එදා විසාලා මහනුවර ජනතාවට ඇතිවුණු තුන්බිය දුරු කරන්න ගෞතම බුදුන්ට රතන සූත්‍රය දේශනා කරන්න සිද්ධ වුණේය. රතන සූත්‍රය දේශනා කරලා විසාලා මහනුවරට පිරිත් පැන් ඉස්සාම ජනතාවට ඇති වෙලා තිබුණු අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය යන තුන්බිය ධූරිංභූත වෙලා ගියේය. එදා විශාලා මහනුවර ඇතිවුණු තුන්බිය ඒ විදියට නැති කරලා දාන්න ගෞතම බුදුන්ට පුළුවන් වුණත් අද කොළඹට, අත්තනගල්ලට හා පොළොන්නරුවට ඇතිවෙලා තියෙන තුන්බිය දුරු කරන්න රතන සූත්‍රය තියා මුළු පිරිත් පොතම කිව්වත් බැරිය. එදා විසාලා මහනුවරට ඇතිවුණු තුන්බිය වාගේ අද කොළඹට, අත්තනගල්ලට හා පොළොන්නරුවට ඇතිවෙලා තියෙන තුන් බිය මෙන්න මේ විදියට පෙළ ගස්සන්න පුළුවන්ය.

1. රනිල්ගේ බිය
2. චන්ද්‍රිකාගේ බිය
3. මෛත්‍රිගේ බිය

ඇත්තම කිව්වොත් අද ශ්‍රී ලංකාව අරාජික වෙලා තියෙන්නේ මෙන්න මේ තුන්දෙනාට ඇතිවෙලා තියෙන මහා භීතිකාවක් නිසාය. ඒ මහා භීතිකාව නම් වෙන මොකක්වත් නොව මහින්ද භීතිකාවය. මහින්ද භීතිකාව ඇතිවීම නිසා මේ තුන්දෙනා පෙන්නන්නේ එක එක රෝග ලක්‍ෂණය. ඉතින් මේ වෙලාවේ රටේ ජනතාව මේ තුන්දෙනා පෙන්නන විවිධ රෝග ලක්‍ෂණ හරියට හඳුනා ගන්න ඕනෑය. ඒ රෝග ලක්‍ෂණ හරියට හඳුනා ගන්න නම් එක එක්කෙනා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෑය. ඒ නිසා මේ තුන් දෙනාගේ බිය ගැන පිළිවෙළින් අධ්‍යයනය කරමු.

1. රනිල්ගේ බිය

රනිල්ට දැන් තියෙන ලොකුම බිය මහින්ද බියය. මේ මහින්ද බිය රනිල්ට 2005 ඉඳලාම තිබේ. රනිල්ට මේ මහින්ද බිය පළමුවරට හැදුණේ 2005 ජනාධිපතිවරණයේදීය. 2005 ජනාධිපතිවරණයේදී රනිල් මහින්දට පැරැදුණාට පස්සේ මහින්ද එක්ක තරග කරන්න රනිල් අම්බානක බය වුණේය. ඇත්තම කිව්වොත් 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ රනිල් මහින්ද එක්ක තරග කරලාම නැත. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද එක්ක තරග කරන්න බය වෙච්ච රනිල් ෆොන්සේකාව ඉස්සරහට දාලා මහින්ද එක්ක ජනාධිපතිවරණයට තරග නොකර බයේ හැංගුණේය. ඊට පස්සේ 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාලව ඉස්සරහට දාලා මහින්ද එක්ක ජනාධිපතිවරණයට තරග නොකර බයේ හැංගුණේය. ඉතින් ඵහෙම බලනකොට 2005 ඉඳන් 2015 දක්වා හරියටම අවුරුදු 10ක් රනිල් කෙළින්ම මහින්දත් එක්ක තරගයට ඉදිරිපත් වෙලා නැත. හැබැයි ඊළඟ මහ මැතිවරණයට මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වුණොත් රනිල්ට අනිවාර්යයෙන්ම මහින්දත් එක්ක තරග කරන්න සිද්ධවේ. ඒකට රනිල් පණ බයය. මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා වෙන එක වළක්වන්න රනිල් දන්නා දහංගැට හැම එකක්ම දාන්නේ ඒ නිසාය.

