Featured

වැලිඅමුණලාගේ වැල් බයිලා…අනුන්ට තොරතුරු දැනගැනීමේ අයිතිය කියා දෙන්න පෙර සේවකයන්ට ඇත්ත කියනු

2017-05-25

අසෝක ඔබේසේකර මහතා
විධායක අධ්‍යක්ෂ
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා
කොළඹ

ප්‍රිය මහත්මයාණෙනි,

වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සදහා පැවැත්වෙන තොරතුරු දැනගැනීමේ අයිතිය ( RTI ) පිළිබද වැඩමුළුව

2017 මැයි 27 වන සෙනසුරාදා කොළඹදී පැවැත්වීමට නියමිත ඉහත වැඩමුළුවට සහභාගීවන ලෙස කරන ලද ආරාධනයට ස්තුතිවන්ත වෙමු.

එහෙත් තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI ) භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි චෝදනාලාභී තත්ත්වයක පසුවන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා( TISL) වැනි ආයතනයක් පවත්වන තොරතුරු අයිතිය පිළිබද වැඩමුළුවකට සහභාගිවීම අපට අප්‍රසන්න බැවින් මෙම ලිපිය ඔබවෙත ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සමග දූෂණ විරෝධී වැඩසටහන් වලට අප සම්බන්ධවූයේ ඔබ ආයතනය දූෂණය වැලැක්වීමට අවංක මෙහෙවරක් ඉටුකරමින් සිටින සංවිධානයක් යැයි අප තුළ පැවැති විශ්වාසය නිසාය.2016 ජූලි මාසය අවසන් වනතෙක් අප ඉතා විශ්වාසයෙන් හා සහයෝගයෙන් යුතුව ඔබගේ ආයතනය සමග වැඩකළෙමු. අප විසින් අකටයුතු නාදකයින්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රතිපත්තිය සම්පාදනය කළේ ඔබ ආයතනයෙන් ලැබුණ උසස් මට්ටමේ මාර්ගෝපදේශ මතය.එය පනතක් බවට පත්කර ගැනීම අපගේ ඊළග ඉලක්කය විය. එහෙත් අවසානයේ ඔබ, අප සැමගේ එම උත්සාහය ඔබගේ පටු අරමුණු වෙනුවෙන් දියකර හැරියේය.අප ඒ ගැන ප්‍රශ්න කළ විටද ඔබ නිරුත්තර විය. ප්‍රමුඛ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 30 දෙනෙකුට අධික පිරිසකගේ අත්සනින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා හි සභාපති ලක්ෂාන් ඩයස් මහතා වෙත එවූ ලිපියට මේ දක්වා කිසිදු පිළිතුරක් ලැබී නැත.

ඔබගේ ආයතනය දූෂණය වැළැක්වීමට ව්‍යාපෘති කරන අතර එම ව්‍යාපෘති සදහා ලැබෙන ආධාර මුදල් වැරදි විදියට පාවිච්චි කරමින් දූෂණයේ යෙදෙන බවට චෝදනා එල්ලවන විට තොරතුරු අයිතිය පාවිච්චි කරමින් අපි ඒ ගැන ප්‍රශ්න කළෙමු.එහිදීද ඔබ කළේ ඒ චෝදනා වලට පිළිතුරු දෙමින් ආයතනයේ නිර්දෝෂීභාවය ඔප්පු කරනු චෙනුවට එම ප්‍රශ්න වලින් මගහැර යාමට තොරතුරු පනත අවභාවිත කිරීමය. තොරතුරු පනත නොමැතිව වුවත් විනිවිදභාවය ගැන රටට උගන්වන, දූෂණ විරෝධී ආයතනයකට දූෂණ වෝදනාවක් එල්ලවූ විට වහා ඊට පිළිතුරු දීමට හැකිවිය යුතුය.දූෂණයක් සිදුවී ඇත්නම් එය නිවැරදි කිරීමට හැකිවිය යුතුය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ දූෂණ හා අක්‍රමිකතා චෝදනා පිළිබද විමසමින් අප විසින් එවන ලද තොරතුරු අයදුම්පත් වලට ඔබ ලබාදී ඇති පිළිතුරු වලින් පෙනීයන්නේ එක්කෝ ඔබගේ තොරතුරු නිලධාරී කීර්ති ජයතිලක මහතාට සහ අභියාචන නිලධාරී වශයෙන් ඔබට තොරතුරු පනත පිළිබද මූලික අවබෝධයක්වත් නොමැති බවය.නැත්තම් දූෂණ චෝදනා වලට නිවැරදි පිළිතුරු ලබාදීමට ඇති නොහැකියාව නිසා ඔබ හිතාමතා තොරතුරු වසන් කිරීමේ වංචනික උත්සාහයක යෙදෙන බවය. සිවිල් සමාජ සංවිධාන විසින් තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළයුතු මෙවන් වකවානුවක තොරතුරු වසන් කිරීමට පූර්වාදර්ශ සපයමින් ඔබ සිදුකරන්නේ සමාජ හානියක් බවද පෙන්වා දිය යුතුය.මහජනතාව වෙනුවෙන් වැඩමුළු පැවැත්වීමට පෙර ඔබ නිවැරදිවීම අත්‍යාවශ්‍යය.

