Political

යහපාලන කඩතුරාවෙන් බෞතිස්ම වු චුවින්ගම් සංස්කෘතිය -‘යහපාලනය’ මාරය. සභාගේ හමාරය

දසතින් අසන්නට ලැබෙන්නේ අවුල් ජාල දේශපාලනයකි. එය ආටක-නාටක දේශපාලනයකි. සරලව කිවහොත් වෛරී දේශපාලනයකි. එහිදී ඇස් ඇත්තෝ නොදකින බොහෝ දේ හිත් ඇත්තෝ දකිති. ඉවසීම යනු වෛරය එක්රැස් කර ගැනීමයැ‘යි කතාවක් තිබේ.

සමගිය නම් එකමුතුකමය. එය සමතුලිත ආහාරයක් මෙනි. එවැනි ජාතික ආණ්ඩුවක් යැයි  එජාපය හැදින් වූ සභාග ආණ්ඩුවකට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කණ්ඩායමේ 27 දෙනාගෙන් තවත් 4 දෙනෙක් ඊයේ ඉල්ලා අස්වූහ. එසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තු කටයුතු කැබිනට් ඇමැති මහින්ද යාපා අබේවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වූ සී.බී රත්නායක (රාජ්‍ය පරිපාලන), පවිත්‍රා වන්නිආරච්චි (පාරිසරික), ඩිලාන් පෙරේරා (නිවාස සහ සමෘද්ධි) යන අය වේ. මෙයට පෙර අප්‍රේල් 01 වැනිදා තිස්ස කරලියද්ද (බුද්ධ ශාසන නියෝජ්‍ය) ඉල්ලා අස්විය. ඉකුත් මාර්තු 22 වැනිදා පත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ ආයුකාලය අදට දින 61කි.

ජාතික ආණ්ඩුවකට තමන් එක්වූයේ වරප්‍රසාද භුක්ති වී`දිමට නොවන බව ශ්‍රීලනිප ඇමැතිවරුන් 27 දෙනාම එදා කියා සිටියහ. එක් ඇමැතිවරයකු ලබන මාසික වැටුප සහ සියලූ දීමනාවල එකතුව රුපියල් 367,500/=ක් පමණ වේ. එයට අමතරව ඇමැති නිලධාරින් 4 දෙනකු සඳහා වැටුප් සහ දීමනා සමගින් රියැදුරු සහිත අමතර වාහන 3 කටද හිමිකම් ඇත. තවමත් ඇමැතිකම් දරන ශ්‍රිලනිප ඇමැතිවරුන් 22 දෙනා ඇමැතිකම්වලට අපමණ ආදරය දක්වන හෙයින් ඔවුන්ගේ ආරේ ගුණ නෑරේ. ජන්ම ගති වෙනස් නොවේ. රටකට  ඕනෑ අපමණ අගයක් ඇති මෙවන් ඇමැතිවරුන් හෙටකට  ඕනෑ දැයි ජනතාව උත්තර දෙනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ රජයේ ක්‍රියාකලාපය නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසරණ වී ඇතැයිද දුන් පොරොන්දු ඉටු නොකරන වර්තමාන රජයේ සිටීමෙන් පලක් නැතැයිද ඉල්ලා අස්වූ ඇමැතිවරුන් 4 දෙනා ඊයේ කියා සිටියෝය. වඩාත්ම වැදගත් වන්නේ ‘යහපාලන’ ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ මෙම ඇමැතිවරුන් 4 දෙනා අවධාරණයෙන් කියා සිටි පහත කරුණය. එනම් “… අද ආණ්ඩුව කරන්නේ රනිල් වික්‍රමසිංහ. පළිගැනීම හැර අන් දෙයක් කරන්නේ නැහැ. පොලිස්පතිට අණ දෙන්නේත් ඔහු…□ ඉල්ලා අස්වූ මෙම ඇමැතිවරුන්ට අනුව ‘යහපාලන’ ආණ්ඩුවේ කොක් සුද පේන්නේ ඉගිළෙන කොටය.

ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජය අකල් වැස්සකි.  ‘යහපාලන’ ආණ්ඩුව උඩින් ඔපේය. යටින් හපේය. සභාග ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන ඉල්ලා අස්වූ 5 දෙනාගේ කතාව ‘බෝයිස්  ඕවර් ෆ්ලවර්ස්’ කොරියානු රූපවාහිනි ටෙලි නාට්‍ය යේ ජනප්‍රිය නළු නිළියන් 5 දෙනා මෙනි. පස් දෙනාටම වොරන්ටියක් ඇත. ඒ දැනටමත් ගම් දනව් සිසාරා යන මහින්ද රාජපක්ෂ බලවේගයෙන් ඡන්දය ඉල්ලීමටය.

