විශේෂාංග

ජාතික ගීය දමිළ බසින් ද ගැයීම පිළිබඳ…

දමිළ බසින් ද ජාතික ගීය ගැයීමට තීරණය කොට ඇති බව වාර්තා වේ. එවිට ජාතික ගීය දෙවරක් ග‍ැයේ. මෙය ඉලක්කගත අරමුණ ඉටුකරගනු වස් වන ප්‍රායෝගික පියවරක් ද? කිසි සේත් ම නැත. භාෂා දෙකකින් දෙවරක් ජාතික ගීය ගැයීම නිකරුණේ කාලය කා දැමීමක් මෙන් ම ජාතීන් දෙකක (two nations) පැවැත්මක් පිළිබඳ අනියම් පිළිගැනීමක් පිළිබඳව ද කරන ඉඟි කිරීමකි. සිංහල ජනගහණය සියයට 74ක් වන රටේ ඇත්තේ එක ම ජාතියකි. එනම් ශ්‍රී ලාංකීය ජාතියයි. එහි නොයෙක් භාෂා කතා කරන අය විසීම වෙනම කාරණයකි. භාෂාවක් කතා කළ පමණින් කෙනෙකුට ජාතියක් ලෙස පිළිගැනීමක් ආරෝපණය කරගත නොහැක. අපමණ භාෂා කතා කරන ඉන්දියාවේ ද ඇත්තේ එක ම ජාතියකි. ඉන්දීය ජාතියයි.

මෙවන් තත්වයක දී ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම, රජය විසින් ව්‍යවස්ථාපිත ව ෆෙඩරල් ව්‍යුහය පිළිගෙන නැතත් ප්‍රායෝගික ව එසේ කිරීමට යාමක් ලෙස පැහැදිළි ය. ෆෙඩරල් ව්‍යුහයට අවශ්‍ය යටිතල පහසුකම් වක්‍ර ව හා ක්‍රමානුකූල ව එලා, හඳුන්වාදීමට යෝජිත නව ව්‍යවස්ථාවෙන් එකී සංශෝධනයන්ට නෛතික භාවය ලබාදීම මෙවැනි පියවරයන්හි අරමුණ විය හැකි ය. මෙය රටේ එකීයභාවය අනතුරට හෙළිමකි.

ජාතික ගීය සිංහල බසින් පමණක් තිබීම ද්‍රවිඩ භාෂිකයින්ට අසාධාරණයක් නම් දෙබසින් දෙවරක් ගායනා නොකොට ඒ සඳහා අන් විසඳුමකට යාම යෝජනා කරමු. අවශ්‍ය නම් දමිළ භාෂිකයින් නියෝජනය කිරීම සඳහා එම බස කතා කරන ජන අනුපාතයට අනුව ජාතික ගීයේ කිසියම් කොටසක් දමිළි බසින් ද ගායනා කළ හැකි ය. එය අමුතුවෙන් දමිළ කොටස් ඇතුල් කිරීමක් නොව, තිබෙන ගීයේ ම ඛණ්ඩයක් දමිළ බසින් ගැයීම ය.ජාතික කොඩිය තුළ ඒ ඒ වර්ණවලින් සුළු ජාතීන් නියෝජනය කරන පරිදි ය. එවිට එක් වරක් පමණක් ගීය ගැයෙන අතර, සිංහලයා ද දමිළයා ද අනෙකාගේ බසින් ඔවුනොවුන්ගේ ජන නියෝජනයට අනුව හඳුන්වා දුන් කොටස ගායනා කෙරේ. විශේෂයෙන් ම එවැනි අවස්ථාවක දී ජාතීන් දෙකක පැවැත්මක් පිළිබඳ පිළිගැනීමක් අහෝසි වේ. අපි ශ්‍රී ලාංකික නම් තාර්කික ව තිබිය යුත්තේ එක් ජාතික ගීයකි.

ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ ජාතිවාදී ත්‍රස්තවාදය වන්දනා කරමින් සිට, දැනුදු විග්නේශ්වරන් ඇතුළු සෙසු දෙමළ ජාතික සංධාන දේශපාලකයින්ගේ දෙමළ ජාතිවාදී ‘පොල්පරාලය’ කිසිදු අවස්ථාවක නොදකින, එහෙත් බොදු බල සේනාව නමින් තමන් විසින් ම නිර්මාණය කළ සංවිධානයේ අන්තවාදි ‘පොල් කෙන්ද’ සමස්ත සිංහලයාගේ ම පිළිබිඹුවක් ලෙස දැක්වීමට උත්සාහ කරන ලිපි පෙළක තවත් එකක් පහත දැක්වේ. බොදු බල සේනාව ලවා හෝමාගම සිදු වීම නිර්මාණය කරගත්තේ මේ ලිපි පෙළ කලින් ම සූදානම් කරගෙන බව සිතෙන තරමට ම ඒවා දැන් එළි දකිමින් තිබේ. අපට තිබෙන ප්‍රශ්නය නම් මේ ලිපි සෑම එකක ම ඉලක්කය කිසිදු පදනමක් නොමැති ව අලුත්තම සිද්ධිය සේම මෙම සිද්ධිය ද පොදුවේ මෙරට සිංහලයාගේ හා විශේෂයෙන් මැදමුලන ‘මරාගේ ගිණුමට’ බැර කිරීමට උත්සාහ කිරීම ය.

