විශේෂාංග

අසුචි කප්පරක් කාපු එකාට පඩයක් ගඳක්ද!දෙවෙනි මහා පැරකුම්බා ද නිකම්ම නිකං කුරුම්බාද තින්දුව ඔබම ගන්න

ගාල්ලේගේ පුන්යවර්ධන
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 1.

ජනාධිපතිතුමනි,

එදා මෙදා මහජන මුදල් හොරකම් කළ පාර්ලිමේන්තු හොරුන්ට දඬුවම් කර, හොරකම් කළ මුදල් අයකරගන්නා තුරු මැතිවරණය පැවැත්වීම නතර කරන්න.

පාර්ලිමේන්තුකාරයන්ගේ ඉල්ලීම් උද්ඝෝෂණ, නඩු කටයුතු ආදී වු විවිධාකාරයේ බලපෑම්වල එල්ලී ඉක්මණින් පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කරමින් සිටී. ඒ අතර ඔවුන්ද ඔවුන්ගේ ඇම්බැට්ටයන්ද මහත් උද්යෝගයෙන් යුතුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කරමින් මුළු රටේම අවධානය මැතිවරණය දෙසට යොමු කරනු දක්නට ඇත.

ඒ සමඟ පසුගිය මාස කීපය පුරාවට රටේ හැම දෙනාගේම කතා බහට ලක්වූ මහා බැංකු මකොල්ලය ඇතුලු එදා මෙදා පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද මහා පරිමාණ ජාතික මංකොල්ලකෑම් සියල්ල යටගොස් ඇත. පාර්ලිමේන්තුකාරයන් කුමන විදියට හිතුවත් සමාන්‍ය ජනතාව හිතන විදියට නම් එය එසේ සිදුවිය නොහැක්කකි. මන්ද ඒවා ඒ තරම් අති විශාල, දැවැන්ත මහා මංකොල්ලකෑම් නිසාය. නමුත් එය එසේ සිදුවී ඇත. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුකාරයන්ට වුවමනා වී තිබුනේ එයයි. පළාත් පාලන මැතිවරණයකට කෑ ගැහුව්වේ ඒ සදහාය. දන්නා කියන පාර්ලිමේන්තුකාරයන්ගෙන් පෞද්ගලිකව ඒ පිළිබඳ විමසූ විට ඔවුන් කියන්නේ ඒ පිළිබඳ ජනතාව කළබල විය යුතු නැති බවයි.

පාර්ලිමේන්තුකාරයන්ගේ හැටි එහෙම තමයි. පාර්ලිමේන්තුව කියන්නේත්, පාර්ලිමේන්තු ක්‍රමය කියන්නේත් ඒක බවයි. අවුරුදු හැත්තෑවක් වෙලත් ඒක තවම තේරුම් ගෙන නොතිබීම ගැන ඇත්ත වශයෙන් ඔවුන් සතුටු වන බවයි. ඇත්ත තමයි, දැන් කරන්නේ මැතිවරණ කටයුතු නිසා ඒ හොරකම් ගැන සෙවීම කල් දැමූ බව ජනතාවට හඟවා ඉන් පසුව වෙනත් මොනවා හරි දේශපාලන උද්ඝෝෂණ කිරීම් මගින් ඒවා තවදුරටත් යටපත් කොට දමා අන්තිමේදී ඒවා ජනතාවට මුලුමනින්ම අමතක කර දැමීමයි. මේ පළාත් පාලන මැතිවරණයේදී ජනතාව සැළකිල්ලට ගත යුත්තේ යූඇන්පී, ශ්‍රී ලංකා ආණ්ඩුවට පක්‍ෂව ඡන්දය දෙනවාද නැත්නම් ඊට විරුද්ධව ඡන්දය දෙනවාද යන කාරණය පමණක් බව, තවත් එක් ප්‍රධාන පාර්ලිමේන්තුකාරයෙකු විසින් කියා සිටීමෙන්ද තහවුරු වන්නේ පාර්ලිමේන්තුකාරයන්ගේ සැබෑ බලාපොරොත්තුව මැතිවරණ ඝෝෂාව මගින් හොරකම් යටපත් කිරීම බවයි.

