විශේෂාංග

BR(BREAKING RELATIONSHIPS)….ද්‍රෝහියා බැසිල්ද?

ඒකාබද්ධ විපක්‍ෂය සමග සන්ධානගත වී පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වන්නට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ උත්සාහය මේ වන විට අසාර්ථක වී තිබෙන නමුත්, ශ‍්‍රීලනිපය පැත්තෙන් ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම අතහැර දමා නැති බව පෙනෙයි.ශ‍්‍රීලනිපය පැත්තෙන් හිතන්නේ මේ සන්ධානය ඇතිකරගන්නට බාධාව වී තිබෙන්නේ බැසිල් රාජපක්‍ෂ බවයි.

ඇත්ත වශයෙන්මද මේ මොහොතේ ඒකාබද්ධ විපක්‍ෂයේ දැතිරෝදය වී තිබෙන්නේ බැසිල් රාජපක්‍ෂය. පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්‍ෂයේ සියලූම තීන්දු තීරණ ගැනෙන්නේ බැසිල් රාජපක්‍ෂ මූලිකත්වයේ තබාගනිමිනි. ඒ තීන්දු තිරණ ඔහුගේ වුවමනා එපාකම් අනුව ගන්නා බවට ඒකාබද්ධය තුළ සිටින ශ‍්‍රීලනිප සමහර මන්ත‍්‍රීවරුන් මෙන්ම, ඊට එකතුවී සිටින කුඩා දේශපාලන පක්‍ෂවල නායකකාරකාදීන්ගේද අදහසයි. එහෙත් කළ හැක්කක් නොමැත. බැසිල්ට විරුද්ධවන්නන්ට වුණත් තනියෙන් කළ හැකි දෙයක් නැත. කළ හැකි එකම දෙය වන්නේ බැසිල් ඇතුළු රාජපක්‍ෂවරුන් යටතේ වැඩකොට, ඔවුන් කන දේවල්වලින් අතේ ඇඟිලිකරු අස්සෙන් බේරී එන දෙයක් තමන්ගේ මල්ලට හලා ගැනීම පමණකි.

ඊට හොඳම උදාහරණය විමල් වීරවංශ මහතාය. දැන් ඔහුගේ පක්‍ෂයේ පොතු පමණක් නොව අරටුවේ කෑලි ද ගැලවී යමින් තිබේ. එසේ ගැලවී යන්නන්ගේ මූලික චෝදනාවක් වන්නේ, ජාතික නිදහස් පෙරමුණ ශ‍්‍රීලනිපය සමග පොදු පෙරමුණකට එක්වී එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුව පලවා හරිනවා වෙනුවට, ඒකාබද්ධ විපක්‍ෂය සමග එකතුවීමෙන් පරමාණුකරණය වී ශක්තිය දුර්වල කරගෙන විනාශ වන බවයි. තමන්ගේ පක්‍ෂය මේ විනාශයට ඇදදැමීමේ වගකීම විමල් වීරවංශ මහතා භාරගත යුතු බව ඔවුන්ගේ මතයයි. විමල් වීරවංශට ඒ වගකීම පැවරෙන්නේ ඔහු බැසිල් රාජපක්‍ෂ සමග එකතු වී කිසිම කේවෙල් කිරීමක් නැතිව, බැසිල් කියන හැම දෙයක්ම බාරගන්නවාය කියන පදනම උඩය.

පසුගියදා ධුරයෙන් අස්වුණු ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මුලින් කීවේ පෞද්ගලික හේතුවක් නිසා ඉල්ලා අස්වන බවයි. එහෙත් දැන් ඔහු සිය ෆේස්බුක් පිටුවේ තමාගේ ඉල්ලා අස්වීම ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. එයින් උපුටා ගත් වාක්‍ය කිහිපයක් මෙසේය.

‘.. පොදුජන පෙරමුණ සමග අප මැතිවරණවලට ඉදිරිපත් වන්නේ නම් එය මැතිවරණ කොමිසම යටතේ පිළිගත් සන්ධානයක් විය යුතු බවත් ඊට නව නිලධාරි මණ්ඩලයක්, විධායක සභාවක් සහ සියලූ දෙනාට පිළිගත හැකි මහලේකම්වරයෙකු පත්විය යුතු බවත් මගේ අදහස විය. ඊට දේශපාලන මණ්ඩල අනුමැතිය ලැබුණු අතර එයට පොහොට්ටුවේ නායකයන් එකඟ වූ බවද පක්ෂ නායකත්වය විසින් දන්වන ලදි. නමුත් අද වනවිටත් එසේ සන්ධානයක් බවට පත්වීමේ සේයාවක් වත් නොපෙනේ. මැතිවරණය සදහා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කිරීම අරඹා ඇත. තරග කරනු ලබන අපේක්ෂකයන් නාමයෝජනා අත්සන් කිරීමට සූදානම්ව ඇත. මෙය පක්ෂය හා පක්ෂ සමාජිකයා පවාදුන් නිවට ක‍්‍රියාවකි. ජානිපෙ නම් පක්ෂය මල්ලක දමා ගැටගසා බැසිල් රාජපක්ෂ මහතා පාමුල තබා ඇත. මා ඊට දැඩි සේ විරුද්ධ විය…

