ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ට රණවිරුවෙකු වන බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක මැතිතුමා යුද බිමේ දැක්වූ දස්කම් වලට වීර වික්‍රම විභූෂණ, රණශූර කියන පදක්කම් දෙකද ඇතුළුව පදක්කම් හතක් දිනාගත්ත නිලධාරියෙක්. මෙහිදී වීර වික්‍රම විභූෂණ සම්මානය අතිශයින්ම වැදගත්. මොකද වීර වික්‍රම විභූෂණ සම්මානය තමයි පසුගිය යුද සමයේ ජීවතුන් අතර සිටියදී රණවිරුවෙක් ලබාගත්ත ඉහළම සම්මානය. එවැනි දුර්ලභ සම්මාන දිනාගත්ත රණවිරුවෙකුට තමයි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්තයා අර හමුදාවේ මේ හමුදාවේ කියලා තහඩු කෑලි එල්ලගෙන එනවා මෙතන කියලා අපහාස කිරීමක් සිද්ධ කළේ.
ඇත්තෙන්ම දිලීප පීරිස් මහතා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නීතිපතිතුමා වෙනුවෙන්. අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට නීතිමය බලයක් නැහැ. නීතිපතිවරයාගේ නියෝජිතයෙක් විදිහට තමයි දිලීප පීරිස් මහත්මයා අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ. නීතිපතිවරයා නියෝජනය කරන්නේ රජය. රජයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා තමයි මේ සම්මාන සන්නස් වල අත්සන් කරලා ගැසට් මගින් රටට කියලා මේ රණවිරුවන්ට ලබා දුන්නේ. එතකොට මේ ජනාධිපතිවරයා විසින් ලබාදුන්නු සම්මාන තමයි ජනාධිපතිවරයා යටතේ සේවය කරන අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවඥාවට ලක් කරන්නේ.
ඒ වගේමයි ඔය සම්මාන නිකන් ලබාගන්න බැහැ. වීර වික්‍රම විභූෂණ, රණශූර වැනි සම්මානයක් දිනාගන්න නම් තමන්ගේ ජීවිතය පරදුවට තබා අනුන්ගේ ජීවිත රැකගන්න යුද බිමේදී කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි අපි කියන්නේ රණවිරුවන්ට පින් සිද්ධ වෙන්නයි අපි තවමත් ජීවත් වෙන්නේ කියලා. එහෙම මිසක් ආණ්ඩුවක දඩ බල්ලෙක් වෙලා රණවිරුවන්ට අපහාස කරලා මෙවැනි සම්මාන ලබාගන්න බැහැයි කියන එක අපි දිලීප පීරිස් මහත්තයාට සිහිපත් කරනවා.
ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි දවසක කිව්වා අර දිට්ඨවා සුළි සුළඟෙන් පස්සේ පාර්ලිමේන්තුවට පැමිණ කතාව කරද්දි කිව්වා එක තහඩුවක් ගහලා ගියත් ලක්ෂ දහයක් ලබාදෙනවා කියලා. අපේ ඒ නිසා දිලීප පීරිස් මහත්තයාට හිතුණාද දන්නේ නැහැ අර ශාන්ත ජයතිලක මැතිතුමාගේ කමිසේ තාඩු හතක් එල්ලෙනකොට මේ තාඩු හතම ගහලා යන්න මන් කතා කලොත් මට ලක්ෂ දහයේ ඒවා හතක් ලක්ෂ හැත්තෑවක් ජනාධිපතිතුමාගෙන් ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මේ ලක්ෂ හැත්තෑවකට පෙරේතකමටද රණවිරුවන්ට අපහාස කලේ කියලා අපට සාධාරණ සැකයක් ඇතිවෙනවා.
ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ රීති 53 අනුව නීතිඥයෙක් අධිකරණයේ කරුණු දක්වද්දී සැකකරුවන්ට, අනිත් පාර්ශවයේ නීතිඥයන්ට හෝ වෙනත් තුන්වන පාර්ශවයකට අපහාස වන ආකාරයෙන් කතා නොකළ යුතුයි කියලා සඳහන් වෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ රීති 54 රේ නීතිඥවරයෙක් අධිකරණයේ හැසිරීමේදී තමන්ගේ පෞද්ගලික හැඟීම් හෝ තමන්ගේ අවශ්‍යතා මත කටයුතු නොකළ යුතුයි කියලා සඳහන් වෙනවා. දිලීප පීරිස් මහත්මයා පහුගිය කාලේ අධිකරණ ඉදිරියේ කරුණු දැක්වීමේදී මේ රීති දෙකම බිඳදාලා තියෙනවා. ඒ නිසා දිලීප පීරිස් මහත්මයාව නීතිඥ වෘත්තියෙන් ඉවත් කරන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට අවශ්‍ය නඩු නිමිත්තක් දැන් උදාවෙලයි තිබෙන්නේ.