ආණ්ඩුව පක්‍ෂව ඡන්දය දුන්නත්, ඊට විරුද්ධව ජනතාව ඡන්දය දුන්නත්, කවුරුන් දිනුවත් පැරදුනත් මැතිවරණය මගින් ජනතාව තුල ඇති කරනු ලබන ආණ්ඩු විරෝධී ජනමතය විශාල පිම්මකින් ඉදිරියට පනිනු ඇතැයි පාර්ලිමේන්තුකාරයන් බලාපොරොත්තු වේ, එමගින් පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද සියලු මංකොල්ලකෑම් ජනතාවට අමතක වී ගොස් ආණ්ඩුව පරාජය කිරීම ජනතාවගේ එකම අධිෂ්ඨානය බව ජනගත කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. ඒ අතර ආණ්ඩුව පරාජය කර දැමීමෙන්, පාර්ලිමේන්තුකාරයන් විසින් කරන ලද සියලු හොරකම්, මංකොල්ලකෑම් වලට නිසි දඩුවම දුන්නා යැයි ජනතාව අන්තිමේදී සතුටුවනු ඇත. පාර්ලිමේන්තුකාරයන්ද ඉමහත් සතුටට පත්වනු ඇත.

මේ ආකාරයට කල්පනා කර බලන විට පසුගිය අවුරුදු හැත්තෑව තුල පවත්වන ලද සියලු මැතිවරණවලින් සිදුවී ඇත්තේ, ජාතික ධනය හොරකම් කළ, මංකොල්ල කෑ පිරිස වෙනුවට වෙනත් පිසකට ඒ සඳහා අවස්ථාව ලබාදීමයි, එසේ නැත්නම් ඒ පිරිසටම නැවතත් ඒ සඳහාම අවස්ථාව දීමයි, ඇත්ත වශයෙන්ම එය එසේම බව දැනට පවත්වන්න සූදානම් කර ඇති පළාත් පාලන මැතිවරණයෙන් සක් සුදක් සේ පැහැදිලි වී ඇත.මේක තමයි පාර්ලිමේන්තුකාරයන්ගේ සෙල්ලම.ජනතාව ඒ බව තේරුම් ගෙන ඇත. ඒ සෙල්ලමට තවදුරටත් ඉඩදීමට ජනතාව සූදානම් නැත.

පවත්වන්නට යන මේ පළාත් පාලන මැතිවරණයට රුපියල් කෝටි 400 ක් වියදම් වන බව ජන මාධ්‍යයෙන් පැවසින. ඒ මහජන මුදල්ය. ඒ මහජන මුදල් වැය කරන්නේ, රටේ මහජන ධනය කොල්ලකෑම් සඳහා පිරිසක් පත් කරගැනීමටයි. ඒ බව දැන් හොඳටම පැහැදිලි වී ඇත. මැතිවරණවලින් කෙරෙන්නේ ඒ බව පසුගිය අඩසිය වසක කාලය තුල පාර්ලිමේන්තුකාරයන් විසින් ඔවුන්ගේ ක්‍රියා කලාපයෙන් නැවත නැවතත් පෙන්නා දී ඇත. එකල ඒවා ජනතාවට එතරම් දැනුනේ නැත්නම්, පසුගියදා ක්‍රියාත්මක වූ බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමෙන් එය ජනතාවගේ ඇහේ උලා ඇඟේ ගසා පෙන්නා දී ඇත. ජනාධිපතිතුමා විසින් ප්‍රසිද්ධියේ මහත් උද්වේගයෙන් යුතුව ප්‍රකාශ කළේ මැතිවරණයෙන් මාස තුනක් යන්නටත් ඉස්ස්සරවෙලා මේ වැඩේ කළානේ, යනුවෙනි. බැඳුම්කර කොමිසමෙන් ජනතාවගේ ඇඟේ උලා පෙන්නුම් කර දුන් තවත් කාරණයක් වන්නේ කිසිම ලැජ්ජාවක් බියක් හිරිකිතයක් නැතිව මේ මහා බැංකු මංකොල්ලයට පාර්ලිමේන්තුකාරයන් විශාල පිරිසක් කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇති බවයි. ඊටත් වඩා බරපතළ ජනතා කෝපය පුපුරා යන කාරණය වන්නේ මහා දවල් කරන ලද මේ මහා මහජන මුදල් මංකොල්ලයට කෙලින්ම හවුල්වී ඇති අගමැති ඇතුලු පාර්ලිමේන්තුකාරයන්, ඉන් පීඩාවට පත් වූ මහජනයාගේම මුදල්වලින් පොලිස් ආරක්‍ෂාව ලබා ගනිමින්, මහජන මුදලින් අධි සුඛෝපභෝගී වෙඩි නොවදින යාන වාහන වලින් පැමිණ මහජන මුලින්ම නඩත්තු කරන වට භටයන්ගෙන් වටවී ජනතාවට ජනතාවගේ මලපනින කතා කීමයි.