ගැරන්ටියක්ද ඇත. ඒ පස්දෙනාම යළි පාර්ලිමේන්තුවට පත්කරන්නට එම බලවේගය උනන්දුවන බැවිනි. බෝයිස්  ඕවර් ෆ්ලවර්ස් නාට්‍යයේ 5 දෙනා මෙන් යළි ඡන්දදායකයින් අතර පිළිගැනීමට මෙම ඇමැතිවරුන් 5 දෙනා දැන් ලක්වී තිබේ.

ඇමැතිකම් ගත් ශ්‍රීලනිපයේ සෙසු 22 දෙනාටද අස්වූ ඇමැතිවරුන් ආදර්ශ පාඨ දෙකක් ලබාදී ඇත. එනම් ශ්‍රීලනිපයත් එහි පාක්ෂිකයින් වෙනුවෙන් මේ අවැසි මොහොතේදී ඉදිරි මහ මැතිවරණයේ නායකත්වය දියහැකි සුදුසුම පුද්ගලයා වනුයේ මහින්ද රාජපක්ෂ බවය. දෙවැන්න වන්නේ වෛරී පාලනයකට එරෙහිව බළමුළු ගැන්වෙන ජනබලයට හිස නමා ආචාර කිරීමය.

සැමට සමාන නීති යටතේ කටයුතු කිරීම ශිෂ්ට ලෝකයේ චාරිත්‍රයකි. පොලිස් මූල්‍ය අපරාධ  කොට්ඨාසයේ ක්‍රියාමාර්ග හමුවේ නීතියේ පිලිසරණක් බලාපොරොත්තු වීම ජර්මනියේ හිට්ලර්ගේ ගෙස්ටාපෝ හෙවත් රාජ්‍ය රහස් පොලිසියටත් වඩා අසීරුය.

‘යහපාලන’ ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැසට් නිවේදනයකින් පෙබරවාරි 13 වැනිදා පිහිටුවාක් මෙන් හිට්ලර්ගේ ජාතික සමාජවාදී පාලනය පවත්වාගෙන යෑම සඳහා හර්මන් ගෝරිං විසින් 1933 දී වයිමාර් දිස්ත්‍රික් පොලිසියට අනුබද්ධව ගෙස්ටාපෝ පොලිසිය පිහිටුවන ලදී. හිට්ලර්ගේ නට්සි පාලනයට විරුද්ධ හෝ එසේ හැf`ගන  ඕනෑම පුද්ගලයකු තරාතිරම කුමක් වූවද බොරු චෝදනා ගොනුකොට අත්අඩංගුවට ගැනීමට ගැස්ටාපෝ පොලිසියට බලය පවරා තිබිණි. එය ක්‍රියාත්මක වූයේ සතුරන් සමූල ඝාතනය කිරීමේ පූර්ණ වගකීම් සහිත ආයතනයක් ලෙසිනි. යුදෙව්වරුන්, මාක්ස්වාදීන් සහ බොල්ෂෙක්වරු දඩයම් කිරීම ගැස්ටාපෝහි ප්‍රධාන කාර්ය විය.

හිට්ලර් පූර්ණ ඒකාධිපතිත්වය සඳහා යන ගමනේදී එයට එරෙහි වූ සියල්ලෝ ගෙස්ටාපෝ හි ඉලක්ක බවට පත්විය. ගෙස්ටාපෝ පොලිසිය හිට්ලර් මෙන්ම නීතියද නියෝජනය කළේය. එහි ක්‍රියාකාරිත්වය 1936 දී අධිකරණයේ බලපෑම්වලින් ඉවත් කරනු ලැබූ අතර පසුව එය නීතියට ඉහළින් තැබූ ආයතනයක් විය. මේ අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයද තවත් ගෙස්ටාපෝවක් වනු ඇතැයි කීම කිසිවෙකුට බැහැර කළ නොහැකි කරුණකි.

පසුබෑම්, විකෘතිවීම් තිබුණද ප්‍රජාතන්ත්‍රවාදය යනු තවමත් ශ්‍රී ලාංකිකයින්ට සාධනීය ලෙස දැකිය හැකි ප්‍රපංචයකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු දර්ශනයක්, න්‍යායක් සහ මතවාදයක් පමණක් නොව ආණ්ඩු කරන රාමුවකි. හර පද්ධතියකි. සමාජ අපේක්ෂාවන් නිර්මාණය කරන මෙවලමකි. වරින්වර අලූත්වන දේශපාලන නිෂ්ටාවක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය හැ`දින්වූවද නීතිය අවනීතියක් කරගනිමින් කටයුතු කිරීමට කිසිවකුටත් නොහැකිය.
එයට එක් නිදසුනක් නම් රජයේ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ තුසිත් මුදලිගේ ඉකුත් 20 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් ඉදිරියේ ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනා සෘජුවම මූල්‍ය ප්‍රතිලාභ හෝ ප්‍රතිපාදන ලබාගෙන නොමැති බව කීමය.

