Featured

බිල්ලන් මවන ආණ්ඩුවේ මරිසිපාලලා කතානායක පුටුවේ(Video)

ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන හිතන්න, කියන්න, අහන්න දේවල් එමටයි. ඒ වගේම මේ බොහෝ දේ ගැන හිතනවාට වඩා නොහිතා ඉන්න එක ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියල දැණෙන වාරත් අනන්තයි අප්‍රමාණයි. මේ අතරින් දුකක් නොසිතී හිනා යන සිදුවීම් ප්‍රමාණය නම් ඉතාම අඩුයි. ඒත් උපහාසයෙන් සිනහසෙන්නට ඇති වරත් එමටයි. ඒ වුණත් රට ගැන-අනාගතය ගැන දුකයි. අන්න ඒ නිසයි ශරීර සෞඛ්‍යයට හොඳයි කියල කීවෙ.

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ දී ඊට ප්‍රතිපක්ෂ සියල්ලන්ටම, මහින්දගේ ආණ්ඩුවට ගෑවිච්ච ගෑවිච්ච හැම එකාම පෙනුණෙ දේවදත්තලා, ආලවකලා වගේමයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාරය උකසට තියපු ජනතා විමුක්ති පෙරමුණට මහින්ද පාර්ශවය වැඩියෙනුත්, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අය අඩුවෙනුත් දේවදත්තලා, ආලවකලා ගොඩට දාන්න හරිම අපූරු තෝරා ගැනීමේ හැකියාවක් තිබුණු බව පෙනෙන්ට තිබුණා. දැන් ඒ හැකියාව දියුණු තියුණු වෙලා කියලත් පෙනන්නට තිබෙනවා.

වත්මන් ජවිපෙ සිටින නියෝජිතයින් අතරින් විජිත හේරත් ඉහතින් දැක්වූ දස්කම් පෙන්වන ශූරයෙක්. කට විරිත්තලා, මුහුණේ මාංශ පේෂීන් ගණනාවක් විකෘති කරලා, ළඟම සිටින එකාට වුවත් අපහාස කරන්නත්, තලා පෙළා දාන්නත් විජිත හේරත් සූරීන්ට මාර නිපුණත්වයක් තියෙන්නේ…

විටෙක, විජිත් හේරත් සම්බන්ධ වුණු මාධ්‍ය සංවාදයක දී මේ ආකාරයට අපහාසයට, උපහාසයට බඳුන් වූ අයෙක් වූයේ තිලංග සුමතිපාල යි. ඒ සිරස සටන යි. ඒ වන විට තිලංග සිටියේ මහින්ද පාර්ශවයේ. අපි එහෙමම හිතුවට තිලංග මහින්දට එරෙහිව දිය යටින් ගින්දර අරගෙන ගිහින් තියෙන බව දැන් මනාව පැහැදිලියි. කොහොම වුණත් එදා දවසෙ තිලංග පෙනී හිටියේ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් පාර්ශවයේ ජයග්‍රහණය තුළින් තමන්ගේද ජාමෙ බේරා ගැනීමටයි.

කෙසේ වෙතත්, මෙම රූපවාහිනී සංවාදයේ දී විජිත හේරත් විසින්, තමන් ඒ මොහොතේ දැරූ ස්ථාවරයට එරෙහි පාර්ශවයේ, දූෂිත, පාදඩ, පාහර, අශික්ෂිත, සමාජ විරෝධී, ඩීල් දේශපාලකයින් හැඳින්වීමට වදනක් උපයා්ගී කර ගත්තේය. ඒ වචනයේ හරය සමාජ ගතවී ඇත්තේ හාස්‍යය මෙන්ම අපහාසය උත්පාදනය වන ආකාරයටය. විශේෂයෙන්ම එම වදන ශබ්දාර්ථයෙන් තිලංග සුමතිපාල යන නමේ අග කොටසට බෙහෙවින්ම නෑකම් කියන නිසාම, විජිත හේරත් විසින් එ් අවස්ථාවේ එම වදන අතීශය බහුලව පාවිච්චි කළේය.

විජිත හේරත් කට ඇද කරමින්, මුහුණ අපුල කරමින් පමණක් නොව, තමාට දකුණු පසින් සිටි තිලංග සුමතිපාල දෙසට අතක් නොව දෑතම දිගු කරමින්, මහින්ද රාජපක්ෂ පාලනය විවේචනය කිරීමට තිලංග අපහාසයට බඳුන් කළේ ය. උපහාසයට වඩා අපහාසය ගැබ් කරමින් සංවාදය තුළ හැසිරුණු විජිත හේරත් අද ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එදා ඔහුගේ අපහාසයට ලක් වූ තිලංග සුමතිපාල අද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ය.
මරු නේද ?

ළඟදීම ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මහ පුටුවටත් යාමේ සූදානමක් ඇත. ඒ යහ පාලනයට අලුත් අර්තකථන දෙමින් සිටින අර්ජුන රණතුංග පරදවාය.සියල්ලෝම එක් වී රටට පමණක් නොව ලෝකයාටම දාන මරිසියේ කෙළවර කවදාදැයි දැන්ම කිව නොහැක. අපි බලා සිටිමු.
– ජනිත් විපුලගුණ –
2015 ඔක්තෝබර් 26

Top