පසුගිය කාලයේ රාජපක්‍ෂ රෙජීමය විසින්, පාර්ලිමේන්තුකාරයන් විසින් මහජන මුදල් විශාල වශයෙන් හොරකම් කර ඇති නිසා, සංවර්ධන කටයුතු කිසිවක් කරන්නට බැරි බවත්, ඒ සඳහා මුදල් මහජනයාගෙන් ගතයුතු බවත් කියා සිටීමයි. බදු මුදල් මගින් මහින්ද රෙජීමය හොරකම් කල මුදල් ලබා ගතයුතු යැයි හරියට ජනතාව වැරදිකරුවන් ලෙස සළකා කරන මේ සාහසික කතා ජනතාව තවදුරටත් ඉවසා සිටීද? මෙවැනි ප්‍රකෝපකාරී කතා කියා සිටීමට නොපැකිලිම තරම් තවත් සාහසික තක්කඩිකමක් තවත් ඇද්ද? පාර්ලිමේන්තුකාර මොවුන්ගේ මෙම ජනතා ද්‍රෝහී තක්කඩිකම්වල තරම කෙතරම් දැයි පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසුරිය මහතා විසින්ද අපුරුවට කියා ඇත්තේ මෙසේය. අද ඇතැම් පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ ළමයින් තමන්ගේ පියා මංත්‍රීවරයෙක් බව කියන්න කැමති නැහැ, ලැජ්ජයි. මොවුන් මහ තක්කඩි රැළක්” යනුවෙනි. ඒ අතර තවත් මංත්‍රීවරයෙක් මංත්‍රීවරුන්ගේ මේ නින්දිත තත්වය පිළිබඳ කොතරම් කළකිරීමට පත්ව ඇත්දැයි පෙනුනේ, ඔහු විසින් මංත්‍රීවරුන්ගේ නමට ඉදිරියෙන් භාවිතා කරන ගරු” යන්නට, ඔවුන් නුසුදුසු බව කියා, තවදුරටත් ඔවුන් විසින් ගරු පදවී පද භාවිතා කිරීම වළකාලීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසාය.

පසුගිය දිනක මා මගේ හිතවත් තරුණ මංත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේදී හමුවූ අවස්ථාවේ ඔහු මා සමඟ කී දේද, පාර්ලිමේන්තුකාරයන්ගේ ජාතික මංකොල්ලකෑම් පිළිබඳ ඉදිරිපත් කළ හැකි තවත් එක් ප්‍රබල සාක්‍ෂියකි. ඔහු මා පාර්ලිමේන්තුවේ මහජන ගැලරියට ඇරලීමට පෙර මගේ සාක්කුවේ තිබූ පෑන දැක ඔහු කීවේ ඔය පෑනත් ආරක්‍ෂක කුටියට ලබා දිය යුතු බවයි, මේකෙ ඉන්නෙ මහා මංකොල්ලකාරයො, උන් ඔය පෑනටත් බයයි, යනුවෙනි.

පාර්ලිමේන්තුවත් පාර්ලිමේන්තුකාරයනුත් පිළිබඳ අලුත්ම විග්‍රහය වන්නේ, ජාත්‍යන්තර දුෂණ විරෝධී දිනය නිමිත්තෙන් වොෂින්ටන් නුවරදී දියත් කළ වංචා කළ දේපළ ආපසු ලබා ගැනීම සඳහා වූ ගෝලීය සංසදයේ රැස්වීමට සමගාමීව ඇමැරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශනයේ කියා ඇති දේ අපේ රටේ අපට තේරෙන භාෂාවෙන් කියන්නේ නම්, ඇමැරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා ඇත්තේ මේ රටේ ඇත්තේ, අන්ත දූෂිත කුජීත පාලනයක් බවයි.