ශ්‍රී ලංකා දේශපාලනයේ එදා සිදුවූයේ සම්මත පීඩනයන්ට එරෙහිව යමින් නව දේශපාලන මතවාදයන් හඳුන්වා දීමය. එය හරියට උඩුගම් බලා පිහිනීමක් වැනිය.

සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගයන් වූයේ එම අසම්මත චින්තනයයි. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1977 ආරෝපනය කරන ලද ධර්මිෂ්ට සමාජ චින්තනය යටතේ සියල්ල උඩු යටිකුරු වී වෛරී දේශපාලනය නිර්මාණය වන්නට පසුබිම සැකසිණි.

වෛරී දේශපාලනයේ ලාංකීය ඉතිහාසයේ ලොකුම කළු පැල්ලම වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව මගින් එවකට විරුද්ධ පක්ෂයේ සහ ශ්‍රීලනිප නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කොට පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමය. වර්තමානයේ ‘යහපාලන’ ආණ්ඩුවේ ගෙස්ටාපෝ පොලිසිය විරුද්ධ පාක්ෂිකයින් දඩයම් කරනවා මෙන් එදා එජාප ආණ්ඩුව 1970 මැයි 28 වැනිදා සිට 1977 ජුලි 23 වැනිදා දක්වා පුද්ගලයින් ගණනාවකගේ ක්‍රියා කලාපය පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කළේය. නොතිසි යවන ලද පුද්ගලයින් අතර හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායකද වූවාය. ඇයට එරෙහිව කොමිසම ඉදිරියේ අවි අමෝරාගෙන පැමිණියේ එවකට කෘෂිකර්ම ඇමැති සහ මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ඊ.එල්. සේනානායකය.

සිරිමා බණ්ඩාරනායක කොමිසමේ වලංගුතාවය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගියාය. නීතිය පැනවීමට පෙර කාලයේ සිදුවීම් නිසා එය නීතිය පටහැනි බව අභියාචනාධිකරණයේ මතය විය. එජාප ආණ්ඩුව වහාම පාර්ලිමේන්තුවට කඩි මුඩියේ කෙටුම්පත් දෙකක් ඉදිරිපත්කර ප්‍රතිචාර දැක්විය. ඒ කොමිසම අතීතයට බලපාන ආකාරයෙන් කරුණු විභාග කිරීමට බලය ලබාදීමය. දෙවැනි කෙටුම්පතේ අරමුණ වූයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය මගින්  ඕනෑම නඩුකරයක අධිකරණ බලය අභියාචනාධිකරයෙන් ඉවත්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමට පාර්ලිමේන්තුවට බලය ලැබිණි. එය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත්කරන ලද පළමු සංශෝධනය විය. ඒක පාර්ශ්විකව කොමිසම විභාගය සිරිමා බණ්ඩාරනායකට එරෙහිව පවත්වාගෙන ගිය අතර 1980 සැප්තැම්බර් 25 වැනි දින ඇය අනිසි ලෙස සහ වැරදි අයුරින් බලය පාවිචිචි කිරීමේ වැරදිවලට වරදකරු කළේය. පාර්ලිමේන්තුවට 1980 ඔක්තෝබර් 16 වැනිදා යෝජනා 2ක් ඉදිරිපත්කර එදිනම සම්මත කර ගන්නා ලදී.

