොස්‌ ඇති බවත් ඔහු ද හිටපු කොටි ක්‍රියාකාරිකයකු බවටත් ප්‍රචාරය විය.

කීර්ති වර්ණකුලසූරිය

Top