Featured

ලං.වී.ම මෑන් පවර් සටනට එරෙහි කුමන්ත්‍රණයක්?

ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පත්වීම් ලැබූ මෑන් පවර් සේවකයින් ස්ථීර කිරීමට ආණ්ඩුව විසින් කටයුතු කරමින් යද්දී විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වය එය නැවැත්වීම සඳහා ආණ්ඩුවේ වෘත්තීය සමිති දඩමීමා කරගනිමින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

මෑන් පවර් සේවකයින් ස්ථීර කළ යුතු බවට තම සංගමය උද්ඝෝෂණ ආරම්භ කරන ලද්දේ ඉකුත් වසරේ අගෝස්තු මස 03 වෙනි දින බවත්, සේවකයින් ඒ වෙනුවෙන් ගිය අවුරුද්දේ නොවැම්බර් 01 වන දින පාරට බැස්ස බවත්, නොවැම්බර් 25 වන දින මහ සමුළුවක් කැඳවූ බවත්,ගෙනගිය අරගලවල ප්‍රතිඵලයක් ලෙස දෙසැම්බර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි අනියම් පත්වීම් ලබාදෙන බව ආණ්ඩුව කී බව ඔහු සිහිපත් කළේය.

එසේ වුවද ඉකුත් වසරේ දෙසැම්බර් මස 17 වන දින මෑන් පවර් සේවකයින් ස්ථීර කරන ලෙස ඉල්ලා කරන ලද දැවැන්ත උද්ඝෝෂණයකදී මෛත්‍රීපාල සිරිසේන හා රවී කරුණානායක යන මහත්වරුන් පැමිණ මෑන් පවර් සේවකයින් තම රජයක් යටතේ ස්ථීර කිරීමට වහා පියවර ගන්නා බවට පොරොන්දු වූ බව ද ජයලාල් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව ක්‍රමයෙන් මෑන් පවර් සේවකයින් 6750 න් අනියම් පත්වීම් ලබාදුන් බවත්, සෙසු සේවකයින්ට සුදුසුකම් වලට අනුව සේවය ස්ථීර කිරීමට වෙනත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවට පොරොන්දු වූ බවත් ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 17 වන දින වන විට එම අනියම් පත්වීම් ලද සේවකයින්‍ එසේ පත්වීම් ලබා වසරක් සම්පූර්ණ වන අතර සෙසු සේවකයින්ට කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව තවත් වසරක් ගතවී ඇති බවත් ජයලාල් මහතා අවධාරණය කළේය.

ඒ අනුව වර්ෂ පූර්ණය වන දිනයේ දුන් පොරොන්දව ඉටුකරන ලෙස ආණ්ඩුවට බලකරමින් සමුළුක් කැඳවීමට තම සංගමය විසින් මේවන විට දිවයින පුරා ශාඛා සමිති හා සේවක සේවිකාවන් සමග සාකච්ඡා කරමින් සිටියදී අමාත්‍යංශ ලේකම්වරයා විසින් නොවැම්බර් මස 11 වන දින දාතමින් යුතුව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කොට 2300 ක් වන අනියම් පත්වීම් ලද සේවකයින් ස්ථීර කිරීමට, ජනාධිපතිවරයා අතින් අදාළ පත්වීම් ලබාදීමට 5000 ට සහභාගිවිය හැකි ශාලාවක් දෙසැම්බර් 17 වන දිනට වෙන්කරන ලෙස දන්වා ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

එසේම එම ලිපියේ දෙවන පරිච්ඡේදනයේ අදාළ සුදුසුකම් සපුරා නොමැති අනියම් පත්වීම් නොලත් මෑන් පවර් සේවකයින්ටද සුදුසුකම් වලට සරිලන ශ්‍රේණියක සේවය ස්ථීර කිරීමට හෝ සුදුසු වැඩපිළිවෙලක් සැලසුම් කරන ලෙසද දන්වා ඇතැයි ඔහු කියා සිටියේය.

විදුලිබල මණ්ඩලයේ ශක්තිමත් වෘත්තීය සමිතිය තම සංගමය බැවින් තමන් විසින් කරගෙන ආ දිගු කාලීන වෘත්තීය සටන් ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මෑන් පවර් ප්‍රශ්නයට විසඳුම් ලැබීම සිදුවෙද්දී ශ්‍රී ලංකා ටෙලිකොම්,ජලසම්පාදන,බැංකු ආදී අනෙකුත් ක්ෂේත්‍රවල ප්‍රශ්නය ඒ ආකාරයෙන්ම තිබෙන බැවින්,මෙම සේවකයින් ස්ථීර කරනු ලැබුවහොත් ඉදිරියට එම සේවකයින්ද ස්ථීර කිරීමට කටයුතු කළ යුතුවන බවත්, එය ප්‍රශ්න දුරදිග යාමක් බවත් මේවන විට කළමනාකාරිත්වයේ අදහස වී ඇතැයි දැනගන්නට ඇති බව ජයලාල් මහතා පෙන්වා දුන්නේය.

අනෙක් අතට විදුලිබල මණ්ඩලයේ මෙම සේවකයින් ස්ථීර කිරීමත් සමග සේවක පුරප්පාඩු සියල්ලම පාහේ සම්පූර්ණ වන බැවින් මේවන විටත් ඇමතිවරුන්ගේ දේශපාලන ලැයිස්තුවලින් පත්වීම් ලබාදීමට ඉඩක් නොලැබීම නිසා එම දේශපාලන නායකත්වය හා විදුලිබල මණ්ඩල කළමනාකාරිත්වය එක්ව දෙසැම්බර් 17 වන දින සේවකයින් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ නවත්වන තැනට කටයුතු කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

එසේම වැඩපිළිවෙල සාර්ථක වුවහොත් දැනටත් සමස්ත විදුලි සේවකයින් 13,400 න් පමණ 10,000 ට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ තම සංගමය බැවින් තවත් සේවකයින් එක්වී සංගමය ශක්තිමත්වීම තමන්ට අභියෝගයක් ලෙස සැලකීම නිසා කළමනාකාරිත්වය එ් පිළිබඳවද අවධානය යොමුකර ඇතැයි තමා සිතන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් මෙම කාරණා නිසා අනියම් සේවකයින් ස්ථීර කිරීම හා සෙසු මෑන් පවර් සේවකයින් ස්ථිර කිරීමට වැඩපිළිවෙලක් ගෙන ඒම නවත්වන ලෙස ඉල්ලා ආණ්ඩුවේ වෘත්තීය සමිතියක් වන ජාතික සේවක සංගමය හා ඊට සහය පළකරන තවත් කුඩා වෘත්තීය සමිති දෙකක් මේ වන විටත් පෙත්සම් අත්සන් කර කළමනාකාරිත්වයට ලබාදී ඇති බවත්,සෙසු වෘත්තීය සමිති හා සේවකයින්ද කළමනාකාරිත්වය විසින් ඒ සදහා පොළඹවමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

තතු කෙසේ වුවද මෙතෙක් කරගෙන ආ සටන කිසිසේත්ම අත්නොහරින බවත්, අවසාන මොහොතේ හෝ මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කරනු ලැබුවහොත් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වැඩබිම

Top