Breaking
28 Feb 2025, Fri

හොර පාරෙන් ගිය බහාලුම් 323ක තිබුනේ මොනවාද? බහාලුම් නිදහස් කිරීම පසුපස සිටින ආණ්ඩුවේ ප්‍රබලයා කවුද..?

අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු කන්ටේනර් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බව සමාජගත වූයේ, පසුගිය ජනවාරි 21 වනදාය.එහිදී මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළ රේගු නිළධාරී සංගමයේ සභාපති අමිල සංජීව අවධාරණය කළේ, මෙලෙස පරීක්ෂාවකින් තොරව රේගුවෙන් පිටකර ඇත්තේ, කුඩුද?, ආයුධද?, වෙනත් නීතිවිරෝධි දේවල්ද? කියා තහවුරු කරගැනීමට නොහැකි බවය.

ජනවාරි 23 වන දින මීට ප්‍රතිචාර දැක්වූ වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් ජයකොඩි කියා සිටියේ එවැනි නීතිවිරෝධී ද්‍රව්‍යයක් පිටවී ඇතැයි හෙළිවුවහොත් එහි වගකීම රජය භාර ගන්නා බවය.

ඇමතිගේ ටිකිරි උත්තර එලෙස වූවාට, මේ රටේ ජනතාවනම් මෙහි පරපතල කම හොඳින්ම දන්නේය. මන්ද මේ පිටකළ කන්ටේනර් 323 කුඩු හෝ, ආයුධ හෝ, වෙනත් තහනම් ද්‍රව්‍යයක් හෝ අඩංගු බව පවසා ආනයනය කළ ඒවා නොවන නිසාය. මේවා තුළ යම් තහනම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් ඇත්තම් ඒ තිබෙන්නේ ආනයනය කළ භාණ්ඩ අතර සූක්ෂමව සඟවලාය.

ඉතිං දැන් වරාගේ ගේට්ටුවෙන් පිට කළ බහාලුම් 323 විවෘත කර එවැනි දේ තිබුණේ නම් ඒවා අවශ්‍ය තැන්වල සඟවන්නටත් ඕනෑ තරම් කල් වේලා ඇතිය.මන්ද මේ බහාලුම් 323 පැය 2ක් වැනි කෙටි කාලයකදී මුදා හැර තිබුණේ, පසුගිය ජනවාරි 17 සහ 18 දෙදිනය තුළය.

“මෙම බහාලුම් 323 තුළ රෙඩ්(🔴) ලෙස නම්කර තිබූ අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු, බහාලුම් රැසක් තිබූ බව හා ඒවා පරීක්ෂා කිරීමකින් තොරව සමාජයට මුදාහැරීම බරපතල තත්ත්වයක්” “ඒවා අස්සේ ගෙන ආවේ, කුඩුද, ආයුධද, හොර බඩුද, සමාජයට අනතුරු දායක දේද කියල අපි දන්නේ නෑ.”- අමිල සංජීව – සභාපති, රේගු නිළධාරීන්ගේ සංගමය – 2025.01.21)

මේ සම්බන්ධයෙන් ජනවාරි 22 පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක්වූ අතර, එහිදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත කියා සිටියේ, තදබදය අඩු කිරීමේ අරමුණින් පිටකල බහාලුම් 323 ක ස්කෑන් කර පිටකර ඇති බවය.

එහෙත් ඊට පසු දිනම එනම් ජනවාරි 23 වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් ජයකොඩි පැවසුවේ, පරීක්ෂා කිරීමෙන් තොරව රේගුවෙන් පිට කළ බහාලුම් වල ආයුධ, මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් දෑ තිබූ බව හෙළිවුවහොත් එහි වගකීම ආණ්ඩුව භාරගන්නා බවය.

අනිත් අතට වරාය නියෝජ්‍ය ඇමති බිමල් රත්නායක කියා සිටියේ තවත් හතරබිරි කතාවකි. එනම් පරීක්ෂා නොකළ බහාලුම් 323 නේ තිබුණේ ආයුධ, කුඩු හෝ වෙනත් සමාජ විරෝධී දෙයක් නම් එහි වගකීම ආණ්ඩුව භාරගන්නා බවයි. එසේනම් එම බහාලුම් තුල තිබු දේවල් සම්බන්ධයෙන් වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා දැනගෙන සිටිය යුතුය.ඊට අදාළ ලැයිස්තුවක් ඔහු සතුව තිබිය යුතුය.