එමනිසා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ ආනන්ද ජයසේකර ,ශාන් විජේතුංග හා නීතිඥ ජගත් ලියනආරච්චි යන අය විසින් ඉදිරිපත් කරනලද ට්‍රාන්ස්පේරන්සි දූෂණ ගැන අකටයුතු නාදකයින්ගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ වැලිඅමුණ හා නීතිඥ ලක්ෂාන් ඩයස් මහත්වරුන්ගේ විමර්ශන වාර්තාව සහ කළමනාකාරිනියන් හා අධ්‍යක්ෂවරියක්ද සම්බන්ධ බවට චෝදනා එල්ලවන රුපියල් ලක්ෂ 11 ඇනිමේෂන් මූල්‍ය වංචා ගනුදෙනුව ඇතුළුව තොරතුරු අයදුම්පත් ඉදිරිපත් කරමින් අප ඉල්ලා ඇති තොරතුරු නොපමාව ලබාදෙන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු .එසේම රැකියාවක යෙදීමේ බලපත්‍රයක් නොමැතිව ඔබ ආයතනයේ නීති විරෝධීව සේවයේ යොදවා සිටි විදෙස් කාන්තාව ගැන විමසමින් අප එවූ තොරතුරු අයදුම්පතට පිළිතුරැ ලබාදෙන ලෙසද ඔබෙන් ඉල්ලා සිටිමු.ඇයට EPF/ETF ගෙවා ඇත්නම් , ව්‍යාජ තර්ක ඉදිරිපත් නොකර එම EPF/ETF අංක ඉදිරිපත් කරන්නැයි ඔබට අභියෝග කරමු.ඔබ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ඇතුළු මහජනතාව වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළයුත්තේ තොරතුරු සගවන ආයතනයක් වශයෙන් නොව තොරතුරු අයිතිය වෙනුවෙන් අවංකව පෙනීසිටින ආයතනයක් වශයෙනි.

අප තොරතුරු අයිතිය පිළිබදව ඉගෙනගැනීමට කැමතිය.ඒ ගැන අපට තව බොහෝ දේ ඉගෙනීමටද තිබේ.එහෙත් අපට අවශ්‍ය තොරතුරු වසන් කරනහැටි ඉගෙනීමට නොව තොරතුරු ලබාගන්නා හැටි ඉගෙනීමටය. පොදු අධීකාරීන් තොරතුරු වසන් කරනවිට ඒ සම්බන්ධයෙන් අභියාචන ඉදිරිපත් කරන හැටි ඉගෙනීමටය.අභියාචනාවලදීද ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් ඔබ වැනි පුද්ගලයින් කට්ටිපනින විට තොරතුරු පනත අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නාහැටි ඉගෙනීමටය. ඔබ සිටින තත්ත්වය අනුව ඔබට අපගේ අවශ්‍යතාවයට සරිලන RTI වැඩමුළුවක් පැවැත්විය නොහැකි ය.එවැන්නක් ඔබෙන් අපේක්ෂා කිරීමද විහිළුවකි . ඒ නිසා ඔබගේ වැඩමුළුවට අප සහභාගී නොවන බවද මෙයින් දන්වා සිටිමු.

( මෙම ලිපිය ඔබගේ සාමාජිකයින්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ටද ඉදිරිපත් කළ හැකිනම් ස්තුතිවන්ත වෙමු.)

Top