එම ප්‍රකාශය පිළිබඳ මේ රටේ විගණකාධිපති මනා විග්‍රහයක් කර ඇත. හැත්තෑ අවුරුදු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන ශ්‍රී ලංකාව, පාලනයක් නැති දූෂිත රටක් ලෙස හඳුන්වනු ලැබීම ගැන මේ රටේ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතු බවයි. ඇත්ත වශයෙන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මේ ප්‍රකාශය පාර්ලිමේන්තුව තිගැස්සී වෙවුලා යාමට හේතුවන දෙයකි. නමුත් මේ රටේ පාර්ලිමේන්තුවට එය ඒ හැටි

දෙයක් නොවේ. මේ රටේ කතාවක් තියනවානේ අසුචි කප්පරක් කාපු එකාට පඩයක් ගඳක්ද කියා. උගත් මැදහත් සමාජ දේශපාලන විචාරකයෙක් පසුගියදාක කීයා සිටියේ, රජයේ ඉහළම තැන් සම්බන්ධ වී කරන ලද ලෝකයේ ලොකුම හොරකම වන මේ රටේ මහ බැංකු හොරකම වන අතර, ඊට සම්බන්ද ඒ මහ තැන කිසිදු ගානක් නැතිව මේ රට නියෝජනය කරමින් ජාත්‍යන්තර රාජ්‍ය සම්මේලනවලට සහභාගී වී කතාත් පවත්වනකොට, ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත්වන්නේ ඒ මහතැන් නොව ඒ මහතැන් නියෝජනය කරන රට බවයි. රටේ පාර්ලිමේන්තුව බවයි.

ඒ අතර අද මේ රටේ තවත් ප්‍රබල ඇමැතිවරයෙක් කියා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ, පාර්ලිමේන්තුකාරයන්ගේ, දුෂණ හා නාස්තිය නිසා ඉහළ බදු අය කරන්න සිදුවී ඇති බවයි. එය ජනතාවගේ සල්ලිවලින් වට බටයන් වට කරගෙන තවත් හාරපන්සිය ගනනක් සාක්කු පිස්තෝලකාරයන් පිරිවරාගෙන බත්ගොටු යූඇන්පී කාරයන් පණහකට හැටකට අගමැතිවරයා කරන කථාවට නොදෙවෙනි කථාවකි.

දුෂණත් නාස්තියත් රාජ්‍ය දේපළ, මංකොල්ලකෑමත් කළේ පාර්ලිමේන්තුකාරයන් නම්, ඒවා ඔවුන්ගේ අයකර ගතයුතුය. ඒ දේපලවල වටිනාකම් මුදලින් භාණ්ඩාගාරයට ලබාගත යුතුය. එසේ නැතිව මහජනයාගෙත් ඒ මුදල් බදු වශයෙන් අය කර ගැනීම කියන්නේ පාර්ලිමේන්තුකාරයන් කළ මහා සාවද්‍ය මහා ජාතික අපරාධවලට ජනතාවට දඬුවම් කිරීමකි.

ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුකාරයන්ගේ මේ සෙල්ලමට තවදුරටත් කිසිසේත් ඉඩ දිය නොහැක. ඊට ජනතාව සූදානම් නැත.ඊට වහා තිත තැබිය යුතුය. ඒ සඳහා තවත් හේතු අවශ්‍ය නොවේ.පළාත් පාලන මැතිවරණය නියත වශයෙන්ම පාර්ලිමේන්තුකාරයන්ගේ මේ මහා ජාතික හොරකම් හා අපරාධ වසා දැමීමට දරණ උත්සාහයකික් බව නැවත නැවත කියමි.

උදේට කැඳ ටිකක්වත් බොන්න හාල්පතක් නැති පවුල් කී දාහක් අවුරුදු දහස් ගනනක් තිස්සේ රටට බත සැපයූ පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිටීද? මීට කාලයකට ඉහත වගා ණය පියවාගන්න බැරිව බුරුතු පිටින් ගොවීන් වස බී මැරෙද්දී ඒ තත්වය ඇති කළ පාර්ලිමේන්තුවට විරුද්ධව, උන්ට ශාප කරමින් ඔබතුමා සමඟ පොල් ගහන්න ගිය පින්තූරයක් මීට ඉහත මා ඔබතුමාට එවා ඇත. ගොවිගම් දස දහස් ගනනකින් යුක්ත වූ ගොවි රජරට, පොළොන්නරුවේ ගොවින් අමතා පසුගියදා ඔබතුමා කීවේ, ඔබලා බඩගින්නේ තියන්න මං ඉඩ තියන්නේ නැහැ, මං කීයට හරි රටවල් පහකින් හාල් ගෙනැත් දෙනවා, යනුවෙනි. කෙතරම් ලැජ්ජා නැති කතාවක්ද?

