Featured

අයියෝ ජෙප්පන්ට ගිය කලක්

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලේ හිටපු කෙනෙක් විදිහට මම දන්නවා වෙනදා මහ මැතිවරණයක් කරන්න වාහන දෙකක් තුනක් විකුණන්නම ඕනෙ. ඊට පස්සේ දිනන අයගේ වාහන මිලදී ගන්නකම් ඉන්න වෙනවා. එහෙම පක්ෂය මේ වාරයේ විශේෂයෙන් වියදම් වුණේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. ප‍්‍රශ්නයට උත්තර දෙන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ. උත්තර දෙන්නෙ නෑ. උත්තර දුන්නෙ නෑ. කොහෙන්ද මේ සල්ලි ආවේ….

ජනතා සේවක පක්ෂයේ පුවත් පත් සාකච්ඡාවක් 24 වන සඳුදා සවස 2ට මරදාන සීඑස්ආර් ආයතනයේදී පැවැත්විණි. පක්ෂයේ ලේකම් සෝමවංශ අමරසිංහ  මහතා දැක්වූ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ රතු අලී පැටියාගේ කැරැට්ටුව හෙලිකලා.

ජනවාරී මාසේ අපේ රටේ ජනතාවට ලැබිච්ච අස්වැසිල්ලක් තියෙනවානම් ඒ අස්වැසිල්ල මේ මහ මැතිවරණයේදීත් දකින්න පුළුවන්. ඉතාම අඩුවෙන් ජනතාවට කරදර වෙච්ච මහ මැතිවරණයක්. තවමත් සීයට සීයක් නැති වුණත් බොහෝ දුරට නිදහස් හා සාධාරණ මැතිවරණයක් බව ජනතා සේවක පක්ෂය පිළි ගන්නවා. ඒ පිළිබඳව පළමු කොටම මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මැතිවරණ කොමසාරිස්තුමාටත් ස්තූතිය පළ කරනවා.

විශේෂයෙන් කිව යුතු දෙයක් තියෙනවා. මහ පක්ෂ ලෙස හිතන ඒවා කලූ සල්ලි මැතිවරණයේදී බරපතල ආකාරයට පාවිච්චි කළා. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අඩු වීමත් සමඟම අනිත් පැත්තෙන් ඒක වැඩි වෙලා තියෙනවා. මැතිවරණ ප‍්‍රතිඵල කලූ සල්ලි විසින් සල්ලි තීරණය කරන තත්වයට ගිහිල්ලා තියෙනවා. අපි තාම දැක්කේ නැහැ මේකට විසඳුමක් ගැන කතා කරනවා. එය වැලැක්කුවේ නැත්නම් කවදාවත් මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ වෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් ගත්තොත් මේ මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොවෙයි.

වාමාංශික ව්‍යාපාරයෙ අවසානය සනිටුහන් කර තිබෙන මැතිවරණයක්

සියලූම පක්ෂ පරාජය වෙලා තියෙන අතරේ වාමාංශික ව්‍යාපාරය ගැන සළකා බැලූවොත් පැරැණි සහ භාගෙට පැරණි (ජනතා විමුක්ති පෙරමුණ භාගෙට පැරණිනේ) වාමාංශික ව්‍යාපාරය බරපතල ලෙස පරාද වෙලා තියෙනවා. ඒ වාමාංශික ව්‍යාපාරය අවසානය සනිටුහන් කරලා තියෙනවා. ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයවත්, සම සමාජ පක්ෂයවත්, නව සම සමාජ පක්ෂයවත් අනාගතයේදී කිසි දිනෙක තනි පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නේ නැහැ. ඒක හොඳයි. වාමාංශික ව්‍යාපාරය නැවැත ගොඩ නැගිය යුතුව තිබෙනවා. ඒක බරපතල අභියෝගයක්. ඒ වගේම ඒ සඳහා අවස්ථාවන් පැන නැගිලා තියෙනවා.

මැතිවරණයෙන් නරකම පරාජය ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ

විශේෂයෙන් සඳහන් කරන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණේ පරාජය ගැන. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මහ මැතිවරණයේදී වඩාත්ම නරකම පරාජය ලබපු පක්ෂය. අපට ඇහෙනවා කතාවක් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන්. වෙනදා වගේම සීයට ගණන් හදනවා. සීයට මෙච්චරකින් වැඩි වුණා… තුන, හය වුණා. ඡන්දත් වැඩි වෙලා තියෙනවා. පුදුමයක් නෑ. අපි අහන්නේ මෙයයි. ලංකාවෙම ඡන්ද වැඩි වෙලා තියෙනවා. දහ අටේ ඡන්ද වැඩි වෙලා තියෙනවා. දහ අටේ ඡන්ද ලැබුණද ජනතා විමුක්ති පෙරමුණට. ලැබුණනම් කෝ ප‍්‍රතිඵල?

