Breaking
20 Apr 2025, Sun

මෛත්‍රිපාල හැකි ඉක්මණින් පන්නා දැමිය යූතු ය

මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්‍ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. බටහිර හා ඉන්දීය ඔත්තුසේවා නිලධාරීහු සිය අමන කාර්යයන්හි යෙදී සිටිති. චම්පක වැන්නන්ගේ රෙදි පිළි ගැළවී අහසේ පාවී යයි. රතන හිමියන්ගේ හා ඕමල්පේ හිමියන්ගේ බොරු කතාවලින් උන්වහන්සේලාගේ පාවාදීම වසාගත නො හැකි ය. එක්සත් ජනතා සංධානයේ ලැයිස්තුවල දේශප්‍රේමීන්ට අමතරව ද්‍රෝහියෝ ද සිටිති. එක්සත් ජනතා සංධානයේ ජාතික ලැයිස්තුව අච්චාරුවකි. එහි ඉන්දීය ඔත්තු සේවාවේ අය ද චන්ද්‍රිකාගේ නියෝජිතයෝ ද මෛත්‍රිපාලගේ නියෝජිතයෝ ද මහින්දගේ නියෝතජියෝ ද වෙති. ඝාතනය කෙරුණු ශ්‍රී ල නි පක්‍ෂයට පැහැදිලි නායකත්වයක් නැත.
මේ සියල්ලන්, ශ්‍රී ල නි පක්‍ෂයේ චන්ද්‍රිකා, එස් බී, මෛත්‍රිපාල ආදී ඇතැමුන් ද ඇතුළුව, මහින්දට විරුද්ධ වන්නේ ඊනියා දූෂණ, භීෂණ ආදිය නිසා නොවන බව කුඩා දරුවකුට වුවත් අවබෝධ විය යුතු ය. එ ජා පක්‍ෂයේ එක් දූෂිතයකුවත් සොයා ගැනීමට නොහැකි තරමට ඒ පක්‍ෂය පිරිසිදු ද? රනිල් කෙතරම් වෑයම් කළත් මහා බැංකු වංචාව වසන් කිරීමට නො හැකි ය. රනිල්ගේ මට්ටමේ වංචාවක් කළ අයකු මෙරට ඉතිහාසයේ නැත. අප කලින් ද කියා ඇති පරිදි සංධානයෙන් දූෂණ සිදු වී ඇතැයි උපකල්පනය කළ ද රටේ වටිනාකම අමිළ හෙයින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කීිරීමෙන් සංධානයෙන් සිදු වී ඇති සේවය සමග සැසඳීමේ දී ඒ ඊනියා දූෂණ නොගිණිය හැකි වෙයි. එහෙත් රනිල්ගේ පාවාදීම්, ප්‍රභාකරන් සමග ඇති කළ ඊනියා සටන් විරාම ගිවිසුමේ සිට ඊයේ පෙරේදා බලය බෙදීමට ඔහු එකඟත්වය පළකිරීම දක්වා, සැලකුවහොත් ඔහුගෙන් රටට සිදු වී ඇති අයහපත දහස් ගුණයකින් වැඩි වෙයි.

සියළු විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද පැරදවීම මිස ශ්‍රී ල නි ප හෝ සංධානය හෝ පැරදවීම නො වේ. මහින්ද නැති ශ්‍රි ල නි පක්‍ෂයක් නැති බව දහස් වරක් පෙනී ගොස් ඇත. අද ඇත්තේ ශ්‍රී ල නි ප හෝ එ ජ නි ස හෝ මැතිවරණ ව්‍යාපාරයක් නොව මහින්ද මැතිවරණ ව්‍යාපාරයකි. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මහින්ද රෙජිමය පැරදවීම ය. ඒ ඔවුන්ගේ ලංකා වසන්තය ය. ඔවුන්ට මහින්ද පැරදවීමට අවශ්‍ය වී ඇත්තේ තම අභිමතය පරිදි ක්‍රියා නොකර මහින්ද විසින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කරනු ලැබීම නිසා ය. බටහිරයන්ගේ සුවච කීකරු ගැත්තා වූ ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට දෙමළ ජාතිවාදයට කප්පන් දී සිංහල ජාතිකත්වය හා රටේ ස්වෛරීභාවය නැති කිරීමට සැදී පැහැදී සිටින්නාවූ ද රනිල් කියන්නේ ජනතාවගේ අනාාගතය වෙනුවෙන් මහින්දගේ අනාගතය නැති කළ යුතු ය. චම්පක වැන්නෝ මහින්ද ගෙදර යැවීමෙන් සෑහීමකට පත් නොවෙති.