මහින්ද සන්ධානයේ අගමැති අපේක්‍ෂක විදියට එන එක නතර කරන්න රනිල් මුලින්ම පාවිච්චි කරන්නේ තමන්ගේ අඹ යාළුවා වන මෛත්‍රිපාලවය. මහින්දට සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය දෙන්න එපා කියලා මෛත්‍රිපාලට රහසෙන් බලපෑම් කරන්නේ රනිල්ය. රනිල්ට ඕනෑ සන්ධානය ශක්තිමත් අගමැති අපේක්‍ෂකයකු නැතිව මහ මැතිවරණයට ගෙන්නා ගන්නය. එතකොට රනිල්ට තරගකරුවකු නැත. තරගකරුවකු නැතිව තනියෙන් දුවලා දිනන්න රනිල් දත කට මැදගෙන සිටියි.
“රනිලුයි, මෛත්‍රිපාලයි ඔය තරම් යාළුයි නම් මේ දවස්වල මෛත්‍රිපාල සන්ධාන ආණ්ඩුවක් හදන්න, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ ඇයි? දැන් රනිලුයි මෛත්‍රිපාලයි ටිකක් තරහා වෙලා වගේ නේද?”

මේ දවස්වල වේදිකාවල මෛත්‍රිපාල කරන කතා දිහා බැලුවාම කාටහරි එහෙම හිතෙන්න පුළුවන්ය. එහෙම හිතෙන අයට කියන්න තියෙන්නේ රැවටෙන්න එපා ඒක ගුළියක් කියලාය. මේ දවස්වල මෛත්‍රිපාලයි, රනිලුයි තරහා වෙලා වාගේ පෙන්නන්නේ බොරුවටය. එහෙම බොරු තරහක් පෙන්නන්නේ මෙන්න මේ හේතුව නිසාය.

මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ තියෙන ටී.එන්.ඒ., ජේ.වී.පී., හෙළ උරුම හා ෆොන්සේකාගේ ඡන්ද ටිකයි, මෛත්‍රිපාලට ලැබුණු නිදහස් පක්‍ෂ ඡන්ද ටිකයි අඩු කළාම යූ.ඇන්.පී. එකට ඉතිරි වෙන්නේ ඡන්ද ලක්‍ෂ 42ක විතර ප්‍රමාණයකි. මෛත්‍රිපාලට ලැබුණු ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ ටී.එන්.ඒ. ඡන්ද ලක්‍ෂ හයහමාරකුත්, ජේ.වී.පී. ඡන්ද ලක්‍ෂ හතහමාරකුත්, හෙළ උරුම ඡන්ද ලක්‍ෂයකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඡන්ද ලක්‍ෂ තුනකුත්, ෆොන්සේකාගේ ඡන්ද ලක්‍ෂ දෙකකුත් තිබේ. එතකොට රනිල්ට ඉතිරි වෙන්නේ ඡන්ද ලක්‍ෂ 42ක් පමණි. ඔය ඡන්ද ලක්‍ෂ 42න් පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගන්න බැරිය. ඒ නිසා මේ වෙලාවේ රනිල්ට පාර්ලිමේන්තුවේ 113 හදාගන්න නම් මෛත්‍රිපාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයෙන් අඩුම තරමේ මන්ත්‍රි ධුර 25ක්වත් ලැබෙන්න ඕනෑය. එහෙම වුණාම මෛත්‍රි පිලෙන් පාර්ලිමේන්තු එන අප්පච්චි මළා නිකායේ මන්ත්‍රිවරුන්ට ඇමැති කටු ටිකක් සූප්පු කරන්න දීලා ජාතික ආණ්ඩුවක් අටවලා රනිල්ට අගමැති වෙන්න පුළුවන්ය. ඊට පස්සේ දැන් කරනවා වගේ අගමැතිකම කරන්න පුළුවන්ය. රනිල්ගේ අරමුණ ඔන්න ඕකය. ඉතින් මේ වෙලාවේ රනිල් මෛත්‍රිපාලත් එක්ක තරහ වෙලා වාගේ රඟපාන්නේ මහින්දගේ ඡන්ද ලක්ෂ 58න් ටිකක් මෛත්‍රිපාලගේ මල්ලට දාගන්න චාන්ස් එක හදලා දෙන්නය.