වමේ බලවේග බෙදී පැවතීම සතුරා ලද සුවිශේෂ ජයග‍්‍රහණයක් බවත් මීළඟ 2020 ජනපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය කිරීමේ මාවත ඒ හරහා සැකසෙන බවත් මාගේ අදහස විය. එම ජයග‍්‍රහණය තුළින් සකලවිධ පරගැති බලවේග මවුබිම බිලිගන්නා බවත් ඒකාබද්ධ විපක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුකර එජාපය පැරදවීමේ සටනට අවතීර්ණ විය යුතු බවත් මාගේ ස්ථාවරය විය… මෙවන් අවස්ථාවකදී ජාතියට මග පෙන්විය යුතු අප පක්ෂය අවස්ථාවාදීන්ගේ උවමනාවට යටවීමේ බරපතළ දේශපාලන වරද සිදුකොට ඇත..

ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා ජනපතිගේ සහාය ලබාගත හැකි විභවයක් නිර්මාණය වී තිබුණි. අපගේ උපාය මාර්ගික ප‍්‍රවේශය විය යුත්තේ ජනාධිපතිවරයාගේ ස්ථාවරයන් පාවිච්චි කරගනිමින් ජාතියේ අභිලාෂයන්ද ඊට එකතුකර ව්‍යවස්ථාව විසිකර දැමීමට අවශ්‍ය පදනම ගොඩනැගීමයි, නැතහොත් අවම වශයෙන් ව්‍යවස්ථාව ගෙන ඒම තව දුරටත් කල් දමා ගැනීමයි. ජාතික බලවේග සමග එක්ව එම සටන අපි ප‍්‍රමාණවත්ව ඉටු නොකළෙමු…

BRගේ (මෙය පුද්ගලයකුට යෙදෙන මාගේ දේශපාලන නාමයයි. BR(BREAKING RELATIONSHIPS) නියෝජිතයන්ගේ යටත්වැසියන් බවට පක්ෂයේ සමහරුන් පත්ව ඇත…’ (උපුටාගැනීම, ප‍්‍රියන්ජිත් විතාරණගේ ෆේස්බුක් පිටුව)

හිටපු ලේකම්වරයා මේ කියන්නේ ජාතික නිදහස් පෙරමුණට අදාළ කාරණා වුණත්, ඒ හරහා මේ මොහොතේ රටේ දේශපාලන චිත‍්‍රයේද හැටිසොබාව නිතැතින් එළිදරව් වෙයි.

‘බොහෝ දෙනාගේ වුවමනාව වී තිබෙන්නේ ශ‍්‍රීලනිපයත්, ඒකාබද්ධ විපක්‍ෂයත් අතර සන්ධානය තවදුරටත් ගොඩනැගීමයි. ඒ හරහා ජනාධිපතිවරයාගේද උදව්වෙන් ව්‍යවස්ථාව ගෙනඒම පරාජය කළ හැකි අතර, 2020දී රනිල් වික‍්‍රමසිංහ ඉදිරියට ඒමද වලක්වා ගත හැකි වනවා ඇත. ඊට එරෙහිව සිටින්නේ බැසිල් රාජපක්‍ෂය. විමල් වීරවංශ වැනි කුඩා පක්‍ෂවල නායකයන් බැසිල් රාජපක්‍ෂගේ පාමුල සිය පක්‍ෂ තැබීමෙන් එසේ එකතුවීමේ අවස්ථාව පාවාදී ඇත.’ මේ ඔවුන්ගේ ස්ථාවරයයි. මේ දවස්වල ජාතික නිදහස් පෙරමුණේ නායකයා දැඩි ලෙස විවේචනය කරමින් සිටින එහි නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායකද දරන්නේ ඉහත කී ස්ථාවරයමය. සමහර විට ඔහුද නවතිනු ඇත්තේ ත‍්‍රිකුණාමලයේ ජයන්ත විජේසේකර මෙන් ශ‍්‍රීලනිපය තුරුලේය. එවැන්නක් සිදුවුණොත් නි්යෝජ්‍ය ඇමතිකමකින් ඔහු පිළිගන්නට ශ‍්‍රීලනිපය සුදානම්ව සිටින බවද දැනගන්නට තිබේ.

