Anonymous Reporter

මෙන්න බොලේ මේ උන්දැට මුන් එපාලු දැන්

මෛත්‍රි – රනිල් දෙන්නා අද රටටම බොරුකාරයන් වී ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා රජයට චෝදනා කරයි.මෑන් පවර් සේවකයන් ස්ථිර කරනවා කියා සිරිසේන ජනාධිපති බොරු පොරොන්දු දුන්නා. සැප්තැම්බර් වෙන්න කලින් රාජ්‍ය සේවකයාට එල්ලා තිබූ දීමනා වැටුපට එකතු කරනවා කියා අගමැති රනිලුත් බොරු කිව්වා.

වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න සමඟ සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපතිවරයා හමුවීමට ගියත් වැඩ කරන ජනතා ගැටලු විසඳන්න කිසිදු සූදානමක් සිරිසේන මහත්තයාට තිබුණෙ නෑ.

මෛත්‍රි – රනිල් හවුල විවිධ මාතෘකා මතු කරමින් අත්‍යවශ්‍ය ජනතා ඉල්ලීම් දිනෙන් දින යටපත් කරනවා යැයිද ලාල් කාන්ත මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (02දා) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී “වැඩ කරන ජනතාවගේ ඉල්ලීම් වහා ලබාදීමට ආණ්ඩුවට බලකරමු” අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනට සහභාගි වෙමිනි.

“යහපාලනය කියන ආණ්ඩුවේ පළමු අය – වැය නොවැම්බර් 20 ඉදිරිපත් කරනවා. අය – වැය ඉලක්ක කරගෙන වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් අරමුණු කරගෙන අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ එදා පැහැදිලිව කිව්වා පාර්ලිමේන්තු මැතිවරණ කාලෙදි සැප්තැම්බර් අවසන් වෙන්න කලින් රාජ්‍ය සේවා වැටුපට පිටින් තිබෙන දීමනා සියල්ල වැටුපට එකතු කරනවා කියලා. නමුත් මේ වෙනකම් එම පොරොන්දුව මුළුමනින්ම කඩා බිඳ දමා තිබෙනවා. ඒ ගැන කිසිම කතාබහක් නෑ.

ඒ වගේම වැඩ කරන ජනතාවට තවත් පොරොන්දු ගොඩක් දුන්නා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා ජනාධිපති වෙන්න පෙර පොරොන්දුවක් දුන්නා කොන්ත්‍රාත් සේවකයන් මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම ගැන. ඒ වගේම අතුරු අය – වැයෙන් පොරොන්දු වුණා පෞද්ගලික අංශයේ සේවකයන්ට රු. 2,500ක් දෙනවා කියලා. මේ ප්‍රමාණය මදි. නමුත් ඒ ගෙනාපු පොරොන්දුවටවත් අදාළ නීති සම්පාදනය කළේ නෑ. වතුකම්කරුවන්ගේ වාර්ෂික සාමූහික ගිවිසුම අස්සන් කිරීම දිගින් දිගටම කල් තබනවා. ඒ අය දෛනික වැටුප 1,000ක් කරන්න කියලා ඉල්ලීම් කරනවා. ඒ සම්බන්ධ කිසිම කතා නැතිව කිසිදු අදාළ නැති මාතෘකා ඉදිරියට ගෙන යමින් අත්‍යවශ්‍ය මාතෘකා යටපත් කරනවා. ඒ සම්බන්ධ සාකච්ඡා කරන්න පහුගිය දවසක ජනාධිපතිතුමා හමුවෙන්න ගියා. ඒ සම්බන්ධව කතා කරන්නේ මොකක්ද කියලා අදහසක්වත් ඔහුට තිබුණෙ නෑ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ ප්‍රශ්න මඟහරිමින් සිටින බව අපට පේනවා.

ඒ නිසා රාජ්‍ය සේවකයාගේ වැටුපට දීමනා ටික එකතු කිරීමටත්, පෞද්ගලික අංශයේ සේවකයන්ට 2,500ක් දිනා ගැනීමටත්, වතු කම්කරු අයිතීන් දිනා ගැනීමටත්, මෑන් පවර් සේවකයන් වෙනුවෙනුත් අපි පාරට බහින්න සූදානම්. රජය විසඳුම් දිය යුතුයි. අය – වැයේ උත්තර තියෙනවද නැද්ද කියලා අපිට කියන්න. බල බලා හිටියා ඇති කියලා වැඩ කරන ජනතාවටත් අපි කියනවා එන්න සටන් කරන්න.

Top