Featured

කිරුළපන මහ ජන ගඟ එක්ක ගාල්ලට හැරෙන්නවත් බෑ

මැයි 1 වැනිදා කිරුළපන පැවැත්වෙන මැයි රැලිය මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කරන්න හදනවා කියලා ඔබ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයට බරපතළ චෝදනාවක් එල්ල වෙනවා නේද?

ඒ චෝදනාව මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙදීමක් ඇති වෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂක ලෙස ඡන්දය ඉල්ලපු දවසේදී මිසක් මැයි 1 වැනිදා නොවේ. මැයි දිනය හරියට හඳුනන්නේ නැති උදවිය තමයි අද ඒකාබද්ධ විපක්‍ෂයට මෙසේ චෝදනා එල්ල කරන්නේ. වැඩ කරන ජනතාව වෙනුවෙන් අයිතීන් දිනා ගැනීමයි මැයි 1 වැනිදා ලෝක කම්කරු දිනයේදී කරන්නේ. වැඩ කරන ජනතාවගේ, ගොවි ජනතාවගේ, රණවිරුවන්ගේ සියලුම අයිතීන් පොඩි පට්ටම් කරන මේ රජය තවත් බදු වැඩි කරන්න කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂය ප්‍රකාශ කරන්නේ අද ඔවුන් ඉන්නේ ජාතික ආණ්ඩුවේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රකාශ කරන්නේ ඔවුනුත් ඉන්නේ ජාතික ආණ්ඩුවේ කියලා. එතකොට මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න සිදුවෙලා තියෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයට පමණයි. ඒක නිසා අපිට කියන්නේ ලිප්ටන් වටරවුමට ඇවිත් එක්සත් ජාතික පක්‍ෂයේ වගේ සෙනඟ ගෙන්නගන්න බැරිවුණු දියාරු මැයි රැලියක් කරන්න කියලද කියලයි මට අහන්න වෙන්නේ.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ කිරුළපනේ මැයි රැලියක් වෙනම සංවිධානය කරමින් ඒකාබද්ධ විපක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයට ජැක් ගසමින් සිටින බවයි.

ඒක මහ හතර බිහිරි කතාවක්නේ. හවුලේ මේ ආණ්ඩුව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි නම් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් හඬ නඟන්නේ ඒකාබද්ධ විපක්ෂය පමණයි කියලා අද එම දේශපාලන පක්‍ෂ දෙකක් මේ වන විට පිළි අරගෙන ඉවරයි. ආණ්ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‍ෂය මැයි රැලිය පවත්වනවා නම් එය එක්සත් ජාතික පක්‍ෂයට ජැක් එකක් වෙන්නේ කොහොමද.

එතකොට මැයි 1 වැනිදාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වෙන්නේ නැද්ද?

නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 99%ක්ම ඉන්නේ අපිත් එක්ක කියලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මං කියනවා 99%ක් නොවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 100%ක්ම ඉන්නේ අපිත් එක්ක කියලා. මොකද ඒ තරමටම මැයි රැලිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න යූ. ඇන්. පී. ජැක්කාරයන් බය වෙලා. මැයි 1 වැනිදා ගාල්ලේ පැවැත්වෙන රැලියට සෙනඟ එවන්න කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හරහා එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ට දැනුම් දෙන්න තරම්ම අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් දේශපාලනමය වශයෙන් බංකොලොත් වෙලා. බොරැල්ලේ කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ මැයි රැලියට බස් 5කින් සෙනඟ යවන්න තියෙන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට ගාල්ලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැයි රැලියට බස් දෙක බැගින් සෙනඟ යවන්න සිදුවෙලා තියෙන්නේ. රැලි 2කට සෙනඟ යවා ගන්න බැරුව අද එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් හොඳටම නන්නත්තාර වෙලා ඉන්නේ.

කොළඹටයි, ගාල්ලටයි දෙකටම සෙනඟ ගේන්නේ කොහොමද කියලා අද එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් හොඳටම කලබල වෙලා ඉන්නේ. පසුගියදා ලිප්ටන් වටරවුමේ පැවැති විරෝධතාවටත් සෙනඟ ගෙන්න ගන්න බැරි වුණු එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් මැයි රැලි 2කට සෙනඟ හොයන්නේ කොහොමද?