කොහොම වුණත්, ශ‍්‍රීලනිප-ඒකබද්ධ එකතුවීමට මේ මොහොතේ දුෂ්ටයා වී සිටින්නේ බැසිල් රාජපක්‍ෂ බව ශ‍්‍රීලනිපයේ පිළිගැනීමයි. ඒ නිසා ඔහුට දෑත බදා පහරදීම දැන් ඇරඹී ඇත. ශ‍්‍රීලනිප ලේකම්වරයාගේ මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යන ‘සත්හඬ’ පුවත්පත, එනයින්ම සිය ප‍්‍රවෘත්ති හරහා ඉදිරිපත් කරන්නේ ශ‍්‍රීලනිපයේ නිල මතය හැටියට සැලකිය හැකිය. එහි පසුගිය සතියේ ප‍්‍රධාන සිරස්තලය වුණේ, ‘බැසිල්ගේ කල්ලිය ශ‍්‍රීලනිපයට ද්‍රෝහී වෙයි’ යන්නය. ‘ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්‍ෂය අතර පවත්වන ලද සාකච්ඡුා බිඳවැටීමට හේතුව බැසිල් රාජපක්‍ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී තිබේ.’ යන්න තවදුරටත් එහි සඳහන්වී තිබුණි. මේ හරහා සමාජගත කිරීමට ශ‍්‍රීලනිපය උත්සාහ දරන්නේ, බැසිල් රාජපක්‍ෂ යනු ශ‍්‍රීලනිපය පාවාදුන් ද්‍රෝහියකු බවයි.

මේ ආකාරයට මතුපිටින් බැසිල් රාජපක්‍ෂට පහර දීමේ ස්වභාවයක් පෙන්නුම් කළත්, ඇත්ත වශයෙන්ම යටින් තවමත් ශ‍්‍රීලනිපය ඉන්නේ ඒකාබද්ධය හා එකතුවීමේ වුවමනාවෙනි. ඒ කාරණය පැහැදිලි කරමින්, පසුගිය සතියේ ආණ්ඩුවේ ඉහළ නායකයකු දුරකතනය හරහා බැසිල් රාජපක්‍ෂ සමග සාමීචියකට පොටක් පාදාගන්නට හැදු බවද දැනගන්නට තිබේ. ඒ සම්බන්ධය හැදුවේ, රාජපක්‍ෂ පිළේ අන්තේවාසිකයකු හැටියට කටයුතු කරන පැපිලියාන පැත්තේ පන්සලක ප‍්‍රකට හිමිනමක විසින් බවද දැනගන්නට තිබේ. එහෙත් වාර්තා වන අන්දමට බැසිල් රාජපක්‍ෂ විසින් ආණ්ඩුවේ ප‍්‍රබලයා නොසලකා හැරීමෙන් කතාව ලත් තැනම ලොප්වී තිබේ.

ශ‍්‍රීලනිපය ඒකාබද්ධය සමග එකතුවන්නට කොයිතරම් උත්සාහ ගත්තද, ඒකාබද්ධ විපක්‍ෂය හෙවත් පොහොට්ටුව පක්‍ෂය තිබෙන්නේද ශක්තිමත් තැනක නොවේ. පසුගිය කාලය පුරාම විවිධ ආකාරයෙන් ඔසොවා තබන්නට උත්සාහ කළත්, ඒකාබද්ධය එකම තැන කැරකෙන ස්වභාවයක් පෙනේයැයි දේශපාලන නිරීක්‍ෂකයෝ කියති. පොහොය දෙකක් ඇතුළත මේ ආණ්ඩුව වට්ටවන බවට වහසිබස් දෙඩූ ඒකාබද්්ධ විපක්‍ෂයට තවමත් ආණ්ඩුවේ පොත්තක් ගලවාගන්නටවත් හැකිවී නැත. ආණ්ඩුවෙන් ඉවත්වී ඒකාබද්ධයට එකතුවුණු එක්කෙනා දෙන්නාද එහෙම එකතු වුණේ, ආණ්ඩුවේ ඇමතිධුරවලින් ඔවුන් නෙරපා හැරි නිසා යන්නට තැනක් නැතිවය. ඒ අතර, ඒකාබද්ධ විපක්‍ෂය පැත්තේ සිටිය යුතු එක්කෙනා දෙන්නා ශ‍්‍රීලනිපය පැත්තට ඇදෙමින් සිටිති. ජානිපෙ නියෝජ්‍ය නායකයා එවැනි එක් පුද්ගලයෙකි. ඒකාබද්ධය සමග දේශපාලන අනාගතයක් තිබේ නම්, මෙවැනි නායක මට්ටමේ පුද්ගලයන් එය අතහැර වෙන අතක් බලාගන්නට හේතුවක් නැත. ජනතාව අතර වේගයෙන් අප‍්‍රියත්වයට පත්වෙමින් සිටින ආණ්ඩුවකින් පුද්ගලයන් ගැලවී යෑම තේරුම් ගත හැක්කකි. එහෙත්, ඊළඟට බලය අල්ලන්ට සූදානම් වෙමින් සිටින පීපිගෙන එන පොහොට්ටුවක් වැනි පක්‍ෂයකින් එකා දෙන්නා පැනයෑම විසින් පෙන්නුම් කරන්නේ යාත‍්‍රාකිරීම කෙසේ වෙතත් ගිලෙන නැවක ස්වභාවය නම්, ඒ දේශපාලන බලවේගය සමග අනාගත සිහින දකින්නන් දෙපාරක්ම කල්පනා කළ යුතු නොවේද?