ඊළඟට කරපු වියදම. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලේ හිටපු කෙනෙක් විදිහට මම දන්නවා වෙනදා මහ මැතිවරණයක් කරන්න වාහන දෙකක් තුනක් විකුණන්නම ඕනෙ. ඊට පස්සේ දිනන අයගේ වාහන මිලදී ගන්නකම් ඉන්න වෙනවා. එහෙම පක්ෂය මේ වාරයේ විශේෂයෙන් වියදම් වුණේ කොහොමද කියන එක ප‍්‍රශ්නයක්. ප‍්‍රශ්නයට උත්තර දෙන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ. උත්තර දෙන්නෙ නෑ. උත්තර දුන්නෙ නෑ. කොහෙන්ද මේ සල්ලි ආවේ. කවුද මේ සල්ලි දුන්නේ? මොකද මේක ජනතාවගේ පක්ෂය. එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නෙවෙයි. ඒ පක්ෂ වලට සල්ලි දෙන්න මිනිස්සු ඉන්නවා.

වයස අවුරුදු පනහ වෙද්දී ජවිපෙ අවසානය සනිටුහන් වෙලා.

එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණේ රතු හෝදලා දාලා තියෙනවා. කෘතිම ආකාරයට රතු වෙච්ච මිනිස්සු තමයි ඕකෙ ඉන්නේ. ඒ නිසා සායම් හෝදන්න පුළුවන්. කතා කළේ 2015 ලොකුම විපක්ෂය වෙන්න. ඊලඟට කිව්වා 2020 බලය ගන්න පක්ෂය කියලා. අඩු වශයෙන් තමන් ඉන්න තැන, තමන්ගේ තත්වය තක්සේරු කරගන්න පුළුවන් වෙන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට. එහෙම නිවැරදි තක්සේරුවක් කරලා නැහැ. ඒක නිසා තමයි ඔය වගේ ජනතාව සහ තමන්ගේ සාමාජිකයා නොමග යවන, අන්දවන, රවටන ඉලක්ක ගැන කතා කරන්නේ. ඒ නිසාම අද ලොකු අර්බුදයක ජනතා විමුක්ති පෙරමුණ තියෙන්නේ. වාමාංශික ව්‍යාපාරයේ අවසානය සනිටුහන් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණත් එක්කම තමයි. වයස අවුරුදු පනහ වෙච්ච තැනදී ජවිපෙ අවසානය සටහන් වෙනවා.

අධිරාජ්‍යවාදීන්ට හොඳට අනුගත වෙන පක්ෂයක් බවට සීඝ‍්‍රයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වෙලා.

කෝටි ගණන් කලූ සල්ලි වියදම් කරලා, කලූ සල්ලි මුදලාලිලාට යට වෙලා, එක්සත් ජාතික පක්ෂයට යට වෙලා, අධිරාජ්‍යවාදීන්ට හොඳට අනුගත වෙන පක්ෂයක් බවට පහුගිය අවුරුද්දෙ ඇතුලත ජනතා විමුක්ති පෙරමුණ සීඝ‍්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ හැදුනේ ගොඩනැගුනේ අපේ සහෝදර සහෝදරියන්ගේ ජීවිත වලින්, ලෙයින්, දහඩියෙන්, ශ‍්‍රමයෙන්, ධනයෙන්, කාලයෙන්. මෙන්න මේ සියල්ල තමයි බිලි දීලා තියෙන්නේ අධිරාජ්‍යවාදයට සහ අධිරාජ්‍යවාදීන්ගේ ඉතාම විශ්වාස දායක නියෝජිතයා වෙච්ච එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට හෘදයක් තියෙනවානම් දැන් ඉල්ලා අස් වෙන්න ඕනෙ. ඉල්ලා අස්වෙලා පක්ෂය සාමාජිකත්වයට භාර දෙන්න ඕනෙ අලූත් නායකත්වය තෝරා ගන්න. එහෙම කළොත් ජනතා විමුක්ති පෙරමුණ අමාරුවෙන් හෝ නැවැත ගොඩනගන්න පුළුවන් වේවි. එහෙම නැත්නම් වාමාංශික ව්‍යපාරයේ අවසානයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ අවසානයත් සනිටුහන් වෙනවා.

Top