Breaking
24 Feb 2025, Mon

ගෝඨාභය හෝ බැසිල් යොදවා මහින්ද නැත්තට ම නැති කිරීමේ “රතන සූත්තර”

අවුරුදු දෙදහස් හයසීයකට විතර ඉහත බුදුහාමුදුරුවො රතන සූත්‍රය දේශනා කළා. ඒක පිරිතක්. බණක් ධර්ම දේශනයක් නො වෙයි. සමහරුන් අහනව පිරිත් සිංහලෙන් කියන්නෙ නැත්තෙ මොකද කියලා. තවත් සමහරු සිංහලෙන් පිරිත් කියනවා. ඒ පිරිත් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති කමට. පිරිත, සමහර සංස්කෘත ශ්ලෝක ආදියේ වැදගත්කම තියෙන්නෙ මූලික වශයෙන් ශබ්ද කිරීමෙ. ඒවා ඒ ඒ භාෂාවලින් කියැවෙන්න ඕන. ඒ අදහස වෙනින් බසකින් කිව්වට ඒ ගුණය ලැබෙන්නෙ නැහැ.

වෙනත් බසකින් කියන පිරිත අපට තේරෙන්නෙ නැහැ කියලා කියල කාට හරි කියන්න පුළුවන්. ඒ වුනත් පිරිතෙ තේරුම අපට දැනගන්න පුළුවන්. පිරිතෙ තේරුම දන්න අතරෙ පිරිත පාළියෙන් කියන්න ඕන. සමහර මන්ත්‍රත් අදාළ ගුණය ලබාගන්න සංස්කෘත භාෂාවෙන් කියන්න ඕන. මෙතන දි වැදගත් වන්නේ අදහස වගේ ම ශබ්දය. ශබ්දය නැතිව අදහසෙන් පමණක් වැඩක් නැහැ.

අද කතා කරන්නෙ බුදුහාමුදුරුවන් දේශනා කරපු රතන සූත්‍රය ගැන නො වෙයි. රතන හාමුදුරුවෙන්ගෙ සූත්තර ගැන. මේ සූත්තර අවුරුදු තුන හතරකට වරක් අලුත් වෙනවා. රතන සූත්‍රය අවුරුදු දහස් ගණනක් තිස්සෙ අප අතර තියෙනවා. ඒත් රතන හාමුදුරුවන්ගෙ සූත්තර තියෙන්නෙ අවුරුදු තුන හතරක් විතරයි. අවුරුදු තුන හතරක් ගියාට පස්සෙ අලුත් සූත්තරයක් එනවා. ඒ සූත්තරෙ පරණ සූත්තරේට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන තරමට හොඳයි කියලත් කියනවා.

බුදුහාමුදුරුවන්ගෙ රතන සූත්‍රය ජනතාවගෙ සුබ සිද්ධිය සඳහා. ජනතාවට තිබූ ඇතැම් දෝෂ බිය නැති කිරීම. රතන සූත්තරවල එහෙම අරමුණක් නැහැ. ඒවයෙ අරමුණ තම පැවැත්ම. ඒ කියන්නෙ තම දේශපාලන පැවැත්ම. එක සූත්තරයක් ආධාරයෙන් අවුරුදු තුනක් විතර දේශපාලනික ව ජීවත් වෙන්න පුළුවන්. ඒක වැඩ කරන්නෙ නැති වෙන කොට වෙනත් සූත්තරයක් පටන් ගන්නවා.

හුඟක් දේශපාලනඥයන් වැඩ කරන්නෙ එහෙමයි. දේශපාලනඥයන් විතරක් නෙවෙයි ඇතැම් උගතුන් කියන අයත් වැඩ කරන්නෙ එහෙමයි. සයිටම් අනුමත කරන්න ගිය අය අද සයිටම් නැති කරන්න කතා කරනවා. ඒත් ඒක එහෙම ද කියලා හරියට ම කියන්නත් බැහැ. ඒක කතාවක් විතරක් වෙන්න පුළුවන් ද කියලා හරියට ම කියන්නත් බැහැ. සමහරවිට ඒක කතාවක් විතරක් වෙන්නත් පුළුවන්. මෙතනත් අරමුණ පැවැත්ම. ඊනියා දේශපාලන වීරත්වය, ජනතා ප්‍රසාදය පවත්වා ගෙන යෑම. ඒ අතර ජනතා අනුකම්පාවත් ලැබෙනවා.

බොහොම ඉස්සර කාලෙ, යටගිය දවස, සූත්තරය වුනෙ විප්ලවය. මේ යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගෙ කාලයෙ නොවෙයි. ජේ ආර් ජයවර්ධනගෙ කාලෙ. ජ වි පෙ විප්ලවය හරි කියල හිතපු කාලෙ. ඒ අපේ ඇතැමුන් ගණදුර මැදියම අරුණළු දැකපු කාලෙට ටිකකට ඉස්සර. උගත් ගැමි තරුණයන්ට රට බාර කරන්න ටික කාලෙකට ඉස්සර. ගැමි වුනත් උගත් නම් එකෙන් වැඩක් නැහැ. මේ උගත් කියන්නෙ බටහිර දැනුම උගත් කියන එක. නාගරික නොවන්න නොවන්න මේ උගතුන්ගෙ ගැමි කම වැඩිවෙනවත් එක්ක හීනමානයත් වැඩි වෙනවා.