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂය පරණ රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි ගෙඩිපිටින් එහෙමම යළිත් කරමින් සිටියි. එයින් පළමුවැන්න, බැසිල් රාජපක්‍ෂ මහතාට ඒකාබද්ධ විපක්‍ෂයේ හෙවත් පොදුජන පෙරමුණේ නොනිල නායකත්වය හා මෙහෙයවීමේ වගකීම පැවරීමය. 2015 ජනවාරි මහින්ද රාජපක්‍ෂ පාලනය පරාජය වීමට මූලික හේතුවක් ලෙස විමල් වීරංවශ වැන්නන් පවා දුටු බැසිල් රාජපක්‍ෂ මහතාට පක්‍ෂයේ සම්පූර්ණ පාලනය බාරදීමෙන් මේ පිරිස චින්තනමය වශයෙන් එකම තැනක හිරවී සිටින බව තවදුරටත් පැහැදිලිවෙයි. බැසිල් රාජපක්‍ෂ මහතාට පක්‍ෂයක් යනු බිස්නස් එකක් බව පසුගියදා එක් දේශපාලන නිරීක්‍ෂකයෙක් කීවේය. බැසිල්ට රට ගොඩනැගීමේ දේශපාලනයක් නැත. ඇත්තේ පෞද්ගලික සමාගමක ප‍්‍රදාන විධායක නිලධාරියා හැටියට කටයුතු කරමින් විශාල මුදල ක් අතපත ගාමින් තමන්ටත්, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනෙක් අයටත් පරම්පරා ගණනක් ජීවත්වීමට අවශ්‍ය වන මුදල් බෙදාගැනීමේ ව්‍යාපාරික වුවමනාවක් පමණකි.

කරුණු කොහොම වුණත්, ඒකාබද්ධය හා ශ‍්‍රීලනිපය අතර සන්ධානයක් ගොඩනැගීමේ සියලූ අවස්ථා ගිලිහී ගොස් නැති බව වටහා ගත යුතුය. විශේෂයෙන් පළාත් පාලන ඡුන්ද විමසීමෙන් පසුව, ඒ ඒ අයතනවල බලය පිහිටුවීමේදී මේ සන්ධාන කතාව ආයෙත් ඉස්මත්තට එනවා නියතය. ඡුන්දයට පෙර සන්ධාන කතා, නාමයෝජනා දීමෙන් පසු තීරණාත්මකව අවසන් වුණත්, ඡුන්දයෙන් පත්වීමෙන් පසු ඒකාබද්ධ වීමේ කතාව එලෙස අවසන් වන දිනයක් නැත.

කොහොමටත් බෙලහීනවී සිටින සියලූම පක්‍ෂවලට තිබෙන අභියෝගය තනිවම ආයතන දිනාගැනීමය. පවතින තත්ත්වය යටතේ එක් පක්‍ෂයකට තනි බලයක් පිහිටුවන්නට තිබෙන හැකියාව ඉතා අඩු බව කියැවෙයි. එවැනි අවස්ථාවක නැවතත් සන්ධාන දේශපාලනය එළියට එනු ඇත. ශ‍්‍රීලනිපය එකතුවන්නේ එජාපය සමග නම්, එක්තරා විදියකට සම්මුති ආණ්ඩුවේ පොදු සම්මුතිය යළිත් වටයකින් ශක්තිමත් කිරීමක් එයින් සිදුවනු ඇත. එහෙත්, එකතුව සිදුවන්නේ ශ‍්‍රීලනිපය හා ඒකාබද්ධය අතර නම්, එය අලූත් දේශපාලන අභියෝගයන්ට මාර්ගය විවෘත කිරීමකි.

මනුවර්ණගේ සතිය

Top