Featured

වස විස නැති ආහාර කවන්න ආපු රතන අන්තිමට ගියෙ කොස් කොළ, ක්‍රෝටන් කොළ කවළා

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වුණේ වස විස නැති ආහාර කවන්න ගෙනාපු ආණ්ඩුව වසර දෙකක් තුළ රටේ ආර්ථිකය බින්දුවට වට්ටවා ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කවන්න යන නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය.

යහපාලනය ගේන්න ගිය එකා දෙන්නා දැන් යහපාලනය වහපාලනයක් යැයි තේරුම් ගෙන නිවැරැදි මාර්ගය වෙත යොමු වෙමින් සිටින බව පැවසූ රණතුංග මහතා වහපාලන ආණ්ඩුවේ ගඩොල් දැන් එකින් එක ගැලවෙමින් තිබෙන බවත් වැඩි දිනක් යන්නට පෙර ආණ්ඩුවම දෙදරා බිම වැටෙනු නිසැක බවත් අවධාරණය කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළොන්නාව සමූපකාර ශාලාවේ දී පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට 16 වැනි දා සවස එක්වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මට මේ රැස්වීමට සහභාගී වෙන්න කියලා ආරාධනා කළේ විමල් වීරවංශ මහතා. මට රැස්වීමට ආරාධනා කරපු වීරවංශ මහතා අද රිමාන්ඩ් එකට දාලා තිබෙනවා. එතුමා රිමාන්ඩ් කළේ රට වෙනුවෙන් හඬක් නැගීමේ වරද නිසයි. මේ ආණ්ඩුවේ මහා හොරු නිදැල්ලේ ඉන්න කොට රට වෙනුවෙන් හඬක් නගපු විමල් වීරවංශ අද සිර කරලා තිබෙනවා. හිර කරලා එතුමාගේ හඬ නවත්වන්න පුළුවන්කමක් නැහැ.

ජාතික නිදහස් පෙරමුණේ මහ සමුළුව 22 වැනි දා පැවැත්වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නුගේගොඩ දී පෙරළියක ඇරැඹුව දැවැන්ත ජන රැළිය පැවැත්වනවා. මේ ජනරැලිවල වීරවංශ මහත්තයාගේ හඬ නැ‍‍ගෙන එක වළක්වන්න තමයි යහපාලන ආණ්ඩුව වීරවංශ මහත්තයා සිරගත කළේ. ඉදිරි දින කිහිපය තුළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට වගේම මටත් හිරේ යන්න වෙයි.

අපව සිරගත කළත් මේ ජනරැලිවලට සහභාගී වන ජන ගංගාව නතර කරන්න ආණ්ඩුවට බැහැ. ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහිව දිනෙන් දින එක් රැස් වන ජන ගංගාව ආපසු හරවන්නත් පුළුවන්කමක් නැහැ..

යහපාලන වහපාලනයක් වෙන කොට යහපාලනේට කඩේ ගි එකා එකා දැන් අයින් වෙනවා. හෙළ උරුමයේ රතන හාමුදුරුවොත් ස්වාධීන වෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන උන්වහන්සේ ජනාධිපති උපදේශක ධූරය අතහරින්නේ නැත්තේ ඇයි කියන එක. ජනාධිපතිගේ උපදේශකයෙක් කොහොමද ස්වාධීන වෙන්නේ?

රතන හාමුදුරුවෝ මේ ආණ්ඩුව ගේන්න මහන්සි වුණේ ජනතාවට වස විස නැති ආහාර දෙන්න කියලයි එදා කිව්වේ. නමුත් දැන් ආණ්ඩුවේ කෘෂිකර්ම උපදේශකයෝ කියන්නේ ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කන්න ලැහැස්ති වෙන්න කියලයි. වස විස නැති ආහාර කන්න දෙන්න ගෙනාපු ආණ්ඩුව ජනතාවට කොස් කොළ, ක්‍රෝටන් කොළ කවන්න යන හින්දද උන්වහන්සේ ආණ්ඩුවෙන් ඉවත් වුණේ කිය එක අපි අහන්න කැමැතියි.

එදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිස පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන්න අවසර ඉල්ලුවාම ප්‍රතික්ෂේප කරපු කතානායක රතන හිමියන්ට ස්වාධීන වෙන්න දෙන්නේ කොහොමද කියන එක ඒකාබද්ධ විපක්ෂය බලා සිටිනවා. වැරැදි මාර්ගයක ගිය බව තේරුම් ගත්තාම නැවතත් නිවැරැදි මාර්ගයට එන්න ඕනෑ කෙනකුට අයිතියක් තිබෙනවා. නමුත් එදා ජනාධිපතිවරණය වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා කරපු රඟපෑමේ දෙවැනි කොටස මෙයද කියලත් සමහරවිට හිතෙනවා.