දැන් බහාලුම් 323 පිටකර අවසන්ය, ඒවායේ තිබුණේ කුඩුනම් ඒවා ලේඛණ ගතකර මෙරටට ගෙනා එකක් වන්නට බැරිය, අනික එහි බහාලුම පුරවා කුඩු ගෙන එන්නේද නැත, කුඩු ගෙනෙන්නේ වෙනත් ද්‍රව්‍යයන් අතර සඟවලාය. වරායෙන් පිටකරපු මේ බහාලුමේ කුඩු තිබුනානම් එය අල්ලා ගත හැක්කේ පරීක්ෂා කලහොත් පමනක්මය. දැන් ඒ සියල්ල රේගුවෙන් පිටකර අවසන්ය. ඇමතිවරු ගැලරිය චූන් කරන මෙහෙම කතා කිව්වද, ඇත්ත කතාවනම් පිටකරපු බහාලුම් 323 ක තුළ හොර බඩුවක්, තිබුනා නම් ඒකේ වලිගෙවත් දැන් අල්ලන්නට බැරිය.

මේ සිදුවීම ගැන මාධ්‍ය හමුවේ පැවසූ දේට වැඩි යමක් රේගු වෘත්තීය සමිති සන්ධානය 2025.01.21 වන දිනම ලිඛිතව රේගු අධ්‍යක්ෂ, ජේ‍්‍යෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ලිපියක් යොමු කර තිබුණේය.එහි ප්‍රධාන ශීර්ෂය තුළින්ම මෙම සිදුවීමේ බරපතලකම නිවැරදිව හඳුනාගත හැකිය.

“ව්‍යාජ බහාලුම් තදබදයක් මවා පෑමෙන් සහ එලෙස කෘතිමව ඇති කරන ලද දිගු ආනයනික බහාලුම් පෝලිමට මුවා වී අවදානම් කළමණාකරන නිර්ණායකවලට පටහැනිව බහාලුම් මුදා හැරීම හා එලෙස බහාලුම් මුදාහැරීම මගින් රාජ්‍යයට හිමිවිය යුතුව තිබූ රාජ්‍ය ආදායම අහිමි කිරීම සහ සමාජ ආරක්ෂණයට එරෙහිව සිදුකළ සාපරාධී අපරාධයක් පිළිබඳ විමර්ශනයක් සිදු කිරීම’ එම ශීර්ෂයයි.”

එහි අවධානයට ලක්කර තිබූ කරුණු 5ද ඉතාම වැදගත්ය.

  • 1. මෙම බහාලුම් 323 ම අවදානම් කළමණාකරන අංශය මගින් Red/ Amber Channel යටතේ අවදානම් ලෙස හඳුනා ගනු ලැබූ අනිවාර්ය පරීක්ෂාවට ලක්විය යුතු බහාලුම් බවට නිගමනය කර තිබීම.
  • 2. අවදානම් කළමණාකරන නිර්නායක මගහැර භාණ්ඩ මුදා හැරීම තුළින් අවදානම් කළමණාකරන නිර්නායක නොසලකා හැරීම.
  • 3. එලෙස අවදානම් ලෙස හඳුනාගත් බහාලුම් කිසිදු පරික්ෂාවකින් තොරව මුදා හැරීම නිසා රාජ්‍ය බදු ආදායම අහිමිවීම, අන්තරායකර සහ තහනම් භාණ්ඩ මහජනතාව වෙත මුදා හැරීම සහ වෙළඳ ප්‍රජාව තුළ තෝරාගත් පිරිසකට අනවශ්‍ය වාසියක් ලැබීම.
  • 4. මෙතෙක් අවදානම් කළමණාකරන නිර්නායක අනුව කඩිනමින් නිශ්කාෂණය කළ බහාලුම් අනවශ්‍ය ලෙස ප්‍රමාද කොට පෝලිම් ගසා කෘතිම ගැටළුවක් නිර්මාණය කර ඒ හරහා ඇතැම් කූඨ ආනයනකරුවන්ට, බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ට සහ ජාවාරම් මෙහෙයවන වාප්පු ලිපිකරුවන්ට මහජන මුදල් ගසා කෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම.
  • 5. අදාළ බහාලුම් 323 හි ඇතැම් ආනයනකරුවන්ට සහ භාණ්ඩ නිශ්කාෂන ආයතනවලට රේගු වැරදි සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදී දණ්ඩන පමුණුවා තිබීම සහ එම දත්ත තිබියදී ඒවා නොසලකා හරිමින් බහාලුම් මුදා හැරීම.

