Anonymous Reporter

නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසේනලාගේ – විජේසූරියලාගේ ශ්‍රීලනිප සැමරුම..

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය සරත් විජේසූරිය මහතාය.

සාමාන්‍යයෙන් නම් පක්ෂ සම්මේලනයක පක්ෂය පිළිබඳ දේශනයක් පවත්වන්නේ ඒ පක්ෂයට අව්‍යාජව හිතැති විද්වතෙකු විසිනි. එසේත් නැත්නම් ආධානාග්‍රාහී නොවන සාපේක්ෂව හෝ ස්වාධීන බුද්ධිමතෙකු විසිනි.ශ්‍රීලනිපය ඉතාමත් අසීරු අවධියක පසු වූ 80 දශකයේ අග භාගයේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිදහස් පක්ෂ සමරු දේශයනට ආචාර්‍ය නලින්ද සිල්වා මහතාට ආරාධනා කරන්නේ ඒ පළමු පදනමිනි. එදා එතුමා විසින් පළකළ 56 දරුවන් පිලිබඳ කතාව අදද ශ්‍රීලනිපයේ මුල හඳුනාගැනීමට අත්පොත් සපයන්නකි.

සරත් විජේසූරියලා නියෝජනය කරන්නේ බණ්ඩාරණායක මහතා ඇරඹි නිදහස් පක්ෂයේ මහා පදනම වන සඟ ,වෙද ,ගුරු , ගොවි කම්කරු පංච මහා බලවේගයේ දේශපාලන සතුරු පාර්ශවයයි. සිංහලකමේ , බෞද්ධකමේ මෙන්ම ස්වදේශීයවාදයේ සතුරන් සමග විකල්ප ගෝත්‍රය නියෝජනය කරන විජේසුරිය වැන්නන්ට රාවය වැනි විකල්ප පුවත්පත්වල මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම්වල වැඩි ඉඩක් වෙන් වන්නේ මේ සතුරු නියෝජනය නිසයි.එහෙව් විජේසූරියලා අද ශ්‍රීලනිපයේ ඉදිරි ගමන ගැන කිඹුල් කඳුළු හෙළයි.

සරත් විජේසූරිය වැන්නන් පසුගිය කාලය පුරාම නියෝජනය කලේ කුමන පාර්ශවයද යන්න පිළිබඳ තව දුරටත් කිසිවෙකුටත් රහසක් නොවේ. ශ්‍රීලනිප ය පරාජය කර යූඇන්පී ආණ්ඩුවක් ඇටවීමේ ව්‍යාපෘතියේ ‘මහාචාර්‍ය භූමිකාව’ රඟපෑ විකල්ප ගෝත්‍රයේ කැපී පෙනෙන වැඩ කොටසක් විජේසූරිය මහත්වරුන් විසින් ඉටු කෙරිණ. මෙගා බොරු වලින් දෑස් අඳ කළ මධ්‍යම පාන්තික අලුත් පරපුරට අවැසි ඊනියා උගත් වියත් භූමිකාවට සරත් විජේසූරියලා විසින් පණ දුන්නේ ශ්‍රීලනිපය සී සී කඩ කඩා විනාශ කර දමමිනි. විජේසූරියලා එතෙක් ව්‍යාජව පෙනී සිටි ස්වාධීනත්වයේ විළි වසාගත් අවසාන රෙදි කඩද උනා දමා නග්නව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහෙව් විජේසූරියලා අද ශ්‍රීලනිපය සුරැකීමට උපදෙස් දීම නරියාට කුකුල් කොටුව බාර දීමට වඩා භයානක සෙල්ලමකි.

මෙය ඕනෑම අයෙකුට ඕනෑම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය පිලිබඳ ගැටුමක් නොවේ. ගැටලුව ඇත්තේ එලෙස ශ්‍රීලනිප ය වලපල්ලට යැවීමට සිය ධනය , සමාජ බලය ,වෙහෙස යෙදවූවකු තමන් විරුද්ධව ක්‍රියාත්මක වූ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදි බණ දෙසන්නට පැමිණීම සහ වැදි බණ දෙසන්නට තෝරාගැනීමයි.

එක අතකින් පුදුම විය යුතුද නැත.තම පක්ෂය පරාජය කර විපක්ෂය සමග එක්ව ජනාධිපති පුටුවේ වාඩිවූ ජනාධිපතිවරයෙක් ඉන්නා කලෙක,ඒ තමන්ට එරෙහිව චන්දය දුන් ජනතාවගේ පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් අත්පත් කරගත් සභාපතිවරුන් ඉන්නා කලෙක,තම පක්ෂයේ අගමැතිධූර අපේක්ෂකයා පරාජය කරන්නට නින්දාසහගත භූමිකාවකට පණ දුන් පක්ෂ නායකයකු ඉන්නා කලෙක,
තමන් පරාජය කළ පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තුව කොල්ලකා තමන්ගේ බල ව්‍යාපෘතියට අනුගතවන පරාජිත අපේක්ෂකයන් අභිෂේකගැන්වූ පක්ෂ නායකයකු ඉන්නා කලෙක,විපක්ෂය සමග එක්ව ශ්‍රීලනිප පරාජය කරන්නට යටිකූට්ටු ගේම් ගැසූවන් ‘ශ්‍රීලනිප ය සුරැකීමේ’ පතාක යෝධයින් වී ඇති කලෙක,ශ්‍රීලනිපයේ අවසානය අපේක්ෂාකරන්නන් ශ්‍රීලනිපයේ සමරු දේශනය ලැබීම පුදුම වන්නට දෙයකුත් නොවේ.

මුළුමහත් සමාජයම මේ විකෘතියට , මේ ව්‍යාජයට හසුවී හමාරය.
මේ ලබුත් තිත්ත අපූරු අබුද්ධස්ස යුගයක්මැයි…

යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය

මයිනා ගසා වංචාවෙන් විභාග පාස්වූ සන්නස්ගල ඇතුලු -ඇදුරන්ගේ ත්‍රස්ත මුහුනු නොහොත් ගරිල්ලා ඇකඩමි

බල්ලට ගිය රටක බල්ලෙකුගේ උඩු බිරුම

 

Top