එහෙත් මහින්ද පරාජය කිරීමේ දී ඔවුන් විසින් ශ්‍රී ල නි පක්‍ෂය ද ඝාතනය කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ මහින්ද නැවත බලයට පත්කිරීමේ ව්‍යාපාරය ජනතාව විසින් මෙහෙයවනු ලැබීම ය. එව බලව වැනි සංවිධාන ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධියක් ලබා නොදුන්න ද මහින්ද නැති රට මැයෙන් සම්මන්ත්‍රණ සංවිධාන කෙළේ ය. නුගේගොඩ රැස්වීම විසින් මේ ජනතා බලය කරළියට ගෙනෙනු ලැබිණි. ඒ අතර භික්‍ෂූන් වහන්සේ පැරණි සිංහල සිරිත අනුව යමින් මහින්ද වෙනුවෙන් බෝධි පූජා පවත්වමින් ඔහු ආරක්‍ෂා කරගනිමින් ඉතිහාසය යළි නිර්මාණය කළහ. නූතන සෝමාරාමට හෙවත් මෛත්‍රිපාලට ඒ දරාගත නොහැකි විය. ඔහුට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි ප අපේක්‍ෂකත්වය දීමට සිදු විය.

අනුර යාපා ප්‍රකාශ කළ අන්දමට මහින්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන කණ්ඩායමේ නායකයා ලෙස තරග වදියි. නූතන බුද්ධරක්ඛිතලාට සෝමාරාමලාට ජනගඟ ආපසු හැරවීය නො හැකි ය. මහින්ද අගමැති වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන කණ්ඩායමක්, චම්පකලා ආදීන් සමග එකතු වී අද එ ජා පක්‍ෂයෙන් තරග වදියි. ඔවුන් ගොස් ඇත්තේ එස් බී දිසානායක, දුමින්ද දිසානායක වැනි පිරිසක් එස් බීගේ වචනවලින් ම යම් අවබෝධයක් සහිතව මෛත්‍රිපාල සමග තබා ය. එස් බී පැහැදිලිව ම කියන්නේ අනාගතයේ දී ඔවුන් සියල්ලන් එකතු වී ආණ්ඩුවක් පිහිටුවන බව ය. ඒ ආණ්ඩුවේ අගමැති රනිල් බව අමුතුවෙන් කිව යුතු නො වේ. පක්‍ෂය මාරු නොකර මන්ත්‍රීවරයකුට රනිල් හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත්කිරීමට කැමැත්ත දිය හැකි ය. මෛත්‍රිපාල අර අඳින්නේ කුමකට ද යන්න අපට නම් පැහැදිලි වී බොහෝ කල් ය. එහෙත් ඇතැම් දේශපාලන විචාරකයන්ට ඇතා නො දැක ඇතා ඇතැයි කිව නො හැකි ය.

