ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන් හෝ යටතට පත්කිරීම නො වේ. එය එක් විකල්පයක් පමණකි, එය සිදු නොකළ යුතුව තිබූ විකල්පය ය. එහෙත් ආණ්ඩුව ඒ විකල්පය ක්‍රියත්මක කළා පමණක් නොව අනෙක් විකල්ප ගැන සඳහනක්වත් නො කරයි.
ආණ්ඩුවට අවශ්‍ය නම් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට තිබිණි. ආණ්ඩුව එසේ නො කෙළේ ය. එයට හේතුව බොහෝ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂය සතු වීම ය. එහෙත් ආණ්ඩුව ඒ බව නො කියයි. ආණ්ඩුව කියන්නේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන්ගේ කලක්ක්‍රියාව හොඳ නැති බැවින් ඒ ආයතනවල කාලය දීර්ඝ නොකළ බව ය. පළාත් පාලන ආයතනවල කාලය දීරඝ කිරීම පිලිබඳ එවැනි නිර්ණායකයක් නැත. ඒ නිර්ණායකය පාර්ලිමේන්තුවටත් යොදාගත හැකි ද? එවැනි නිර්ණායක සඳහන් වී ඇත්තේ කිනම් පනතක ද? ආණ්ඩුව ජනතාවට සුදුළුෑණු පොඩි නොකර ඇත්ත කිව යුතු ය.
ආණ්ඩුවට තවත් විකල්පයක් තිබිණි. ඒ පළාත් පාලන ආයතනවල මැතිවරණ වහාම පැවැත්වීම ය. ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ තමන් පරදින බව දන්නා බැවිනි. එහෙත් එහි දී ද ඔවුන් කියන්නේ වෙනත් කතාවකි. ඉදිරියේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට අපහසු යැයි ආණ්ඩුව කියයි. පාර්ලිමේන්තු මැතිවරණයකට තවම දින නියම කර නැත. ඒ පිළිබඳ මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය අතර කඹ ඇදීමක් වෙයි. ඇතැම් විට මැතිවරණ දෙකම කල් යෑමට ඉඩ ඇත.
ඒ කුමක් වුවත් පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීමෙන් ආණ්ඩුව ජනතාවගේ මැතිවරණ අයිතිය උදුරාගෙන ඇත. අවාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ඒ පිළිබඳ කිසිවක් නො කරයි. ඔවුන් කරන්නේ කටින් බතල කොළ සිටුවීමකි. පසුගිය ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වීමෙන් පසු මාස දෙකක් පමණ ආගිය අතක් නැතිව සිටි ඩලස් අලහප්පෙරුම වැන්නෝ දැන් නැවතත් පක්‍ෂය මෙහෙයවති. ඔවුහු මහා ඇමතිවරුන්ට බලය අතට ගෙන පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට කියති. එහෙත් ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩ පිලිවෙළක් ඉදිරිපත් නො කරති. හුදෙක් වීරයන් වීමට යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නො වේ. මේ බොරු දේශපාලනයේ වුව ද සීමා තිබිය යුතු ය.
ඒ අතර තවත් රාවයක් පැතිර ගියේ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් මෛත්‍රිපාල ශ්‍රී ල නි ප කණ්ඩායමේ ඇමතිවරුන් කිහිප දෙනකු අස්වීමට යන බව ය. ඒ කතාවට කුමක් සිදුවී ද? ඔවුන් අස් නොවූයේ ඇයි? මෛත්‍රිපාල ඔවුන්ට බලපෑම් කෙළේ ද? අපි නො දනිමු. එහෙත් දැනගැනීමට කැමැත්තෙමු. ඔවුන්ගේ තීරණය වෙනස් වූයේ ඇයි?
එ ජා පක්‍ෂය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැමැත්තක් නැති බව මුල සිට ම පෙනී ගියේ ය. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ය. එය යම්දුරකට සාර්ථක විය. අද ඔවුන්ට 20 අවශ්‍ය නො වේ. දෙන්නම් කාසිවලට ඡන්දය නොදෙන ලෙස අපි ඒ දිනවල ම කීවෙමු. අද එස් බී දිසානායක ඇමතිවරයා කන්කෙඳිරි ගාන්නේ ඇයි? ඔහු 19ට ඡන්දය දුන්නේ ය. එහෙත් 20 ගැන හදිසියක් නැතැයි ඔහු කියයි.
මෛත්‍රිපාල අවසන් වශයෙන් වැඩ කරන්නේ එ ජා පක්‍ෂයට අවශ්‍ය අන්දමට මිස ශ්‍රී ල නි පක්‍ෂයේ කිසි කණ්ඩායමකට අවශ්‍ය අන්දමට නො වේ. අද ආණ්ඩුව වැඩ කරන්නේ රනිල්ට, බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. ඒ සඳහා යටිතල පහසුකම් සපයන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. මෛත්‍රිපාල එදත් අදත් ශ්‍රී ල නි පක්‍ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමේ දී ප්‍රධාන බාධකය වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂ සභපතිත්වයෙන් ඉවත් කිරීමට නීත්‍යානුකූල මගක් සොයාගත යුතු ය.
නලින් ද සිල්වා
2015 මැයි 16