කොහොම වුණත් මේ ආණ්ඩුවේ ගඩොල් දැන් එකෙන් එක ගැලවෙන්න පටන් අරන් ඉවරයි. ප්‍රියංකර ජයරත්න මහත්තයා ඇමැති ධූරයෙන් ඉවත් වුණා. දැන් රතන හාමුදුරුවෝ ස්වාධීන වෙලා තිබෙනවා. තව ඉස්සරහට යන විට තව තව අය ඉවත් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්නවා මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න අය. ඒ අයට එකතු වෙන්න තියෙන හොඳම තැන ඒකාබද්ධ විපක්ෂයයි.

මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් 1977 අපේ ගෙදර ගිනි තියන විට මට වයස අවුරුදු දහයයි. මගේ පියාට පිහියෙන් අනිනනවා මම ඇස් දෙකෙන් දැක්කා. මම සහෝදරයෝ ගැන කථා කරන්නේ නැහැ.

අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මහතාගේ, එම මැතිණියගේ ප්‍රතිපත්ති සමඟ දේශපාලනය කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කිව්වම අපට ගෞරවයක් ආඩම්බරයක් තිබුණා. හැබැයි දැන් ශ්‍රී ලංකාකාරයෙක් ද කියලා අහපුවාම පොඩ්ඩක් රිවස් ගියර් එකට දාගන්න වෙනවා. කටක් ඇරලා ශ්‍රී ලංකාකාරයෙක් කියලා කියන්න අපට දැන් පුළුවන්කමක් නැහැ.

අපේ පක්ෂයේ සභාපති, වර්තමාන ජනාධිපති ආප්ප න්‍යාය අනුගමනය කරලා අපට කොකා පෙන්නපු නිසා ඒ තත්ත්වය ඇති වෙලා තිබෙනවා. දැන් මේ පක්ෂය තියෙන්නේ අලියගේ නැට්ටේ ඔතලයි. එතකොට අපි කොහොමද කටක් ඇරලා ශ්‍රී ලංකාකාරයෝ කියන්නේ. අපි ජීවිතේට එහෙම ඉඳලා නැහැ. පක්ෂයේ සභාපතිවරයා තමන්ගේ පැවැත්ම උදෙසා එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ ඔතලා තියෙන නිසා අපට එහෙම වෙලා තිබෙනවා.

ඒ නිසා තමයි අපි ඒකාබද්ධ විපක්ෂය කියලා වෙනම සංවිධාන වෙලා තියෙන්නේ. මම පාර්ලිමේන්තු එන්න හිටපු කෙනෙක් නොවෙයි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණාම මම තීරණය කළා තනතුරු අතහැරලා පාර්ලිමේන්තුවට ඇවිත් මහින්ද රාජපක්ෂ මහතාට ශක්තියක් වෙනවා කියලා. ඒ නිසයි මම පාර්ලිමේන්තුවේ ඉන්නේ. මටත් තිබුණා අනෙක් අය වගේ මහ ඇමැතිකම ආරක්ෂා කරගෙන ඉන්න.

තනතුරු, වරදාන, වරප්‍රසාද අතහැර යන්න බැරි හාල්පාරුවෝ ටිකක් අපේ පක්ෂයෙත් ඉන්නවා. මගේ වචන ටිකක් හොඳ නැති වෙන්න පුළුවන්. හෘදය සාක්ෂියට අනුව කථා කරන විට තරහක් එන නිසා එහෙම වෙන්න පුළුවන්. මමත් තනතුරු අරගෙන සභාපති එක්ක ඩීල් එකක් දැම්මා නම් මිනිස්සු මටත් කියයි හාල්පාරුවා කියලා. ඒ වචනය අහනවාට වඩා තනතුරු අතහැර මිනිස්සු සමඟ දේශපාලන කරන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා.

2015 ජනවාරි 08 වැනි දා හැමෝම හිතුවා මහින්ද විශ්‍රාම යයි කියලා. මහින්ද මහත්තයා ජනවාරි 08 වැනි දා පරාජය වුණේ නැහැ. ඒක සංඛ්‍යාලේඛන හා කුමන්ත්‍රණයකින් පරාජය කිරීමක්. අපේ ආණ්ඩුව යුද්ධය දිනලා දෙමළ, මුස්ලිම් ජනතාවගේ සහයෝගය අරගෙන වැඩ කරමින් ආවා. නමුත් බටහිර රටවල් කැමැති වුණේ නැහැ මහින්ද රාජපක්ෂ වගේ නායකයෙක් බලයේ ඉන්න එකට.