අද වෙනකොට යහපාලනයට කතිරය ගහපු කෙනකු හොයා ගන්න බැරි තත්ත්වයක් තුළ මැයි රැලි 2කට සෙනඟ හොයා ගන්නේ කොහොමද කියන බරපතළ අර්බුදයට එක්සත් ජාතික පක්ෂයත්, ඔවුන්ට ජැක් ගහන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් මුහුණ දීලා තිබෙනවා. පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් විසින් රැකියා ඉල්ලීම් කර තිබුණු තරුණ තරුණියන්ට දෙදිනක සංචාරයක් සඳහා ගාල්ලට එන්න කියලා ලියුම් යවලා. උණවටුන, හික්කඩුව පැත්තේ රවුමක් ගහලා විනෝද වෙන්න පුළුවන් කියලා කන්න බොන්න දීලා සෙනඟ ගෙන්නගන්න තරම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බංකොලොත්වීම පිළිබඳව ඇත්තෙන්ම කනගාටුයි. ඔය මොන මොන වරදාන, වරප්‍රසාද දීලා, රාජ්‍ය බලය යොදවලා සෙනඟ ගෙන්නගන්න හැදුවත් කිරුළපන මහ ජන ගඟ එක්ක ගාල්ලට හැරෙන්නවත් බැරි බව අපි මැයි 1 වැනිදාට ඔප්පු කරලා පෙන්වනවා. කිරුළපන රැලියට එන පොදු මහජනතාවගෙන් 1%ක්වත් ගාල්ලට ගෙන්න ගන්න බැහැ කියලා මං ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා.

නමුත් කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් 30 දෙනකු පමණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනතා නියෝජිතයන් වර්තමාන ආණ්ඩුවේ කටයුතු කරනවා. ඔවුන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ගාල්ලට ගියොත් එතැනටත් සැලකිය යුතු පිරිසක් එයිද?

වාසියට යන අය මොන පැත්තෙත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ජනතාව ගත යුතු තීන්දුව නිවැරැදි වෙලාවට ගනීවි. ඒක ඒ අයත් දන්නවා. ඒ නිසා ගාල්ලට යමකුට යන්න සිදු වුණොත් එම තීරණය ඉතා කඩිනමින් නිවැරැදි කර ගනීවි. නැත්නම් යන අයට ජන පදනමක් නැහැ. සමහරු කියනවා ගාල්ලට ගියාට තීරණාත්මක අවස්ථාවේදී ඔවුන් ඉන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ කියලා. ඒ සේරමට මේ රටේ පොදු මහජනතාව නියම සාධාරණ තීන්දුවක් ලබාදේවි. ගාල්ලේ මැයි රැලියට පැමිණියොත් විවිධ වරප්‍රසාද ලබා දෙනවා කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒක නිසා යම් පිරිසක් ඒවි. ඒ පිරිස අනුව නියම ජනමතය ඒක කියලා පෙන්වන්න යමකු උත්සාහ ගන්නවා නම් ඒ තරම් මෝඩ වැඩක් තවත් නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂයේ අරමුණු ගැන සහ ඉදිරි කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් සමඟ සාකච්චා කරලා නැද්ද?

සාකච්ඡා කෙරෙනවා. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් ඉන්නේ සතුටකින් නෙවෙයි. ඔවුන් ඒ ගැන අප සමඟ ප්‍රකාශ කරලා තියෙනවා. හැම පැත්තකින්ම රට යන්නේ ආපස්සට. මේ පාර මිනිස්සු අවුරුදු කෑවේ නැහැ, ලෙව කෑවා. එහෙම ලෙව කෑවෙත් කන කර උකස් කරලා, ණය වෙලා. අද රට පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවට. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍යවරුන් යොදාගෙන තියෙන්නේ වාහනේ ටයර් එකක් මාරු කරන කොට ජැක් එක ගහන්න විතරයි. ඒක නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන්නේ. ඒක නිසා වර්තමාන රජයෙන් ඉවත් වීමේ තීන්දුවක් සැලකිය යුතු පිරිසක් ළඟදීම ගනීවි. නැත්නම් ඔවුන් ගැන තීරණයක් මේ රටේ පොදු මහජනතාව ගනීවි.