ඒ කොහොම වුනත් විප්ලවේ තරමක් අතහැරලා ජාතික මතවාදවලට ආවා. හැබැයි වැඩි කලකට නො වෙයි. ජ වි පෙ වගේ ම ජාතිකත්වය හා සමාජවාදය අතර දෝලනය වුනා. භීෂණ කාලෙ යම්තම් ගැලවිල හිටියා. එතෙනදි ජාතිකත්වය ප්‍රයෝජනවත් වුනා. භීෂණයෙන් පස්සෙ සමාජවාදී සුත්තරේ අතට ගත්ත. ජනතාවගෙ මිතුරො වුණා. රටවැසි පෙරමුණ පිහිටුවලා ෆෙඩරල් සූත්තරෙත් ගත්ත. දෙමළ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්වලට විරුද්ධ සූත්තර යොදා ගත්ත. නගරයෙ ඊනියා යුද්ධෙට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා.

වැඩි වැඩියෙන් කොළඹ බෝම්බ පිපිරෙන විට වෙනින් සූත්තරයක් කියන්න පටන් ගත්ත. ත්‍රස්ත විරෝධී සූත්තරේ පැවැත්මට ආධාර වුනා. කොළඹ අවට නාගරික බෙල්බොටම් විහාර මහා දේවිලා මහා උපාසිකාවො වුණා. ඒ උපාසිකාවන් රහත් වුණා ද කියලා දන්නෙ නැහැ. නගරයෙ ඇති වුණු ව්‍යාජ බෞද්ධ ප්‍රබෝධ රැල්ලෙ පිහිනුවා. තමන්ගෙ පැවැත්මට හාමුදුරුවරුන් ඉස්සරහට ගත්ත. ඒ හාමුදුරුවරුන් අද කොහේ වැඩ වසනවා ද?

මේ සියලු සූත්තර එකින් එක කියන්න අවශ්‍ය නැහැ. අවුරුදු දෙකකට ඉස්සර යහපාලන සූත්තරේ කිවුවා. ගෝල බාලයො ඔක්කොම යුග පෙරළියක් ගැන කිවුව. මහා සැලැස්මක් තියෙනව කියලා කිවුවා. ඒත් රෝ ඔත්තු සේවය ගැන මොකුත් කිවුවෙ නැහැ. ඒ ටික සූත්තරෙන් අයින් කළා ද කියලා දන්නෙ නැහැ. කොහොමටත් ඒ සූත්තරේ දැන් හරියන්නෙ නැති බව බරණැස් නුවරට කොහොම වුනත් දිල්ලි නුවරට තේරෙනවා ඇති. දැන් සූත්තරේ වෙනස් කරන්න කාලෙ ඇවිත්. යුග පෙරළිය පෙරළිලා.

අලුත් සුත්තරේ නම ස්වාධීන සූත්තරේ ද වෙන මොකක් ද කියන එක පැහැදිලි නැහැ. මහා ජාතික සැලැස්මක් ගැන කියනවා. හැබැයි හැමදාමත් කෙළෙ ජාතික සැලැස්ම ඉදිරිපත් කරපු එක තමයි. එක සැලැස්මක්වත් රටට නම් හරි ගියෙ නැහැ. ඒත් පැවැත්ම දිගින් දිගට ම ආරක්‍ෂා කෙරුණා.

දැන් බලාගෙන යන විධියට රට විකුණන්න අගමැතිටවත් ජනාධිපතිටවත් අයිතියක් නැතිලු. අප ඒක දැන හිටියෙ නැහැ. දැනගත්ත එක හොඳයි. රනිලුයි මහින්දයි පරාදලු. දිනුවෙ මෛත්‍රිපාල විතරයිලු. එහෙනන් ඉතින් පළාත් පාලන මැතිවරණෙ තියලා ඉතුරු ටිකත් දිනාගන්න එක නෙ තියෙන්නෙ. අද පරාජිත ම දේශපාලනඥයා මෛත්‍රිපාල. ඔහුට ඡන්ද පදනමක් නැහැ. පක්‍ෂ පදනමක් නැහැ. ඒවා යුග පෙරළියෙ ප්‍රතිඵල තමයි.

අලුත් සූත්තරය මහින්ද නැත්තට ම නැති කිරීමටයි. ඒකෙ දී වත්මන් දවස දිල්ලි නුවර ගෝඨාභය හා බැසිල් වුනත් යොදා ගන්න ඉඩ තියෙනවා. ගෝඨාභය ඒකට අහුවෙන එකක් නැහැ. අහුවුනොත් ගෝඨාභය ඉවර වෙයි. ඒක දිල්ලි නුවර සැලැස්ම වෙන්න පුළුවන්. කොහොමටත් අලුත් සූත්තරේට ජනමාධ්‍යවල ප්‍රචාරය දෙන බව පේනවා. ජනමාධ්‍යවලට ඕන අලුත් දේවල්. බැරි වෙලාවත් බුදුහාමුදුරුවන් මේ දිනවල වැඩ වාසය කළා නම් ජනමාධ්‍ය උන්වහන්සේට කිසිම ප්‍රචාරයක් දෙන එකක් නැහැ. ඔය හැමදාම දේශනා කරන්නෙ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියාවි.
නලින් ද සිල්වා
2017 මාර්තු 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.