විශේෂාංග

සිංහලයා ගොනාට ඇන්දු -මෛත්‍රීගේ ජාතික ආණ්ඩුව

ජාතික ආණ්ඩු කන්නද?

සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩු තනන්නේ බාහිර සතුරෙකුට මුහුණ දීම සඳහා හෝ රට සුවිශේෂී තත්වයකට මුහුණ දුන් විටය. අප රට කිසියම් රටක් විසින් ආක්‍රමණය කරනවා නම් අපට ජාතික ආණ්ඩුවක් අවශ්‍ය විය හැකිය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයක් සිටිය යුතුය. ඒ ආණ්ඩු පක්ෂයේ කාර්යයන් දෙස විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කිරීම සඳහාය. එය යහපාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අවැසි අංගයකි. අනෙක් අතට ජාතික ආණ්ඩුවක් තැනූ පසු හොරු අල්ලන්නේ කෙසේද? ජාතික ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන හොරු නොබේරෙයිද?

යහපාලනයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් යනු කුමක්දැයි සිරිසේන දන්නා බවක් පෙනෙන්නට නැත. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්ම ඒවා මෙරටින් මුලිනුපුටා දැමීමට සිරිසේන කටයුතු කරමින් සටියි. ජයවර්ධන ජනාධිපතිවරයා මෙරට අධාර්මික රාජ්‍යයක් බවට පත් කළේ ධර්මිෂ්ට රාජ්‍යය සංකල්පය යටතේ බව අප මතක තබා ගත යුතුය. ජාතික ආණ්ඩුවක් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා හෝ යහපාලනයක් සඳහා හෝ හිතකර තත්වයක් නොවේ. ජාතික ආණ්ඩුවක් තැනිය යුත්තේ යහපාලනයක් හෝ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන හිතනවාට වඩා බරපතල අර්බුදයකට රට මුහුණ පෑ විටය. එවන් අභියෝගයකට මුහුණ දුන් අවස්ථාවේ නොතැනුනු ජාතික ආණ්ඩුවක් දැන් කන්නද?

දැන් මේ යහපාලනයක් ඇති කරනවා කියා දිවා රෑ කෑ මොර දී ගෙන පත් කළ සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයක් නැති කර දමා තමා මෙන්ම අන් සියල්ලන්ම රනිල්ගේ අණසකට යටත් කිරීමට වුවමනා වී ඇත්තේ කුමන හේතුවක් නිසාද?

අපි නොදන්න රනිල්ගේ ලිච්ඡවි ඇප්‍රෝච් එක

රනිල් එළිමහනේ සිට ජාතිය අමතමින් ලිච්ඡවි ඇප්‍රෝච් එකක් ගැන කතා කළේය. ලංකාව වැනි කිසිම දෙයක් මතක නැති මිනිසුන් සිටින රටක විනා වෙන රටක නම් රනිල් වැන්නකු ලිච්ඡවි ඇප්‍රෝච් එකක් ගැන කතා කිරීම යොදාගනු ඇත්තේ කොමඩියකය. ඔහුගේ ලිච්ඡවි ඇප්‍රෝච් එක අපි දනිමු. ප්‍රභාකරන් සමඟ දේශ සීමා නිර්ණය කරමින් ගිවිසුමකට ඔහු එළැඹුනේය. ඔහුගේ ලිච්ඡවි ඇප්‍රෝච් එක වූයේ එය අත්සන් තබන තෙක් සියළු දෙනාගෙන් එය වසන් කිරීමයි. ඊට පෙර දින විමල් වීරවංශ විසින් එවැන්නක් සිදු වෙනවා යයි ලද රහසිගත තොරතුරක් මත එහි සත්‍යතාවක් තිබේ දැයි පාර්ලිමේන්තුවේදි විමසා සිටි කල, එකල ආණ්ඩු පක්ෂයේ සභානායක වූ වි. ජ්. මු. ලොකුබණ්ඩාර මහතා එවැන්නක් සිදු නොවන බව සපථ කර සිටියේය. එහිදී ඔහු බොරු කීවා නොව. ඔහු එවැන්නක් ගැන කිසිවක් දැන සිටියේ නැත. ඒ රනිල් දැන් ලිච්ඡ්වි ඇප්‍රෝච් එකක් ගැන කතා කරන්නේ අහවල් කෙංගෙඩියකටදැයි අප කල්පනා කර බැලිය යුතුය.