ඒ මහින්ද රාජපක්ෂ මහතා ඒ අයට ඕනෑ විදියට වැඩ නොකරන නිසයි. ඒ නිසා කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. ඒ පිටුපස හිටියේ ගම්පහ නෝනා. දන්නවානේ කවුද කියලා. කුමන්ත්‍රණය කරලා සුළු ජාතීන් අප සමඟ තරහා කෙරෙව්වා. කවුද හලාල් කථාව ලංකාවේ පටන් ගත්තේ? ඒවා හිතන්න තමුන්නාන්සේලා. අපි සිංහල බෞද්ධ. නමුත් ගම්පහ නෝනා තමයි හලාල් කථාව පටන් ගත්තේ.

බේරුවල සිදුවීම පටන් ගත්තේ රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක. මුස්ලිම් ජනතාවට විරුද්ධව කථා කළේ පාඨලීගේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ. රාජිත මුස්ලිම් මිනිස්සුන්ගේ පැත්ත ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියේ රට. අහක හිටපු මහින්ද මහත්තයා එක්ක සිංහල මිනිස්සුත් මුස්ලිම් මිනිස්සුත් තරහා වුණා. මේවට මුදල් වියදම් කළේ බටහිර රටවල්.

ඒ නිසයි මම කියන්නේ  මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ නැහැ කියලා. නැත්නම් පැරදුණ මිනිහෙක් පසුපස ජනතාව මෙතරම් යයිද? ජේ. ආර්. ජයවර්ධන අයින් වුණාම කවුරුත් ගියේ නැහැ බලන්න. ප්‍රේමදාස මහතා බෝම්බයෙන් මියගියාම කාටත් අමතක වුණා. චන්ද්‍රිකා මහත්මිය ඉවත් වුණාම කවුරුත් ගියේ නැහැ. මට ගහලා, මගේ ඇමැතිකම් නැති කළා වුණත් මමත් ගියා මනුස්සකමට බලන්න.

මාව බලන්න එක බල්ලෙක්වත් ආවේ නැහැ ප්‍රසන්න කියලා මා එක්ක කිව්වා. මම කිව්වා මැඩම් ආශ්‍රය කළේ බල්ලොනේ ඒකයි ඔහොම වුණේ කියලා. එතුමිය මට කිව්වා මහින්ද ඔයාව කපයි කියලා. මම කිව්වේ මාව කපන්න කාටවත් බැහැ කියලයි. මහින්ද මහත්තයා පැරදුණාම ජනවාරි 09 වැනි දා අරලියගහ මන්දිරයෙන් එළියට බැස්සා. එදා ඉඳලම ජනතාව තංගල්ලට ගියා එතුමා බලන්න.

අපි බස් එකක් දුන්නත් මැයි පෙළපාලියකටවත් මිනිස්සු ගෙනියන්න බැහැ. හැබැයි මිනිස්සු අතින් වියදම් කරන් තංගල්ලේ ගියා. අපිට තේරුණා මොනවා වුණත් මිනිස්සු ඉන්නේ මහින්ද මහත්තයා එක්ක කියලා. ඒ නිසයි අපි පෙබරවාරි මාසේ 27 වැනි දා නුගේගොඩ රැස්වීමක් තිබ්බේ. පාර්ලිමේන්තුවේ කවුරුත් හිටියේ නැහැ. නමුත් පළාත් සභාවේ සේරම ඒකට කැපවීමෙන් වැඩ කළා.

පස්සේ ඒ රැස්වීම රට වටා යන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා සහභාගී වෙලා මහ මැතිවරණය වන විට මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනට ගෙනල්ලා අගමැති කරන බලාපොරොත්තුව රටට දෙන්න අපට පුළුවන් වුණා. හැබැයි අපේ ආප්ප නායකයා ඡන්දය වෙලාවේ පක්ෂයේ ලේකම්වරුන් ඉවත් කළා. දින්නත් මහින්ද මහත්තයාට අගමැති ධූරය දෙන්නේ නැහැ කියලා කිව්වා.

අපේ ගම්වල උගත් බුද්ධිමතුන් පවා ඒ අවස්ථාවේ කිව්වා මහින්ද මහත්තයාට අගමැති ධූරය දෙන්නේ නැත්නම් මෛත්‍රීට ඕනෑ එකා අගමැති කරන්න අපි ඡන්දය දෙන්නේ නැහැ කියලා. අපේ මිනිස්සු ඡන්දය දෙන්න ගියේ නැහැ. ඒ නිසා නැවත වරක් ‍රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති කරන්න වුවමනාව තිබුණේ මෛත්‍රිපාල සිරිසේනටයි. ඒ නිසා තමයි අපට මහින්ද මහත්තයා ගේන්න බැරි වුණේ.

