Featured

අගමැති දිවුරුම්ට කෙලවෙන ලකුණු-දිවුරුම් දෙනකොට මන්ත්‍රීවරුන් ගැසට් කරලා නෑ

19 වන සංශෝධනයෙන් සංශෝධිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ viii පරිච්ඡේදයේ 42(4) වගන්තිය අනුව අගමැතිවරයා වශයෙන් පත් කරන පුද්ගලයා

>පළමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය යුතුය
>දෙවනුව ඔහුට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ජනාධිපතිවරයාට හැඟී යා යුතුය.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට සාධාරණව හැඟීයාමට නම් අඩු තරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ම ගැසට් කර හෝ තිබිය යුතුය. මන්ත්‍රීවරුන් කවුදැයි නොදැන ඔවුන් කවුරුන් කෙරෙහි විශ්වාසය තබන්නේද යන්න තීරණය කළ නොහැකි බැවිනි. නමුත් අගමැතිවරයා දිවුරුම්දෙන අවස්ථාව වන විටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225ම ගැසට් කර හෝ තිබුනේ නැත. අගමැතිවරයා දිවුරුම් දුන්නේ උදේ 10.00ට වන අතර අවසන් මන්ත්‍රී කණ්ඩායම කවුදැයි මැතිවරණ කොමසාරිස්වරයා විසින් රජයේ මුද්‍රණාලයට දැනුම් දුන්නේ එදින රාත්‍රියේ ය. එනම් මන්ත්‍රීන් 225 කවුරුන්දැයි නොදැනම ඒ 225ස් දෙනා අතුරින් වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් තීරණය තර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 දිනාගත්තේ නම් මේ තත්වය යම් පමණකට හෝ සාධාරණ යයි කිව හැක. බහුතරයක් නොලත් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇතැයි යන මතයට (පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 කවුරුන්දැයි නොදැනම) ජනාධිපතිවරයා එළඹුනේ කෙසේදැයි ඒ අනුව පැහැදිලි නැත.

එසේම ශ්‍රීලනිපය හා එජාපය අතර අත්සන් කළ එකඟතා ගිවිසුම හෝ අගමැතිවරයා දිවුරුම් දීම‍ට පෙර අත්සන් කළේ නම් එවිට පෙරකී මතයට එළඹිමට ජනාධිපතිවරයාට යම් තර්කයක් තිබිනි. නමුත් ඒ එකඟතා ගිවිසුම අත්සන් කළේද අගමැතිවරයාගේ දිවුරුම්දීමෙන් පසුව වන බැවින් එයින් ආලෝකයක් ලබාගැනීමේ හැකියාව ද ගිලිහී ගොස් ඇත.මන්දයත් අගමැතිවරයා දිවුරුම් දෙන අවස්ථාව වන විට ශ්‍රීලනිපයේ සහයෝගය ඔහුට ලැබෙන බව නිශ්චිත නොවූ බැවිනි‍.

ජනාධිපතිවරයාට මේ තත්වය පැහැදිලි කළ හැක්කේ මේ සියළු කරුණු තමා කලින් ම දැන සිටියේය යන සරල ප්‍රකාශය මගින් පමණි. සත්‍යය ද එයම විය හැක. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරගෙන ගරු ගාම්භීර ලෙස රටක් නොව ලොවක් බලා සිටියදී ඉතා රාජ්‍යතාන්ත්‍රිකව කළමණාකරණය කළ යුතු අවස්ථාවක් එලෙස පැහැදිලි කිරීම කෙතරම් සදාචාරසම්පන්න ද යුක්ති යුක්ත ද යන්න පමණක් දෙවරක් සිතා බැලිය යුතුය.

ශ්‍රී ලංකා නීතිඥ සංසදය 

Top