මෛත්‍රිපාල ඊනියා විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දට අගමැතිකම නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. මෛත්‍රිපාල මහින්ද එකතුව ජයග්‍රහණයක් යැයි කී සංධාන නායකයන් දැන් කියන්නේ කුමක් ද? එසේ කී ඊනියා දේශපාලන විචාරකයන් ගැන කියන්නේ කුමක් ද? ජනමාධ්‍ය ඔවුන්ට මිිස අපට සවන් නොදෙන්නේ ඇයි? මට පැහැදිලිව කිව හැක්කේ ඊනියා සංධාන නායකයන් අතර මහින්දට විරුද්ධ, ශ්‍රී ල නි පක්‍ෂය නැත්තට ම නැති වී යනු දැකීමට කැමති කිහිප දෙනකු තවමත් මහින්ද ව්‍යාපාරය අවුල් කරන බව ය. අවාසනාවකට බොහෝ දෙනා සිතන්නේ ඔවුන් මහින්දගේ අව්‍යාජ ආධාරකරුවන් බව ය. ඔවුන් අවසානයේ දී චම්පක නැවති තැන ම නවතිනු ඇත.

අද කළ යුතු කාර්යයන් දෙකක් වෙයි. ජනතා ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම මෙහෙයවනු ලැබුයේ භික්‍ෂූන් වහන්සේ ප්‍රමුඛ සිංහල බෞද්ධයන් විසිනි. ඒ ව්‍යාපාරය එසේ ම පවත්වාගෙන යා යුතු ය. ඒ මෙරට සංස්කෘතිය ය, මෙරට ඉතිහාසය ය, මෙරට සම්ප්‍රදාය ය. මහින්ද ව්‍යාපාරයේ එක් කොටසක් රැස්වීම් සම්මන්ත්‍රණ ආදී වශයෙන් බටහිර දේශපාලන සම්ප්‍රදාය අනුව කෙරී ගෙන යා යුතු අතර අනෙක් කොටස සිංහල බෞද්ධ සම්ප්‍රදාය අනුව භික්‍ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පන්සල් ආශ්‍රිතව දිගට ම කෙරී ගෙන යා යුතු ය. මහින්ද ව්‍යාපාරය ප්‍රධාන වශයෙන් ම සිංහල බෞද්ධයනට ආමන්ත්‍රණය කළ යුතු ය. ජනාධිපතිවරණයේ දී ද මහින්දට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ සිංහල බෞද්ධයන්ගෙනි. පඬියන්ගේ ඔත්තු සේවා නියෝජිතයන්ගේ කියමන් අනුව ගොස් මහින්ද සිංහල බෞද්ධ ජනතාව කිසිසේත් අමතක නොකළ යුතු ය. එහෙත් අනෙක් ජන කොටස් විශේෂයෙන් ම සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාව හා දෙමළ ඊනියා අඩු කුල ජනතාව අමතක කළ යුතු යැයි මෙයින් නො කියැවෙයි. මේ සියල්ලෝම අවුරුදු පන්සියයකට එපිට සිංහල බෞද්ධ වූහ. ඔවුන්ගේ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ නශ්ටාවශේෂ වෙයි. නියමිත වෙලාවෙහි ඔවුන්ගෙන් බහුතරය බටහිරයන්ට හා ඉන්දියයන්ට විරුද්ධව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳ ගනු ඇත.

අප දෙවනුව මතක තබාගත යුතු කරුණ නම් මහින්ද මතවාදීන්ට පමණක් මනාප ලබා දීම ය. එමගින් එස් බී ආදීන්ගේ අභිප්‍රාය පරිදි රනිල් හෝ මහින්ද නොවන වෙනත් අයකු අගමැති කර නැවතත් පික්පොකට් ආණ්ඩුවක් බලයට පත්කිරීමට මෛත්‍රිපාලට ඉඩක් නොදී සිටීමට හැකි ය. මනාප ලබා දිය යුත්තේ කාහට ද යන්න මැතිවරණ ව්‍යාපාරයේ දී හෙළිදරවු කෙරෙනු ඇත. අප අගමැති කළ යුත්තේ රට රැකි හා රට රකින මහින්ද මිස රට දෙමළ ජාතිවාදයට පාවා දෙන බටහිර ගැති රනිල් නො වේ. ඉන්දිය ඔත්තු සේවකයන් සංධානයේ ජාතික ලැයිස්තුවට නම් කළ මෛත්‍රිපාල හැකි ඉක්මණින් පන්නා දැමිය යූතු ය.

නලින් ද සිල්වා

2015 ජූලි 14

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.