මෙම රේගු බහාලුම් මුදා හැරීමේ වංචාව සම්බන්ධයෙන් දැන්, දැන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වෙමින් තිබේ.

මාධ්‍යවේදියකු මෙන්ම දේශපාලන විචාරකයකු වන තිළිණ මලලසේකර තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, තවමත් මේ ගැන කරුණු සොයන අපේ ගවේශණාත්මක මාධ්‍යවේදීන්ට ඕනෑනම් හෝඩුවාවක් දීමට පුළුවන් කියාය.රේගුවට සම්බන්ධවෙලා හිටපු කෙනෙක් දැන් ජනාධිපති ළඟ ලේකම් කෙනෙක් බවත්, කන්ටේනර්වල බඩු ගෙන්වන සමාගමක ප්‍රධානියෙක් මේ ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයෙක් බවත් ඔහු පෙන්වා දී තිබුණේය.පුර්වාපර සන්ධි ගලපා කතාව හදාගන්නට ආරාධනා කරන තිළිණ, මෙය ශ්‍රී ලංකාවේ සිදුවූ ලොකුම වංචාව විය හැකි බවටත් අනුමානයක් කර තිබුණේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් එච් කුමානායක මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ අතර, රේගු දූෂණ හා අඛණ්ඩතාව, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔහු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ආචාර්ය කුමානායක 1997 දී ශ්‍රී ලංකා රේගුවේ සහකාර අධිකාරීවරයෙකු ලෙස රජයේ සේවයට එක් විය. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් එච් කුමානායක මීට පෙර ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ අතර, රේගු දූෂණ හා අඛණ්ඩතාව, ජාත්‍යන්තර වෙළඳාම සහ සංවර්ධන ආර්ථික විද්‍යාව වැනි පර්යේෂණ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇත. ඔහු සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. ආචාර්ය කුමානායක 1997 දී ශ්‍රී ලංකා රේගුවේ සහකාර අධිකාරීවරයෙකු ලෙස රජයේ සේවයට එක් විය. ඔහු මාතර රාහුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගත්තේය.

මේ අතර මාධ්‍යවේදී සංජීව බටුවත්තද තම මුහුණපොතේ සටහනක් තබමින් මහබැංකුව ගැන ලියූ අයට කන්ටේනර් හොරකම ගැන ලියන්නේ නැත්තේ ඇයි ? කියා ප්‍රශ්ණ කර තිබූ අතර මෙම කන්ටේනර් 323 නේ තිබුණේ, කුඩු?, රත්‍රං? ආයුධ ? කියා විමසන අතර, මේවා පැමිණ ඇත්තේ කාගේ නමටද? පරීක්ෂණ යට ගහන්නේ කවුද? යන්නත් විමසා තිබුණේය.

සැබවින්ම මෙම බහාලුම් 323 පරීක්ෂණයකින් තොරව පිට කිරීම පැති කිහිපයකින් බරපතල ප්‍රශ්ණාර්ථ රැසක් මතු කරන සිදුවීමක්ය.

මෙය සැලසුම් කළ අය ඇතැම්විට තහනම් දෑ සමාජගත කිරීමත්, රටට හිමිවිය යුතු බදු ආදායම් අහිමි කිරීමත්,කූඨ ආනයනකරුවන් කිහිපදෙනෙකුට වෙළඳපොල තුළ අනවශ්‍ය වාසියක් ලබාගැනීමට උදව් දීමත් අරමුණු කරගන්නට ඇතිය.

එදා සීනි බදු වංචාව, සුදුළූණු වංචාව, පොල්තෙල් වංචාව ලෙසම මෙයද ජනතාවගේ ඇසට වැලි ගසා ආණ්ඩුවේ ඇතමුන් හා රජයේ ඉහළ තනතුරු දරන නිළධාරීන් පිරිසක් එකට එක්ව සිදුකළ තවත් වංචාවක් නොවන්නේද?සමහරුන්ගේ කල් මැරීමත්, සමහරුන්ගේ මුනිවත රැකීමත්, සමහරුන්ගේ ක්‍රියාකාරීත්වයත්, මේ වනවිට බහාලුම් 323 පිට කිරීම වෙනුවට, නැව් හරවාගෙන යාමක් ගැන පරීක්ෂණ ඉල්ලා මාතෘකාව වෙනතකට යොමු කිරීමට දරණ උත්සාහයන් හමුවේ අපගේ මෙම සැකය තවදුරටත් තහවුරු වන්නේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.