තමන් හදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් කියලා ස්ටේජ් එකකට නැඟලා කිව්වාම මහින්දට ඡන්දය දුන් ලක්ෂ 58න් ටිකක් තමන්ගේ කතාව විශ්වාස කරලා තමන්ගේ පිලට ඡන්දය දෙයි කියලා මෛත්‍රිපාල හිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් බොරු ආදරයක් පෙන්නලා මෛත්‍රිපාල මේ හදන්නේ මහින්දගේ ඡන්ද ලක්ෂ 58න් ටිකක් ඩැහැගෙන ඒ ඡන්ද ටිකයි, රනිල්ගේ ඡන්ද ටිකයි එකතු කරලා ජාතික ආණ්ඩුව යන නමින් යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදලා සොයිසලාට හා එස්.බී.ලාට ඇමැති කටු දෙක තුනක් දීලා රනිල්ට අගමැතිකම දෙන්නය. රනිල්ට ඇති වෙලා තියෙන මහින්ද භීතිකාව නැති කරන්න මෛත්‍රිපාල කරන මේ රඟපෑම හරියට තේරුම් ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට මේ වෙලාවේ බැරි වුණොත් යූ.ඇන්.පී. ආණ්ඩුවක් එන එක හා රනිල් අගමැති වෙන එක වළක්වන්න බැරිය. ඉතින් මේ හොරා – පොලිස් සෙල්ලම කරන මෛත්‍රිපාල – රනිල් අඹ යාළුවන්ගේ උප්පරවැට්ටිය හොඳට තේරුම් අරගෙන නිවැරැදි තැන හිටගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දෙපාරක් හිතන්න ඕනෑ නැත.

2. චන්ද්‍රිකාගේ බිය

කලින් සඳහන් කරපු විදියට මහින්ද භීතිකාව රනිල්ට තදින්ම දැනෙද්දී මහින්ද භීතිකාව දරුණුවටම දැනෙන තවත් කෙනකු වන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාය. චන්ද්‍රිකාට මහින්ද භීතිකාව හැදුණේ මහින්ද ප්‍රේමදාසගේ ආණ්ඩුවට එරෙහිව කතරගමට පා ගමන යද්දීය. ඇත්තම කිව්වොත් චන්ද්‍රිකාට මහින්ද ගැන තියෙන්නේ භීතියකට වඩා ඉරිසියාවකි. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන්ට හූ කියමින් මහින්ද වටා එකතු වීම ගැන චන්ද්‍රිකා ඉන්නේ ඉරිසියාවේ පුපුරමින්ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න වැඩියෙන්ම අප්‍රසාදයට පත්වූ කෙනා කවුද කියලා ඇහුවොත් ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ චන්ද්‍රිකාය.

මහින්දට විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා ඉන්න කියන චන්ද්‍රිකාට අමතක වෙලා තියෙන ලොකුම දේ වන්නේ තමන් මීට අවුරුදු 10කට කලින් දේශපාලයෙන් විශ්‍රාම ගියා කියන එකය. ජනාධිපතිවරුන් විශ්‍රාම ගිහින් ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනෑ නම් මුලින්ම ගෙදරට වෙලා පිනක් දහමක් කරගෙන ඉන්න ඕනෑ චන්ද්‍රිකාය. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හූ සංග්‍රහ භුක්ති විඳිමින් වේදිකා ගාණේ යන චන්ද්‍රිකාට මහින්දට ගෙදරට වෙලා ඉන්න කියන්න හැකියාවක් නැත. හැකියාවක් නැතත් චන්ද්‍රිකා එහෙම කියන්නේ වෙන මොකක්වත් නිසා නොව මහින්දට තියෙන බය නිසාය.

