Anonymous Reporter

තිදෙනෙකුට මරු කැදවු කැබ් රථය අලවතුවලගේ ප්‍රචාරක රථයක් -පොලිසිය සියල්ල වසා දමයි

අද (27) අලුයම 1.30 ට පමණ කුරුණෑගල මහනුවර මාර්ගයේ රජපිහිල්ල හන්දිය අසලදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්කරමින් එහි ගමන් ගත් තිදෙනෙකු මරණයට පත්කරමින් පලාගිය කැබ් රථය කුරුණෑගල එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින පලාත් සභාවේ විපක්ෂ නායක J.C.අලවතුවලගේ එකක් බව අනාවරණය වි තිබේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් කල තිදෙනාම බරපතල තත්වයේ සිටි බැවින් කුරුණෑගල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔවුන් තිදෙනාම මිය ගිය බව වාර්ථා විය. ඔවුන් තිදෙනාම අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

දහවල් වන විට ලැබුණු හෝඩුවාවන් අනුව මාරක රිය අනතුර සිදුකර පලා ගිය කැබ් රථය මාවතගම නිවසක සගවා තිබියදී සොයා ගැනීමට කුරුණෑගල පොලීසිය සමත් විය. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය හා ඉදිරිපත් වූ රියදුරු සැක පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

DAA- 4006 අංක දරණ සුදු පාට ටාටා වර්ගයේ කැබ් රථය අනතුරට පත් වන වේලාවේ මෙවර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පලාත් සභාවේ විපක්ෂ නායක J.C.අලවතුවලගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටි අතර පොලීසිය භාරයට ගැනීමේදී එම කැබ් රථය සරසා තිබූ ස්ටීකර් ගලවා ඉවත් කර පිරිසිදු කර තිබුණ බව පෙනී ගියේය.

අනතුර සිදුවන වේලාවේ කැබ් රථයේ රියදුරු ඇතුලු පෝස්ටර් ඇලවීමට ගිය තිදෙනෙක් සිටි අතර ඔවුන් එම කටයුත්ත සදහා J.C.අලවතුවල විසින් මුදල් ගෙවා සේවයේ යෙදවූ කුලී කරුවන් බව දැනගන්නට ලැබුණි.

මෙම මාරාන්තික රිය අනතුර පිළිබද පොලිස් පරීක්ෂණ සිදු කරන අතර දැන් එය මැතිවරණ කටයුතු වලින් තොර සාමාන්‍ය රිය අනතුරක් ලෙස ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලැබී ඇති බව දැනගන්නට ලැබුණි.

Top