මේ හාල් ගෙන්වීමෙන් හා බෙදාහැරීමෙන් පාර්ලිමේන්තුකාරයන් කොපමණ ගසා කනවද? කොපමණ මංකොල්ල කනවද? ඒ විදියට මංකොල්ල කන ගමන් නේද එදා

මෙදා පාර්ලිමේන්තුකාරයන් කොල්ල කෑ මහජන මුදල්, එවුන්ගෙන් අය කරගන්නේ නැතිව මහජනයාගෙන් බදු වැඩි කිරීමෙන් අය කරගන්න හදන්නේ. ඒ අතරේ මහජන මුදල් කෝටි 400ක් වැයකොට පළාත් පාලන මැතිවරණ පවත්වන්නේ එදා මෙදා උන් මුන් විසින් කරන ලද මහා මංකොල්ලකෑම් වසා ගන්නටත්, ඒ ගමන්ම තවත් ගම් මට්ටමේ හොරුන් මංකොල්ලකාරයන් පිරිසක් ඇති කරගන්නටත් නොවේ නම් වෙන මොනවටද?

එබැවින් ජනාධිපතිතුමනි, මේ පිළිබඳව සාවධානව හිතා බලන්න, වරක් මා ඔබතුමා කෘෂිකර්ම ඇමැති කාලයේ, ජාත්‍යන්තර ජාවාරම් කරුවන්ගේ ගසාකෑම් ගැන ඔබතුමාට කියා සිටි විට ඒ සඳහා ඔබතුමා දැක්වූ ප්‍රතිචාරය මට තවමත් මතකය. පොල්ගැසීමට යද්දී කී දේත් හොඳට මතකය. ඒ අනුව කල්පනා කිරීමේදී මා දැඩි ලෙස විශ්වාස කරන්නේ, ලෝක නින්දාවට පත්වී ඇති, ධර්මද්වීපයක් වූ මේ සිංහල අපේ රටට මහා හෙණපතයක් වී අති මේ දුෂ්ඨ දුර්දාන්ත පාලන ක්‍රමයට තිත තියන්න ඔබතුමාට ආත්ම ශක්තිය, ධෛර්ය හා දේශපාලනික විශ්වාසය ඇති බවයි.

එබැවින් ඒ සඳහා ගන්නා ප්‍රථම නිවැරදි, නිර්භීත පියවර විය යුත්තේ, රටවැසියන් දුකින් දුකටත්, පීඩාවෙන් පීඩාවටත් පත් කරන මේ ජනතා වංචා මැතිවරණය, වහාම නැවැත් වීමයි. පීඩාවට පත් වී ඇති ජනතාවගේත් මුදල් ගෙන ඒ මුදලින් තවත් හොරුන් පිරිසක් පත් කරන්නට තියන මේ මැතිවරණය වහාම අත් හිටු වීමයි.ඒ නිසා අඩුම වශයෙන් මහජනයාගෙන් මංකොල්ල කෑ ගසා කෑ මහා මුදල් කන්දරාව ආපසු මහා භාණ්ඩාගාරයට ගන්නා තුරුවත් මැතිවරණය කල් තැබීම ජනතා විරෝධී දූෂිත පාර්ලිමේන්තු පාලන ක්‍රමයට විරුද්ධව, කැකෑරෙමින් තිබෙන ජනතා කෝපාග්නිය සංසිඳවාලිම උදෙසා මේ අවස්ථාවේ දී ගතයුතු, ගත හැකි අතිශය ප්‍රඥාගෝචර නිර්භීත ක්‍රියාව වේ. පාර්ලිමේන්තුකාරයන් ඒ ගැන විරෝධය පාන්නේ නම්, ඔවුන් සියලුදෙනා විසින් කරන ලද ජාතික දේපල මංකොල්ල කෑම පිළිබඳව මේ රටේ සාමාන්‍ය නීතිය පරිදි ඔවුන් සියලු දෙනාම අත් අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳ නඩු විභාගය අවසන් වන තෙක් මේ රටේ ජනාධිපති පාලනයක් ස්ථාපිත කිරීම ජාතියේ ඉමහත් සතුටට හේතුවනු ඇත. එය ජනතාවගේ අවංක අව්‍යාජ අපේක්ෂාව වේ. ඒ සදහා එඩිතරව අභිතව, අදීනව, අව්‍යාජව ක්‍රියා කළ හොත් පොළොන්නරුවේ ගොවියා පිත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා, පොළොන්නරුව අගනුවර වන මේ සිංහල දේශයේ දෙවෙනි මහා පැරකුම්බා වශයෙන් විරුදාවලිය ලත් ජනේශ්වර ජනාධිපති වශයෙන් ඉතිහාස ගතවනු ඇත.

ගාල්ලේගේ පුන්යවර්ධන

Top