මහින්දට බය නැතිනම් චන්ද්‍රිකා කරන්න ඕනෑ මෛත්‍රිපාලගේ පිලේ අගමැති අපේක්ෂිකාව විදියට ඊළඟ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන එකය. එතකොට විශ්‍රාම යවන්න ඕනෑ චන්ද්‍රිකාවද මහින්දවද කියලා ජනතාව තීරණය කරනු ඇත. එක ඡන්දයක් පැරැදුණාම දේශපාලනයෙන් විශ්‍රාම යන්න ඕනෑ නම් ඡන්ද 30ක් පැරැදුණු රනිල් මේ වෙනකොට තිස් පාරක් විශ්‍රාම යන්න ඕනෑය. දෙපාරක් අගමැති වෙලා හිටිය රනිල් තුන්වැනි පාරටත් දැන් අගමැති වෙලා ඉන්නේ ඊළඟ මහ මැතිවරණයෙන් පස්සේ හතරවැනි පාරටත් අගමැති වෙන්න හිතාගෙනය. තුන්වැනි පාර ජනාධිපති වෙන්න යෑම බල තණ්හාවක් නම් හතරවැනි පාර අගමැති වෙන්න හදන එක මොන වාගේ තණ්හාවක්ද කියලා එක්සත් ජාතික පක්ෂය රටට කියන්න ඕනෑය.

ඇත්තම කිව්වොත් අද චන්ද්‍රිකාට ඇතිවෙලා තියෙන මහින්ද භීතිකාවට එකම විසඳුම මහින්දව දේශපාලනයෙන් අතුගාලා දාලා ඊළඟ මහ මැතිවරණයෙන් පසුව රනිල්ව අගමැති කරවන එකය. එතකොට රනිල්ගේත්, චන්ද්‍රිකාගේත්, මෛත්‍රිපාලගේත් මහින්ද භීතිකාව එකවර සනීප කරගන්න පුළුවන්ය. මයික් එකක් දකින දකින තැන අද චන්ද්‍රිකා මහින්දට බැනවදින්නේ තමන්ගේත්, රනිල්ගේත්, මෛත්‍රිපාලගේත් මහින්ද භීතිකාව එකවර සනීප කරගන්නය.

03 මෛත්‍රිපාලගේ බිය

රනිලුයි, චන්ද්‍රිකායි මහින්ද අගමැති වෙයි කියලා බය වෙද්දී මෛත්‍රිපාල බය වෙලා තියෙන්නේ මහින්ද අගමැති වෙලා තමන්ට වෙඩි තියයි කියලාය. මහින්ද අගමැති වුණොත් මහින්දට ජනාධිපති පුටුවට එන්න තියෙන්නේ බුලට් එකක දුර කියලා මෛත්‍රිපාල පහුගිය දවස්වල සන්ධාන මන්ත්‍රිවරුන්ගේ රැස්වීමකදී ප්‍රසිද්ධියේම කිව්වේය. මහින්ද යුද්ධය ඉවර කළාට පස්සේ මෛත්‍රිපාල ජනාධිපති වුණේ හොඳ වෙලාවටය. බුලට් එකට බය නැති මහින්ද 2005දී ජනාධිපති පුටුවේ වාඩි වුණු නිසා ප්‍රභාකරන්ව මරලා යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේය. මහින්ද මෛත්‍රිපාලට අගමැතිකම නුදුන්නේ මෛත්‍රිපාල බුලට් එකට මේ තරම් බය නිසාද කියලා දන්නේ නැත. බුලට් එකට බය මෛත්‍රිපාලට නම් යුද්ධය ඉවර කරන්න තියා හිතන්නවත් බැරිය. මහින්දගේ ආණ්ඩුව ප්‍රභාකරන්ව විනාශ කළේ මහින්ද බුලට් එකට තියා බෝම්බයටවත් බය නොවුණු නිසාය. ඊට පස්සේ ආපු මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුව කළේ යුද්ධයෙන් තුවාල වෙච්ච කොටි සාමාජිකයන්ට රජයේ මුදල්වලින් වන්දි ගෙවන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමය. ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ගෙනාවේ නැවැත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා හින්දු කටයුතු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික ඩී.එම්. ස්වාමිනාදන්ය. මහින්ද ආණ්ඩුවේ හා මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුවේ වෙනස ඔන්න ඕකය.