සිරිමා බණ්ඩාරනායක පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරියා පමණක් නොව ඒ අනුව පක්ෂ නායකත්වයද අහිමි විය. ඇයට එසේ දඩුවම් කිරීමට උඩගෙඩි දුන් එජාපයේ කෘෂිකර්ම ඇමැති ඊ.එල්. සේනානායකට පසු කලෙක කළකම් පලදුන්නේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රංජන් විජේරත්න ඇතුළු පිරිසක් ජනපති ජයවර්ධන සහායෙන්  ඊ.එල්. සේනානායක ඇමැති තනතුරෙන් පලවා හැරියේය. ඊළඟ මහ මැතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ එජාප කණ්ඩායමේ නායකයා වූ ඊ.එල්. සේනානායක පරාජිත වූ අපේක්ෂකයින් අතරද අන්තිමයට දමා දේශපාලනයෙන් අතුගා දැමීමට කන්ද උඩරට ජනතාව කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණ හැර සියලූම දේශපාලන පක්ෂ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ එජාප ආණ්ඩුවේ වැඩපිළිවෙළට එදා එරෙහි විය. ජවිපෙ පමණක් සක්‍රීයව එහිදී ජනාධිපති ජයවර්ධනගේ එජාප ආණ්ඩුවට සහාය දුන්නේය. ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ ඊයේ පෙරේදා පැවසූවේ ජවිපෙ සීනුව දැන් එල්ලා ඇත්තේ එජාප අලියාගේ බෙල්ලේ බවය. නීතිය අවනීතිය කර විරුද්ධවාදීන්ට කැලෑ නීතියෙන් ‘යහපාලන’ ආණ්ඩුව දඬුවම් කරද්දී ජාතික විධායක සභාව හරහා ජවිපෙ වර්තමානයේ අනුගමනය කරන්නේද අතීතයේ සිදුකළ එම ක්‍රියාදාමයම වීම පුදුමයට කරුණක් නොවේ.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඇතුළු ලංකා සමසමාජ පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් සේ ක්‍රියා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයට සහයෝගය දැක්විමේ පිළිවෙතක් එදා අනුගමනය කළේය. එය අනුමත නොකරමින් 4 වැනි ජාත්‍යන්තරයේ ලේකම් මණ්ඩලය විසින් 1961 ජනවාරි මස එවන ලද ලිපියක මෙසේ සඳහන් විය. “ විප්ලවවාදි පක්ෂයක නිදහස නැතිවීම යනු පාර්ලිමේන්තු ආසන කිහිපයක් සහ ඡන්ද දස දහස් ගණනක් නැතිවීමට වඩා භයානක දෙයක්ය යන්න අපේ අදහසයි.

වරෙක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා රජයට අපහාස කළ බව චෝදනා කරමින් සිරභාරයට ගෙන බදුල්ල උසාවියේ නඩු පැවරූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තමා ඇතුළු වාමාංශික නායකයින් සිරභාරයට ගැනීමේ රාජ්‍ය නියෝගයට අත්සන් කළ එවකට සිවිල් ආරක්ෂක කොමසාරිස් ඞී.බී. ජයතිලකම අද දවසේ රුවන්වැලිසෑයට කොත පැල`දීම පුදුම සහගත බවය. ජාතික උරුමය පාදා ගැනීම සහ පොදු ජනතාව දියුණුව කරා ගෙනයෑම එකම කාසියක දෙපැත්ත බවය. මේවා සිහිපත් වන්නේ වසර 30ක කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගැනීමේ විජයග්‍රහණය සමරණ ‘යහපාලන’ ආණ්ඩුවම එම විජයග්‍රහණයේ නියමුවා වූ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂත් එහි අයෝමය ශක්තිය වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් ආණ්ඩුවම අලූතින් ස්ථාපිත කළ කැලෑ නීතියෙන් දඬුකඳේ ගසන්නට සැරසෙන විටය. මෙහෙම ගියොත් ඉක්මන් කොටය.
ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ලූම්පන් සංස්කෘතියෙන් වැඩ ගත්තේය. ප්‍රේමදාස ආණ්ඩුව මගින් ලූම්පන් සංස්කෘතිය රජ කරන ලදී. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට තිබුණේ හිපි සංස්කෘතියකි. තරුණ පරපුරේ මානසිකත්වය ඔවුන්ගේ හර පද්ධතිය හඳුනා ගෙන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව චුයින්ගම් සංස්කෘතිය ආදේශ කළේය. එය ලත් තැනම ලොප් වූවද ඉකුත් ජනාධිපතිවරණයේදී ‘යහපාලන’ කඩතුරාවෙන් එය බෞතිස්ම කළේය.

නරියාට බොකු හෝදන්න දුන්නොත් සිදුවන වැඬේ හැමෝම දන්නවාය. නිකම් බිම හාරන ඌරාට යකඩ කැබැල්ලක් හමුවුවහොත් මොනවා වෙයිද කියා කියමනක් ඇත. ඒ නිකනුත් අනුනට වින කරන කෙනෙකුව තව උදව් ලැබුණහොත් මොනවා වෙයිදැයි කියන තේරුම ඇතිවය. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේවාට කියන්නේ විකාර විගඩම්ය. බෙර බැඳගෙන නටන අයනම් කියන්නේ සමයන් කියාය. ‘යහපාලනය’ මාරය. සභාගේ හමාරය.

ධර්මන් වික්‍රමරත්න- උපුටා ගැනීම ඉරිදා රිවිර(24-05-2015)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top