දිලීප පීරිස් මහත්තයා මේ සැකකරුවන්ට අපහාස කරන්නේ පුරුද්දට වගේ. ශාන්ත ජයතිලක මැතිතුමා නම් සැකකරුවෙක් නෙවෙයි. ඔහු උසාවියට ගියේ මැදිහත්කරුවෙක් විදිහට, අධිකරණයට සහාය වෙන්න. එහෙම මිසක් ඔහු සැකකරුවෙක් නෙවෙයි. හැබැයි මීට කලින් 2025 මාර්තු 19 වෙනිදා දේශබන්දු තෙන්නකෝන් මහත්මයාව මාතර මහේස්ත්‍රාත් උසාවියට ගෙන්නපු අවස්ථාවේ, රනිල් වික්‍රමසිංහ මැතිතුමාව කොටුව මහේස්ත්‍රාත් උසාවියට කැඳවපු අවස්ථාවේ, සලේ මැතිතුමා සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු දක්වද්දී මේ සැකකරුවන්ට අපහාසාත්මකව තමයි අපේ දිලීප පීරිස් මහත්තයා කටයුතු කළේ. ඔවුන් හැඳින්වූයේ අපරාධකරුවන් විදිහට. හැබැයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය, යම් පුද්ගලයෙක් අධිකරණය විසින් වැරදිකරුවෙක් යැයි තීරණය කරන තුරු ඔහුට නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ රටේ පුරවැසියන් ලබාදීලා තියෙන අයිතිය උදුරා ගන්න දිලීප පීරිස් මහත්තයාට කිසිසේත්ම හැකියාවක් නැහැ.
හැබැයි එතුමා මට අපහාස කරන්න ඇවිල්ලා නම් දවසක් හොඳටෝම ඇනගත්තා. කොළඹ මහාධිකරණයේ ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව නඩුකාරතුමා ඉදිරියේ තමයි යහපාලන ආණ්ඩුව කාලේ මට පැවරුණු බොරු නඩුවක් තිබුණා, පස්සේ මම නිදොස් කොට නිදහස් වුණා. මේ නඩුවේදී අපේ දිලීප පීරිස් මහත්තයා තමයි රජයේ නීතිඥයා විදිහට කටයුතු කළේ. මට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර තිබෙන ධර්ම විජය විහාරයේ අභිනවයෙන් ඉදි කළ චෛත්‍යය විවෘත කිරීම සඳහා ආණ්ඩුව පැත්තෙන් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මැතිතුමාටත්, විපක්ෂය පැත්තෙන් මටත් ආරාධනාවක් ලැබුණා. මගේ නීතිඥවරයා මේ ආරාධනා පත්‍රය අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයෙන් ඉල්ලීමක් කළා මට මේ උත්සවයට සහභාගි වෙන්න මට පනවලා තියෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්නේ කියලා. මේ අවස්ථාවේ රජයේ නීතිඥයා විදිහට කටයුතු කරපු දිලීප පීරිස් මහත්තයා අධිකරණයට කරුණු දක්වලා කියනවා “ස්වාමීනි මේක අවුරුදු 25කට වඩා පරණ පන්සලක්, මේ පන්සලට චෛත්‍යයක් නැතිවෙන්න විදියක් නැහැ, මේක මේ චුදිතයා රටින් පැනගන්න කරන කුමන්ත්‍රණයක්, ඒ නිසා මේ ඉල්ලීමට ඉඩ දෙනවට නීතිපතිවරයා විරුද්ධයි” කියලා. දැන් මේ ආරාධනා පත්‍රයේ පිටපතක් දැන් අපේ නඩුකාරතුමා අතේ තියෙනවා. නඩුකාරතුමා ඇහුවා “ඔබ නියෝජනය කරන දෙපාර්තමේන්තුව මොකක්ද?”, “නීතිපති දෙපාර්තමේන්තුව ස්වාමීනි.”, “නීතිපති දෙපාර්තමේන්තුව තියෙන අමාත්‍යාංශය මොකක්ද?”, “අධිකරණ අමාත්‍යාංශය ස්වාමීනි.”, “අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා කවුද?”, “ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා.” “දැන් ඔබ කියන්නේ ඔබගේ ඇමතිවරයාත් මේ චුදිතයාට රට පනින්න කුමන්ත්රණයේ හවුල්කරුවෙක් කියලද? අධිකරණ ඇමතියි මේ චුදිතයයි එකට එකතු වෙලා රට පනින්න බොරු උත්සවයක් දාගත්තා කියලද?” කියලා ප්‍රශ්න කළා. එතකොට තමයි කටවාචාලකමට කියෙව්ව එකේ බරපතලකම තේරුණේ. මුළු උසාවියම සිනාසුණා. දිලීප පීරිස් මහත්තයා තමන් කරපු ප්‍රකාශය ඉල්ලා අස්කරගත්තා.
ඉතින් අපි දිලීප පීරිස් මැතිතුමා මේ ආකාරයෙන් උසාවියේදී අන් පුද්ගලයන්ට අපහාස කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ රීති අමුඅමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කරන නිසා එතුමාගේ නීතිඥ කබාය ගැලවීමට අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා කියන පණිවිඩය අපි එතුමාට ලබා දෙනවා.
2026 ජූලි 06 දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්