ජාතික ආණ්ඩු කතාන්දරය එන්නේ සිරිසේන ජනපති කරවීමේ සිටය. බෙදුම්වාදය දෙසට තබන පියවරක් පාසා ශක්තිමත් විපක්ෂයක් සිටියහොත් විරුද්ධවන බව පැහැඳිළිය. එනිසා කළ යුතු හොඳම දෙය නම් සැවොම රනිල් සිරිසේන ආණ්ඩුවකට උන්ට ඇමති දොළපිදේනි පුදා උන් එහෙයියන් බවට පත් කර ගැනීමයි. මේ කුපාඩි කමට හවුල් වී ඇමති දොළපදේනි ලබා ගන්නා පෙරේතයින් කවුදැයි දැන් ජනතාව විමසිලිමත්ව බලා සිටිනා බව උන් වටහා ගත යුතුය. සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් රනිල්ගෙ යහනට නැංවූ පසු විපක්ෂය හිමි වනු ඇත්තේ සම්බන්ධන්ටය. ජාතික ආණ්ඩුව නමින් සෝභිත හිමි ඇතුළු පිරිස විසින් පුදනු ලබන ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යයට දාව නූපන් අවජාතක ආණ්ඩුවක් නොවේද? ඒ අවජාතක ආණ්ඩුව විසින් බෙදුම්වාදී පියවරයන් එකින් එක තබන විට, රණ විරුවන් යුධ අපරාධ දංගෙඩියකට දක්වන විට අර හැම පෙරේතයකුටම ඒවායේ සාමුහික වගකීම දරන්නට සිදු වේ. එවිට විපක්ෂයේ සිට මේවාට එරෙහි වන්නේ ආර් සම්බන්ධන්ද?

ජාතික ආණ්ඩුවක් ඕනෑ කරන්නේ රනිල් සිරිසේන චන්ද්‍රිකා සුසංයෝගය හරහා ඊළමක් බිහි කරවා ගැනීමට මිස අන් කවරකටවත් නොවන බව අප වටහා ගත යුතුය.

සිංහලයා ගොනාට අන්දන සම්බන්ධන් සහ සෝභිත හිමි සුසංයෝගය

මේ කුපාඩි ක්‍රියාව සිංහලයන් අතර සාධාරණය කිරීම සඳහා දැන් යොදා ගැනෙන්නේ අන් කවරෙක්වත් නොව ආර් සම්බන්ධන්වමය. ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කපන්නටය මේ සැරසෙන්නේ. රනිල්ට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උදවු කරීමට තමන් සූදානම් බව සම්බන්ධන් පැවසීය. ඒ සිංහලයා රැවටීමටය. දුර නොදකින සිංහලයා එය වළකාලීම සඳහා ජාතික ආණ්ඩුවක් අගනේ යයි සිතන බව සම්බන්ධන් දනියි. සම්බන්ධන් සහ රනිල් එක්ව ආණ්ඩුවක් තැනුවාට ශක්තිමත් විපක්ෂයක් සිටින තත්වයක් තුළ කිසිදු බෙදුම්වාදී පියවරක් තැබිය නොහැකිය. සම්බන්ධන් ඒ බවද දනී. එනිසා රනිල් එක්ක ආණ්ඩු හදන්නට නොව සම්බන්ධන්ට වුවමනා වී ඇත්තේ සිංහලයන්ගේ ඇස්වලට වැළි ගැසීමට රනිල් සිරිසේන සුසංයෝගයට උදව් කිරීමයි. ඒ හරහා අවජාතක ජාතික ආණ්ඩුව දෑ හිතකාමී ක්‍රියාවක් ලෙස සිංහලයාට කියා දීමට සෝභිත උන්නාන්සේලාට පහසුකර දීමයි සම්බන්ධන්ගේ උපාය.

ජාතික ආණ්ඩුව යනු ඊළම සෑදීමේ මූලික අවශ්‍යතාවයකි. සිරිසේන නම් ඉත්තා උපයෝගි කර ගෙන ක්‍රියාත්මක වන මහා පාවා දීමේ මෙහෙයුමේ එක් තීරණාත්මක කඩඉමකි මේ. ජනතාව පනින උන් ප්‍රතික්ෂේප කර ඇත. නමුත් බලය අතහරිනවා කියා ගල් පැලෙන බොරු දෙසා බලයට පැමිණ, උන්මත්තක ලෙස සිය බලය භාවිතා කරන සිරිසේන ජනතාව එපා කියූ උන්ව ජනමතයට පයින් ගසමින් ලයිස්තුවෙන් ඇතුළට ගන්නට සැරසෙයි. මේ හැම දහජරා වැඩක්ම අවසාන වශයෙන් උදව් වන්නේ බෙදුම්වාදී වුවමනාවන් ඉටු කරලීමට බව අප වහ වහා වටහා නොගතහොත් රනිල් සහ සිරිසේන මේ රට මරණ මංචකය දක්වාම ඇදගෙන යනවා නියතය. ඔවුහූ අපගේ නායකයෝ නොවෙත්. ඔවුහූ අපගේ සතුරන්ගේ ඉත්තෝය.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Top