අපි අහු වුණා එදා. අපේම අය ඇවිත් කිව්වා අපි එකතු වුණොත් දිනනවා කියලා. මම නම් අන්තිම මොහොත වෙනකම් රණ්ඩු වුණා වෙනම පක්ෂයකින් ඉල්ලමු කියලා. එහෙම වුණා නම් දින්නා නම් අගමැති. පැරදුණා නම් විපක්ෂ නායක. දැන් මුංගේ පදයට නටන්න වෙලා තිබෙනවා. මැතිවරණ අවසන් වෙලා අපිව ගෙන්නලා ඇහුවා මොකද කරන්නේ කියලා. මම තමයි මුලින්ම කිව්වේ මම ඉන්නේ විපක්ෂයේ කියලා.

නැති වෙනවා නම් නැති වෙන්නේ මන්ත්‍රිකම විතරනේ. මහ ඇමැති තනතුර අතහැරපු මට මන්ත්‍රීකම ලොකු දෙයක් නොවෙයි. මම ඒකනේ බය නැතුව කතා කරන්නේ. මම දන්නවා ළඟදිම ෂොට් එක ලැබෙනවා කියලා. හැබැයි මට ෂොට් එක දෙන දාට ඒ අයටත් ෂොට් එක දීලයි මම පස්ස බලන්නේ. මගේ තියරිය එහෙමයි. මේක ඇතුළෙත් ඇති රහස් පොලිස්කාරයෝ. උන්ටත් ඇහෙන්නයි මම කියන්නේ.

අද බලන්න රටට වෙලා තිබෙන දේ. ජාතික ආරක්ෂාව අනතුරේ වැටිලා. අපි ජනාධිපතිවරණයේ දී කිව්වා මෛත්‍රී ජනාධිපති වුණොත් රනිල් අගමැති වෙනවා. එයා දෙමළ ඩයස්පෝරාවට ඕනෑ විදියට නටනවා. මේ රට අනතුරට වැටෙනවා කියලා, යුද්ධයෙන් ප්‍රභාකරන් ගන්න ගිය දේ බන්දේසියක තියලා මුං දෙනවා කියලා අපි කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?ඒක තමයි ව්‍යවස්ථාවෙන් කරන්න යන්නේ.

ඔයාලා අපි කවුරුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ නැහැ. අපි කිව්වේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. පාර්ලිමේන්තුවට , ආසනයට වග කියන්න පුළුවන් මන්ත්‍රීවරයකු පත් කරන්න කියලා. තුන්වෙනියට අපි කිව්වේ පළාත් සභාවල බලය ගැන නැවත සාකච්ඡා කරන්න කියලා. මම මහ ඇමැති‍කමේ ඉන්න කොටම කිව්වා පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල එපා කියලා. අපි දැනගෙන හිටියා බල‍තල දුන්නොත් වෙන දේ.

අපි මහ ඇමැතිකමේ ඉන්න කොට රණ්ඩු කරලා බලතල ගත්තා නම් උතුරු පළාත් මහ ඇමැතිටත් ඒ බලතල ලැබෙනවා. කොහොම දැන් ඉන්න උතුරු මහ ඇමැතිට ඉඩම්, පොලිස් බලතල දුන්නොත්? මරු එකට හිටියි. ඒ නිසා තමයි අපි එපයි කිව්වේ. නැත්නම් අපිත් කැමැති නැද්ද පොලිස් බලතල ගන්න? පළාත්වල පාලනයක් තියෙන්නේ ආණ්ඩුකාරවරුන් නිසා. දැන් නාමික ආණ්ඩුකාරවරුන් දාලා පළාත් සභාවලට බලතල දෙන්න යනවා.

ටික කාලයක් යන විට ෆෙඩරල් නිකම්ම ලැබෙනවා. එහෙනම් මොකටද රණවිරුවන් තිස් හතලිස් දාහක් ජීවිත පූජා කළේ? මේ යන්නේ ‍බන්දේසියක තියලා ෆෙඩරල් දෙන්න. අද උතුරු නැගෙනහිර පන්සල් ඉදිකිරීම තහනම් කරන්න යනවා. මේ වන විට පන්සල් හතළිස් ගාණක් කඩලා තියෙනවා කියලා ජනාධිපති සමඟ තිබ්බ සාකච්ඡාවක දී හාමුදුරුවරු පෙන්වා දුන්නා. එතකොට කියනවා මම දැක්කේ නැහැ කියලා. පත්තරෙන්වත් ඕවා දැක්කේ නැද්ද?

කොටි එළියට දාලා ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළට දාන කොටත් කියනවා අනේ මම දැක්කේ නැහැ කියලා. ඔන්න ඉතින් වගකිව යුතු ජනාධිපති කෙනෙක් කියන කථාව. ඒකෙන් තේරෙන්නේ මොකක්ද? ජනාධිපති වුණාට වැඩක් නැහැ කිසි කෙංගෙඩියක් කරන්න බැහැ කියලා. අගමැති තමයි සේරම කරන්නේ. අපි පිටරටවලට ගියාම කියනවා කොහොම හරි මේ යහපාලනකාරයෝ ටික එළවන්න කියලා.

Top