බුලට් භීතිකාවට අමතරව මෛත්‍රිපාලට මහින්ද ගැන තියෙන අනෙක් භීතිකාව වන්නේ මහින්ද තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළවලා පක්ෂ නායකත්වය ගනියිද කියන එකය. තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයකු වෙනවා කියලා ජනාධිපතිවරණයේදී ජනතාවට දිවුරා පොරොන්දු වෙලා තමන්ට බල තණ්හාවක් නෑ කියලා මෛත්‍රි බෝධිසත්වයන්ගේ ගතිගුණ පෙන්නලා ජනාධිපති පුටුවට ආවාට පස්සේ මෛත්‍රිපාල කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බදා ගැනීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය බදා ගත්තා නම් මෛත්‍රිපාල දැන් කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න කටයුතු කිරීමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න නම් මෛත්‍රිපාල කරන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න ජනප්‍රියම නායකයා වන මහින්ද රාජපක්ෂව රනිල්ට එරෙහිව අගමැති සටනට දැමීමය. හැබැයි මෛත්‍රිපාල ඒකට බයය. මෛත්‍රිපාලගේ මේ මහින්ද භීතිකාව නිසා විනාශ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවංකවම ආදරේ නම් මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හඬට කන්දෙන්න ඕනෑය. ඒත් මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හඬට කන්දෙනවා වෙනුවට රනිල්ගේත්, චන්ද්‍රිකාගේත් හඬට කන්දීලා රනිල්ට ඉන්න ලොකුම හතුරා වන මහින්දව ගෙදර තියලා ඊළඟ මහ මැතිවරණයේදී රනිල්ට වන් හෝස් රේස් එකක් හදන්න ට්‍රයි කරයි.

ඉතින් මෛත්‍රිපාල, රනිල්, චන්ද්‍රිකා කියන මේ තුන් කට්ටුවට ඇතිවෙලා තියෙන මහින්ද භීතිකාව නිසා අද මේ තුන්දෙනාගේම එකම අරමුණ වෙලා තියෙන්නේ මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යැවීමය. මහින්දව විශ්‍රාම යවලා, රනිල්ව අගමැති කරලා, ජාතික ආණ්ඩු මන්තරය ජප කරමින් නටන්න යන මේ තොවිලයට තිත තියන්න සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මහින්ද වටා එකතු වෙන්න ඕනෑය. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදන්න නම් මෛත්‍රිපාල – චන්ද්‍රිකා – රනිල් තුන් හවුල එකට තියලා පරද්දන්න ඕනෑය. එදා රතන සූත්‍රය කියලා විසාලා මහනුවර තුන්බිය නැති කළා වගේ මෙදා මහින්ද සූත්‍රය කියලා මේ තුන්කට්ටුව දේශපාලන කනත්තට දක්කන්න ඕනෑය. මෛත්‍රිපාලගේත්, රනිල්ගේත් හොරා – පොලිස් සෙල්ලමට රැවටෙන්නේ නැතිව නිවැරැදි තීන්දුව ගන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පුළුවන් වුණොත් රනිල්ව 31 වැනි වතාවටත් පරද්දන්න පුළුවන්ය.

සඳුන් ජීවන්ත

Top