එතකොට කිරුළපන සහ ගාල්ලේ මැයි රැලි ගැන එම අමාත්‍යවරුන්ගේ ස්ථාවරය කුමක්ද?

ඒ අමාත්‍යවරුන්ට අපි කිව්වා සියලු දෙනාම ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත් වෙලා, මේ ආණ්ඩුව ගෙදර යවලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ සටනට එක්වන්න කියලා. ඔවුන් සියලුම දෙනාම රජයේ අමාත්‍ය ධුර, තනතුරුවලින් ඉවත් වෙලා, ඒක ඔප්පු කළොත් කිරුළපන මැයි රැලියේ අපි සේරමත් ගාල්ලට එනවා.

එහෙම වෙන්නේ නැත්නම් අපේ ආණ්ඩුවක් හැදීමේ ගමන අපිම කරනවා. අපිට මූලිකව අවශ්‍ය වෙන්නේ ආණ්ඩුව මේ යන වැරැදි ගමන නිවැරැදි කරන්න. ඒ වෙනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන්නේ මේ රටේ පොදු මහජනාතව වෙනුවෙන්. මේ ආණ්ඩුව නිවැරැදි මාවතට එන්නේ නැත්නම් ආණ්ඩුව වෙනස් කිරීමේ සටන අපි ක්‍රියාත්මක කරන්නේත් මේ රටේ ජනාතව වෙනුවෙන්. කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්‍ෂය මැයි රැලිය පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගාල්ලේ මැයි රැලිය පවත්වනවා. මේ මැයි රැලි දෙකම ආණ්ඩුවේ මැයි රැලි. දෙගොල්ලොම එක තැනක පැවැත්වූවා නම් තවත් හොඳයි. ඒක නිසා වැඩ කරන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ වැරැදි ගමනට එරෙහිව පවත්වන එකම මැයි රැලිය කිරුළපනදී පවත් වන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැලිය පමණයි. අද ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් මේ ආණ්ඩුවේ කොටස්කාරයන් වෙලා ඉවරයි.
ගාල්ලට එන්නේ නැතිව කිරුළපනට ගියොත් හිටපු ජනාධිපතිතුමා ඇතුළු සියලුම දෙනාට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙනවා.

මැයි දිනය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති අය තමයි ඔය වගේ කතා කියන්නෙ.ඕන කෙනෙක් ඕනෑම තර්ජනයක් කරලා අපිව ගෙන්න ගන්න හැදුවත් අපි තර්ජන ගර්ජනවලට බය නැහැ. මොනව කිව්වත් මේ රටට ආදරය කරන සියලුම දෙනා එක්වන්නේ කිරුළපන මැයි රැලියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය ක්‍රියාමාර්ග මුලින්ම කැඩුවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ඊට එහා තවත් කතා කරන්න දෙයක් නැහැනේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ලෙස ඉඳිමින් එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පොදු අපේක්‍ෂකයා වුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. ඒක කෙතරම් බරපතළ විනය උල්ලංඝනයක්ද? මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වාගේ ඉතා බරපතළ ලෙස පක්‍ෂයේ විනය කඩපු කිසි කෙනෙක් මේ රටේ නැහැ.

බැසිල් රාජපක්‍ෂ මහතා යළි කරළියට පැමිණීම නිසා ඒකාබද්ධ විපක්‍ෂයේ යම් අර්බුදයක් මතු වෙලාද?

නැහැ. එහෙම දෙයක් නැහැ. ආණ්ඩු විරෝධී සටනේදී බැසිල් රාජපක්‍ෂ මහතා අපත් සමඟ ඉන්නවා. කිරුළපන මැයි රැලියට බය වෙලා විවිධ කට කතා ප්‍රචාරය කරනවා. ඒ කට කතා බොරු. ආණ්ඩු විරෝධී සටන ඉතා සමඟියෙන් ශක්තිමත්ව ඉදිරියට යනවා. ඒක ආපස්සට හරවන්න කට කතා බළකායට බැහැ.

නව දේශපාලන පක්‍ෂය හෝ සන්ධානය පිහිටුවන්නේ කවදාද?

මේ රටේ පොදු මහජනතාවගේ ඉල්ලීම මත හැම දෙයක්ම නිසි කලට වේලාවට සිදුවේවි.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

Top