උපුටිත ලිපියේ දී රාඝවන් මහතා විසින් මීට පෙර වතාවල දී මෙන් ම මෙහි දී ද සිංහල සමාජය හෑල්ලුවට ලක්කිරීම සඳහා ඉදිරිපත් කළ කරුණක් විශේෂයෙන් ම අපගේ සිත් ගත්තේ ය. ඒ සිංහල සමාජය නිති අනාරක්‍ෂිත හා බිය මුසු ස්වභාවයකින් කල්ගෙවන බවට වන කරුණ ය.

//I think among other scholars, I have answered this from the political nature of Sinhala Buddhist Cosmological Insecurity.//

ඇත්ත වශයෙන් ම සිංහලයා සිය ඉතිහාසය පුරාම රාඝවන් මහතා දක්වන ආකාරයේ බියකින් කටයුතු කොට ඇති බවට කිසිදු සාක්‍ෂියක් හමුවන්නේ නැත. ලංකාව ඉතා අඩු ජනගහනයක් සහිත කුඩා රටක් ව තිබියදීත්, ඊට කිලෝමීටර් 20කට එහා භාරතයේ සුවිසල් ද්‍රවිඩ රාජ්‍ය ගොඩ නැගී තිබිය දීත් තම ස්වෛරී රාජ්‍ය ද්‍රවිඩ ආක්‍රමණිකයින්ට යටත් කරගැනීමට සිංහලයා ලේසියෙන් ඉඩ හැරියේ නැත. ආක්‍රමණිකයින් විසින් වරින් වර කෙටි කලකට ලංකාව අල්ලා ගත්ත ද ඒ සෑම අවස්ථාවක ම සතුරා විමතියට පත්කරමින් ප්‍රති ප්‍රහාර දී පෙරළා සිංහල ඔටුන්න සිංහාසනාරූඩ කිරීමට සිංහලයා සමත් වන්නේ ය. දුටුගැමුනු මෙන් ම මහින්ද ද එසේ ඉතිහාසය තුළ ද්‍රවිඩ ආක්‍රමනිකයන්ට එරෙහිව නොබිය ව කටයුතු කළ නිදසුන් දෙකක් පමණි. අප සිතන ලෙස රාඝවන් මහතා ඉහත අමූලික නිගමනයට පැමිණ ඇත්තේ සිංහලයාගේ සටන්කාමී බව මෙන් ම ඉවසීම ද වරදවා තේරුම් ගෙන විය යුතු ය. විටෙක (අන්තවාදී) ද්‍රවිඩයෙකු ලෙස තමන්ට ම කියා ස්වාධීන රාජ්‍යක් ලොව කොතැනක හෝ නොපැවතීම පිළිබඳ හීනමානය හා අනාරක්‍ෂිත බව පෙරළා සිංහලයා මතට ම ප්‍රක්‍ෂේපණය කිරීමට හේ උත්සාහ කරන්නේ ය. කෙසේ වෙතත්, අපි රාඝවන් වැන්නට ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාව හා සිංහලයා සිය ‘අනෙකා’ කර නොගෙන මේ සුන්දර රට තමන්ගේ ද රට ලෙස සිතන මානසිකත්වයකට එන ලෙස ය.

බිය සාධකය මෙරට ආරක්‍ෂක හමුදාවන්ට ද ව්‍යාප්ත කිරීමට රාඝවන් දරන උත්සාහය හාත්ස්‍යෝත්පාදක ය. ඔහුට අනුව, අන්තර්ජාතික ව දඬුවම් ලැබෙතැයි යන විස්වාසය නිසා ආරක්‍ෂක හමුදා සිටින්නේ බියෙන් ය.

//This time they may intrude into the sections of the military that is in fear of war crimes probe over some of their abysmal conduct in 2009.//

රාඝවන් මහතාට කෙටියෙන් දිය හැකි ප්‍රතිචාරයකි. එනම් මෙරට ආරක්‍ෂක හමුදා කිසියම් දිනක කිසිවෙකුට හෝ බියෙන් පෙළුණේ නම් තාමත් ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්ත කල්ලිය ජීවතුන් අතර බව ය.

ජ්‍යෙෂ්ට කථිකාචාර්ය -මහින්ද පතිරණ  

Top